වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




මම පැතුවෙ පහනක්, ලැබුණේ සඳක්

මම පැතුවෙ පහනක්, ලැබුණේ සඳක්

තරුෂි නයනතාරා

තව අවුරුදු කිහිපයකින් මට බෙහෙත් කර කර රඟපාන්න පුළුවන්
කතා හැදෙනවට මම හරිම ආසයි

මම ඔව් කිව්වා නෙවෙයි, කියවුණා

සඳුන් රාජකරුණාගේ ‘දේදුනු’ ටෙලි සිතුවම විකාශය වන්නට පෙර තරුෂි නයනතාරා ගැන කිසිවකු දන්නේ නැත. එහෙත් අදවන විට ඇය දේදුනු නිසා ඉමහත් ජනපි‍්‍රයත්වයක් හිමිකරගෙන තිබේ. චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක තත්ත්පර ගණනක දර්ශනයකට හෝ පෙනී සිට නිළියක වන්නට පෙරුම් පිරූ තරුෂිට හා හා පුරා කියා ලද චරිතය ප්‍රධාන එකක් වීම දෙන දෙවියෝ නිසිකලට දෙපා මුලටම ගෙනත් දෙනවා යැයි කියමන යථාර්ථයක් බව කියා පාන්නකි.

ඇත්තටම අයියේ මං පහනක් පැතුවේ. මට ලැබුණේ සඳක්. ‘දේදුනු’ ටෙලි නාට්‍යයේ දේදුනු නම් ප්‍රධාන චරිතය මට හිමිවීම ගැන මගෙ සිතට දැනෙන්නේ එහෙමයි.

තරුෂි හිතේ උපන් අප්‍රමාණ සොම්නස වචනවලට පෙරලුවා.

* තරුෂිට කොහොමද දේදුනුගේ චරිතය ලැබෙන්නේ?

ඒක පුදුමාකාර අහඹු සිදුවීමක්. පුංචි කාලෙ ඉඳලා මං රඟපාන්න හරිම ආසයි. නමුත් අත දෙන්න කවුරුවත් හිටියෙ නැහැ. ක්ෂේත්‍රයේ කාවවත් මං හඳුනන්නෙ නැති හින්ඳා මං ඒ හීනය යටපත් කරගෙන දුකින් කල් ගෙව්වා. ඔය කාලයේ අයියා කලින් කිව්වා වගේ නිර්මාණයක සුළු චරිතයක් හරි කරන්න මං පෙරුම් පිරුවා. ඒත් ඒ බලාපෙරොත්තුව නිෂ්ඵලයි කියලා හිතලා හිත හදාගත්තා. අධ්‍යාපන කටයුතු හමාර කරලා මං රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයකට අයැඳුම් කළා. එහෙම කළෙත් රඟපාන්න චාන්ස් එකක් ගන්න පුළුවන් වේවි කියලා හිතාගෙන. මට ඒ තරගයෙන් දිනන්න බැරි වුනත් අවසන් වටයට තේරුණා. එහිදී මාව දැකලා තිබුණා ඔයාලගේ සහෝදර පුවත්පතක් වන ‘තරුණි’ පත්තරේ කර්තෘ ඇන්ටන් සැම්සන් මහත්මයා. ඔහු මට තරුණි මුල් පිටුව සරසන්න ආරාධනා කළා. ඡායාරූපය ගත්තෙ ශාන් රූපස්සර අයියා. ඒ කවර්පේජ් එක දැකලා නිල්වලා ආයතනයේ ලලිත් වසන්ත මහත්මයා මගෙන් ඇහැව්වා රඟපාන්න ආසද කියලා.

* ඔබ ගත් කටටම ඔව් කියන්න ඇති?

සත්තකින්ම, ඔව් කිව්වා නෙවෙයි කියවුණා.

* ඔබ දැනගෙන හිටියද ඔබට මේ කතා කරන්නේ ටෙලි සිතුවමක ප්‍රධාන චරිතයක් ලබා දෙන්න කියලා?

කොහෙත්ම නැහැ. එහෙම කිව්වා නම් මට සතුට වැඩි කමට හාට් ඇටැක් එකක් හැදෙයි. එයාලා මාව ගෙන්නලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා දේදුනු ගේ චරිතයට තෝරගත්තා.

* දේදුනු අභියෝගයක් වුණේ නැද්ද?

ටිකක් විතර අභියෝගයක් වුණා. මොකද මගෙ පළමු රංගනය දේදුනු. ඒ විතරක්යැ ප්‍රධාන චරිතයත් ඒකනේ. ඩ්‍රාමා එකේ අයගෙ උදව් ඇතුව රඟපෑවේ.

* කැමරාව ඉදිරියට ගිය මුල්ම දවස මතකද?

ඒ දවසනම් මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. රඟපෑවේ කුසුම් පෙරේරා අක්කත් එක්ක, දෙපාරක්ම වරදුණා එදා.

