වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සමහරු අපි දිහා වපර ඇසින් බලන කොට මුතු පලසෙ ගිය දේවල් හරියට හරි

සමහරු අපි දිහා වපර ඇසින් බලන කොට මුතු පලසෙ ගිය දේවල් හරියට හරි

අනෝජා වීරසේකර

මම විවාහ වුණේ අඩු වයසින්

මේක දාලා කොහේ යන්නද?

නිළියෝ එහෙමද කියලා අහන කොට අපිට උත්තර නෑ

මුතු පලසේ ඇමැති බිරිය ටිකක් සැරයි. සුන්දර චන්දරේ හැඩ කරන කාන්ති ඊට හාත්පසින්ම වෙනස්.

මේ චරිත දෙක නොඅනුමානව ඔබ නෙත ගැටී ඇති. කවුද ඒ තැනැත්තිය. අපි ටිකක් විපරම් කරලා හොයලා බැලුවා. ඊට පසුව සරසවියට කැඳවාගෙන ආවා.

අනෝජා වීරසේකර නිමාවූ මුතු පලසේ ඇමැති බිරියත් සුන්දර චන්දරේහි කාන්තිත් ඇයයි. මේවාට අමතරව තවත් ටෙලි සිතුවම් සහ සිනමාපට ගණනාවක් ඔස්සේ ඉදිරියේදී ඇය සිය දක්ෂතා පෙන්වීමට නියමිතයි.

අනෝජා බොහොම කාර්යබහුල මොහොතක මම ඔබව කතාවට අල්ල ගත්තේ?

ඇත්ත. නාට්‍ය දෙක තුනකම රඟපානවා. ඒ අතරින් ඔබ සඳහන් කළ නාට්‍ය දෙක විශේෂයි. ඇමැති බිරිය සහ කාන්ති අන්ත දෙකක චරිතයන්. ඒ වගේම පුරකලනි නාට්‍යයත් විකාශය වෙනවා. කලක් ඉමහත් ජනප්‍රසාදය ලබමින් දිගහැරුණු පාංබට්ටා නැවතත් පෙන්වනවා. ඒකේ මං ජසින්තා. ආයෙත් මගේ ජනප්‍රියත්වය වැඩි වුණා කියලා හිතෙනවා පාංබට්ටා සමඟින්.

අනෝජා කොහොමද රඟපාන්න එන්නේ?

ඒක අහඹු සිද්ධියක්. ගැහැනු ළමයි ටෙලි නාට්‍යයට අපේ ඉස්කොලෙනුයි ගැහැනු ළමයිව තෝර ගත්තේ. මාත් ඒ ගොඩේ හිටියා. එතකොට මගේ වයස අවුරුදු දහතුනයි. එය තමයි මගේ පළමු රංගනයය. ඊට පසුව වසර පහක් අධ්‍යාපනය වෙනුවෙන් රංගනය නවත්වන්න සිදු වුණා. ආයෙත් මම නිළියක් ලෙස එළියට එන්නේ කිරි පබළුවිල ටෙලි නාට්‍යයෙන්.

ඔබ රඟපෑ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක් මතක් කළොත්?

සිතට වහල් වීමි, මිලා, නිර්මායා, සකිසඳ සුවාරිස්, ශනි බලවත්.

එතකොට චිත්‍රපට?

වැඩ බැරි ටාසන් 2, බෝනික්කා, උයනට මල් ගෙන්න, ප්‍රීති ඇන්ඩ් ජෝයි.

ඔබ ව්‍යාපාරික කාන්තාවක්. විනෝදාංශයක් විදිහට ද කලාවේ යෙදෙන්නේ?

කලාවට මම ආසයි. ඒකයි රඟපාන්නේ. හැබැයි හැමදාම එක වගේ නිර්මාණ ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම ඒ කාලෙදි අපිට ජීවත්වන්න අමාරුයි. ඒකයි ව්‍යාපාර අංශයට යොමු වුණේ.

ඔබ කියන්නේ කලාව අස්ථාවරයි කියලද?

ඔව්. ඇතැම් අවස්ථාවලදී අස්ථාවරයි.

නිළියන්ට ලංකාවේ තියෙන පිළිගැනීම කොහොමද?

අපි දිහා වපර ඇසින් තමයි සමහරු බලන්නේ. මුතුපලසෙ නාට්‍යයේ ක්ෂේත්‍රයේ අඩුපාඩු කතා වෙනවා. ඒකේ තියෙන දේවල් හරියටම හරි. ඇතැම් අය අහනවා නිළියො එහෙමද කියලා. අපටත් උත්තර නැහැ ඉතින්.

ඔච්චර ඇනුම් පද අහ අහ ඇයි මේ ක්ෂේත්‍රයේම ඉන්නේ?

ක්ෂේත්‍රයට මම හරිම ආදරෙයි. මේක දාලා කොහේ යන්නද?

ඔබේ අදහසක් නැද්ද නිෂ්පාදිකාවක් වෙන්න?

නිෂ්පාදනයට එන්න ඕනෑ. හැබැයි අමාරුවෙ වැටෙයි කියලා බයයි. නාට්‍යයක් කරලා ඒක නොයා හිටියොත් හැමෝම අමාරුවේ වැටෙනවානේ.

ඔබේ පවුලේ විස්තරත් කියමු?

මම විවාහකයි. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මම විවාහ වුණේ අඩු වයසෙන්. ලොකු පුතාට අවුරුදු 21 යි. ඔහු මාධ්‍ය ආයතනයක සේවය කරනවා මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඔහු මගේ රංගන කටයුතුවලට අමිල සහායක් දෙනවා.

මේ වන විට රඟපාපු හොඳම චරිතය මොකක්ද කියලා මම ඇහැව්වොත්?

ගොඩක් චරිත මට හොඳයි. ඒ අතරින් එරංග සේනාරත්නගේ අපූරුගම නාට්‍යයේ චරිතය මට හොඳින් දැනුණා. මම එහි දරුවන් හතර දෙනෙක් ඉන්න ගැබ්බර මවකගේ චරිතයක් රඟපාන්නේ. ඒ වගේම ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ බෝනික්කා චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර්වරියක් විදිහට රඟපෑවා. ඒ චරිතෙත් මට විශේෂයි.