වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




හින්දි සිනමාවේ ආචාර්ය- පිනාචාර්ය

හින්දි සිනමාවේ ආචාර්ය- පිනාචාර්ය

ශ්‍රීමති අයිරානිට යේල් සරසවියේ උපාධියක් ඇති බව පවසා කට වරද්දවා ගැනීමෙන් පසුගිය දිනක මුහුණපෑවේ විශාල අකරතැබ්බයකටය. බොලිවුඩයේ බොහෝ සුපිරි තරුවලට විවිධ සරසවි මඟින් ගෞරවයෙන් පිරිනැමුණු ආචාර්ය උපාධි ද ඕනෑ තරම්ය. දේශපාලනයට පිවිසි නිසා ශ්‍රීමති අයිරානිට අධ්‍යාපන මට්ටම ගැන කථා කිරීමට සිදු වුණත් රංගන ශිල්පීන්ට, රංගන ශිල්පිනියන්ට නම් එවැනි අවශ්‍යතාවක් පැන නොගනී. රසිකයන්ගේ අධ්‍යාපන සහතිකය ඔවුනට හිමි වන්නේ තිරයේ පෙන්වන රංගන කුසලතාව මතයි. ඒ ඔවුන් මළ පොතේ අකුරක් දැන නොසිටියත් රංගනයට විශිෂ්ටයකු නම් අවශ්‍ය එපමණය. එහෙත් වියතුන් වූ නළුවන් ද සිටින බව අප අමතක නොකළ යුතුය.

මෙගා තරුව, අමිතාබ් බච්චන් නළුවන් අතර සිටින උගතෙකි. විද්‍යා හා කලා උපාධිධාරියකු වන ඔහු ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සරසවියෙන් ගෞරව ආචාර්ය උපාධියක් ලැබුවේ රංගන කුසලතාවටය.

ෂර්වුඩ්, නෙයින්තාල් සහ දිල්ලි හි කිරෝරි මාල් කොලීජියෙන් අමිතාබ් උසස් අධ්‍යාපනය ලබා තිබේ.

ෂාරුක් ඛාන් දිල්ලි සරසවියේ හන්සරාජ් කොලීජියෙන් ආර්ථික විද්‍යා උපාධිය ලබාගෙන ඇති අතර දිල්ලිවලම ජාමියා මිලා ඉස්ලාමියා සරසවියෙන් ජනසන්නිවේදන උපාධිය හැදෑරුවේය. එහෙත් ඔහුට එම උපාධිය සම්පූර්ණ කිරීමට ලැබුණේ නැත.

ජෝන් ඒබ්‍රහම් ජායි හින්දු කොලීජියේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙකි. නාසී මොන්ජී ආයතනයෙන් ඔහු කළමනාකරණ උපාධියක් ද ලබාගෙන ඇත.

සල්මන් ඛාන් විවාහයේදී අනුගමනය කරන කඩාකප්පල්කාරී ක්‍රියා පිළිවෙළ අධ්‍යාපනයට ද පොදු බවට පත් කර ගත්තෙකි. ඔහු බන්ද්‍රාවල ජාතික කොලීජියට පිවිසුණත් අධ්‍යාපනය අතරමඟ නතර කෙරිණි.

සිනමාවේ පූර්ණවන්තයකු වුවත් අමීර් ඛාන් පන්තියේදී සාමාන්‍ය ශිෂ්‍යයකු දක්ෂයකු විය. මූම්බායි නාසී මොන්ජී කොලීජියට ඇතුළු වුව ද පන්තිවලින් කට්ටි පැන්නේ නාට්‍ය රඟපෑමටයි.

බොලිවුඩයේ අලුත්ම සුපිරි ප්‍රේමවන්තයා රන්බීර් කපූර් මූම්බායි හි බොම්බේ ස්කොට්ෂ් පාසලින් මූලික අධ්‍යාපනය හැදෑරුවේය. ඊළඟට ඔහු ගියේ මූම්බායි එච් ආර් කොලීජියටයි. වසර දෙකක් සිනමා නිර්මාණකරණය ගැන හා රංගන කලාව පිළිබඳ අධ්‍යාපනය ලැබූ රන්බීර්, ලී ස්ට්‍රැස්බර්ග් වේදිකා සහ සිනමා ආයතනයෙන් දෘශ්‍ය කලාව හැදෑරුවේය.

බොලිවුඩයේ සිටින උගත්ම නිළිය ප්‍රීති සින්තාය. ඇයට සිම්ලාහ සාන්ත බීඩේස් කොලීජියෙන් ඉංග්‍රීසි ගෞරව උපාධියක් තිබේ. ප්‍රීති මනෝ විද්‍යා උපාධිධාරිණියකි. එපමණක් නොව අපරාධ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ඇත.

විද්‍යා බාලන් මූම්බායි සාන්ත සේවියර් කොලීජියේ සමාජ විද්‍යා උපාධිධාරිණියෙකි. ෆාරන් අක්තාර් මූම්බායි එච් ආර් කොලීජියේ වාණිජ විද්‍යා උපාධිධාරියෙකි.

රිතික් රොෂාන් වාණිජ විෂයයන් උපාධිය සඳහා හැදෑරුවත් දිගටම අධ්‍යාපනයට සිත යෙද වූයේ නැත.