* අදවන විට ඔබ ලබා ඇති දියුණුව ගැන මොකද හිතෙන්නේ?

මං ඒ ගැන තෘප්තිමත්. ටිකක් හෝ මිනිස්සුන්ට දැනෙන්න අද මං රඟපානවා. මට දේදුනු කියලා රසික රසිකාවො කතා කරන්නෙ ඒකයි.

* ඔබ රංගනයට මෙන්ම කලාවට ආගන්තුක චරිතයක්. එහෙව් තත්ත්වය මත අනන්තවත් කැපිලි කෙටිලි එන්න ඇති.?

අනිවාර්යයෙන්ම ආවා. මාව හුඟාක් අය මානසිකව වැට්ටුවා. මුල් දවස්වල මම ඒ ගැටවලට අසුවුණා. දැන් දන්නවා ඒවා දකුණු කනෙන් අහලා වම් කනෙන් පිට කළ යුතු කතා කියලා.

* එක පාරටම ලැබුණු ජනපි‍්‍රයත්වය කොහොමද ඔබ දරා ගත්තේ?

ජනපි‍්‍රයකම තාවකාලිකයි කියලා දැනෙද්දී ඉබේම මනස හැදෙනවා සාමාන්‍ය කෙල්ලෙක් විදිහට ඉන්න ඕන කියලා. ඒ හින්දා මේ ජනපි‍්‍රයත්වය හිස් මුදුණේ නෙවෙයි, හිතෙයි මං තියාගෙන ඉන්නේ. මට ජනපි‍්‍රයකම ආභරණයක් පමණයි.

* කලා ක්ෂේත්‍රය හොඳද?

ඔව්, හොඳයි.

* කවුද තරුෂිගෙ හොඳම යාළුවො?

අනේ මට තවම ක්ෂේත්‍රයේ යාළුවෝ නැහැ.

* ඇයි ඒ? ක්ෂේත්‍රයේ අය අවිශ්වාසද?

එහෙම එකක් නැහැ. මං තවම ක්ෂේත්‍රයේ අයව සමීපව ඇසුරු කරන්න ගත්තෙ නැහැ. ඒකයි එහෙම කිව්වේ.

* ඔබ ආයුර්වේදය පිළිබඳ ඉගෙන ගන්නවා කියලා දැනගන්නට ලැබුණා?

මං යක්කල ආයුර්වේද විද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක්. තව අවුරුදු කිහිපයකින් මමත් ආයුර්වේද වෛද්‍යවරියක්.

* එතකොට බෙහෙත් කර කර රඟපාන්න පුළුවන්?

ඒක තමයි.

* මේ ක්ෂේත්‍රය ඇතුළෙ නවක නිළියන්ට කට කතා හැදෙනවා වැඩියි?

ඉතින් හොඳයිනේ.

* මොකක්ද?

කටකතා හැදෙන එක.

* තරුෂි ආසයිද කතාවක් හැදෙනවට?

නැත්තං, කතාවක් හැදෙනවා කියන්නේ ජනපි‍්‍රයයි කියන එකනේ.

* ඒත් කට කතාවකින් ජීවිතයට කැලලක් එක්වන්න පුළුවන් නොවෙද?

ඒක හරි, නමුත් මං විශ්වාස කරන පරිදි කටකතා හැදෙන්නේ වැරුද්දක් නැතුවනේ. මං වැරදි නැහැ කියලා මං දන්නවනේ. කතාවක් හැදුනත් මං බය නැත්තේ ඒකයි.

* තරුෂිගෙ පෙම්වතාගෙ නම කියන්න පුළුවන්ද?

මට තවම එහෙම කෙනෙක් නැහැ.

* ජනපි‍්‍රය නළුවකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් මොකද කරන්නේ?

කතා දෙකක් නැහැ ප්‍රතික්ෂේප කරනවා.

* ඔහු සල්ලි කාරයෙක් වුණොත්?

ඒත් ඒ තීරණයම තමයි.

* තරුෂිගෙ දැන් වයස කීයද?

විසි හතරයි. 1990 -11- 15 මගේ උපන් දිනේ.

* කොහෙද ගෙවල් එහෙම?

මිනුවන්ගොඩ.

* පාසලත් මතක් කරමු?

මිනුවන්ගොඩ නාලන්දා බාලිකාව.

* තරුෂිගෙ පවුලේ තොරතුරු?

අම්මයි, තාත්තයි, මල්ලියි. තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්.

* කාටද ඔබව දේදුනු කළාට තුති පුදන්න තියෙන්නේ?

නිල්වලා ආයතනයට, ඇන්ටන් සැම්සන්, ශාන් රූපස්සර, ලලිත් වසන්ත, සඳුන් රාජකරුණා, ජයන්ත අබේරත්න සහ අනිල් මල්ලවාරච්චි යන මහත්වරුන් ඇතුළු දේදුනු නාට්‍ය කණ්ඩායමේ සියල්ලන්ටම.