වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




මේ මොකද ඕයි

මේ මොකද ඕයි

අපේ විනෝද සමයට ආවේණික වෙච්ච වචනයක් තමයි ‘ඕයි’. මේ වචනය එදා අපේ විනෝද සමය තුළ භාවිත කළේ අමාරිස් අයියා චරිතය කළ සැමුවෙල්. මේ ඕයි කියන වචනය යොදාගෙනම අපි විනෝද සමයට පිටපතක් නිර්මාණය කළා. එදා ඒ පිටපතේ විනෝද සමය හඳුන්වලා තිබුණේ ‘භාගය’ නමින්.

හාමු මහත්තයා - ආයිබෝවන් අමාරිස් අයියා. මම මේ ගමනක් යන ගමන් ගොඩ වුණේ.

අමාරිස් අයියා - ආයිබෝවන් හාමු මහත්තයා, එන්ඩ එන්ඩ ආපු එක හොඳයි. මමත් මේ කම්මැලිකමේ හිටියේ. බඩගිනියි, වහින්නත් වාගෙ ගෙනාව භාගයක්.

හාමු මහත්තයා - බාගෙම බිව්වද?

අමාරිස් - නැහැ, කෑවා.

හාමු මහත්තයා - මොනවා?

අමාරිස් - පාන් භාගයක් ඕයි.

හාමු මහත්තයා - ආ අමාරිස් අයියා දැන් සනීපද?

අමාරිස් - දැන් හුඟක් හොඳයි හාමු මහත්තයා. හැබැයි හීනෙන් එහාට මෙහාට යනවා. ඊයේ මම තමුන්නාන්සේලාගේ ගෙදර ගියා.

හාමු මහත්තයා - ඒ කොයි වෙලාවෙද?

අමාරිස් - ඊයේ උදේ.

හාමු මහත්තයා - ඊයේ උදේ මම හිටියනෙ. කීයට වාගෙද ආවේ?

අමාරිස් - හීනෙන් ඕයි. මම යන කොට මිදුලෙ ලොකු බල්ලෙක් හිටියා. මූ මට ගොරවන්න පටන් ගත්තා. විශ්වාස කරන්න හාමු මහත්තයා ගැහැව්වා බල්ලට පයින් පාරක් අඩි විස්සක් ඈතට විසි වුණා.

හාමු මහත්තයා - ඇයි එහෙම කළේ. මම ආදරේට හදන සතානේ.

අමාරිස් - හීනෙන් ඕයි.

කළුවර නම් ටෝච් එකක් ඕනෑ

ලී මඩුව තේමාව රැගත් විනෝද සමය හරිම අපූරු රසවත් සිනා සාගරයක්. එදා මේ ලී මඩුවට රංගනයෙන් දායක වුණේ ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, ධර්ම ශ්‍රී මුණසිංහ. ලී මඩුවේ අයිතිකරු වූයේ ඇනස්ලි. එහි රැකියාවක් සොයා පැමිණෙන අපේක්ෂකයා වුණේ බර්ටිය. ධර්ම ශ්‍රී එහි පාරේ යන මගියෙක් ලෙසින් රංගනයට එක් විය.

දැන් ලී මඩුව තේමා කොට විනෝද සමය රඟ දැක්වීමට සූදානම්ය. ලී මඩුවේ අයිතිකරු ලෙසින් ඇනස්ලි සරමක් හා බැනියමක් ඇඳ වාඩි වී බලා සිටී. ඒ අතරේ රැකියා අපේක්ෂකයකු ලෙසින් බර්ටි වේදිකාවට පැමිණෙමින් සිටී.

ඇනස්ලි - මොකද මේ ඉලන්දාරියා?

බර්ටි – ලී මඩුවට සේවකයෙක් ඉල්ලලා තිබුණෙ. ඒකයි ආවේ.

ඇනස්ලි - ලී ගැන පලපුරුද්දක් තියෙනවද?

බර්ටි – ඔව්. අපේ ලී කෙලි මාස්ටර්ගෙනුත් ලියුමක් ගෙනාවා.

ඇනස්ලි - ළමයා මේකත් ලී කෙලියක් තමයි. හැබැයි මේක ඉස්කෝලෙ ලී කෙලිය නොවෙයි. ලී ගැන දන්නවද?

බර්ටි – දන්නවා දන්නවා.

ඇනස්ලි - මෙතන කොස් තියෙනවා, තේක්ක තියෙනවා, බුරුත තියෙනවා, කළුවර තියෙනවා.

බර්ටි – කළුවර තියෙනවා නම් ටෝච් එකක් ඕනෑ.

ඇනස්ලි - ළමයා ලී වර්ග ගැන මේ කියන්නේ. වල්ලී හඳුනනවාද?

බර්ටි – ඔව්. අඳුනනවා. ලෙච්චිමීගේ නංගිනේ. මොනවා කියනවද මන්දා?

ඇනස්ලි - මුමුනමින් . . . මේ මිනිහා මොකුත් දන්නෙ නැහැනෙ.

ඇනස්ලි - හොඳයි හොර අඩියක් කීයද?

බර්ටි - හොර තැන්වල නම් 1.10 යි. හැබැයි කලවං.

අපේ තාත්තා යන්නේ බාර් එකටමයි. එහෙ 1.20 යි.

ඇනස්ලි - ඕයි කොස්. දෙල්. හල්මිල්ල, රට අඹ තියෙනවා කියලා පාරේ යන මිනිස්සුන්ට කෑගහල කියන්න පුළුවන්ද?

බර්ටි – පුළුවන් පුළුවන්.

ඇනස්ලි - එහෙනම් යනවා දැන්මම පාරට. මිනිස්සුන්ව එක්කන් එනවා.

බර්ටි – (මහ පාර අයිනට ගොස්) එන්ඩ එන්ඩ කොස් තියෙනවා. දෙල් තියෙනවා.

මේ අවස්ථාවේ පාරේ යන මිනිසෙක් ලෙසින් ධර්ම ශ්‍රී මුණසිංහ වේදිකාවට පැමිණෙයි.

ධර්ම ශ්‍රී - කොස් තියෙනවද?

බර්ටි – තියෙනවා, තියෙනවා.

මොකේද ගෙනි යන්නේ?

ධර්ම ශ්‍රී – කෙහෙල් කොලයක් ගෙනාවා. දවල්ට කන්ඩ ටිකක් තිබුණොත් ඇති.

ඇනස්ලි - ඕයි මේ හිඟන්නෙක්නෙ ගෙනත් තියෙන්නේ.