වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




මහත්තයා සිකියුරිටි ජොබ් එකක් ද කරන්නේ?

මහත්තයා සිකියුරිටි ජොබ් එකක් ද කරන්නේ?

හවසට රිහසල් යන බුද්ධික දමයන්තගෙන් අසල්වැසියෙක් අහලා

හෙ ට ක් නැ ති ර ට ක් 22 දා

බුද්ධික දමයන්ත යනු වේදිකාව වෙනුවෙන්ම උත්පත්තිය ලැබූ කලාකරුවකු යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. බොහෝ නිර්මාණකරුවන් මෙන්ම රංගන ශිල්පීන් පවා වේදිකාව අතැර යන මෙවන් වූ යුගයක ඔහු වේදිකාව පමණක් තම ප්‍රකාශ මාධ්‍ය කර ගනිමින් අද නිර්මාණකරණයේ යෙදෙයි. ‘හෙටක් නැති රටක්’ බුද්ධිකගේ නවතම වේදිකා නිර්මාණයයි. මෙම මස 22 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී වේදිකා ගතවේ.

බුද්ධික ‘හෙටක් නැති රටක්’ ගැන පළමුව මට පැහැදිලි කිරීමක් කරන්න?

මේක ප්‍රකට දකුණු අප්‍රිකානු නාට්‍යකරුවකු වන මයික් වැන්ගාන්ගේ නාට්‍යයක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක්. එය පරිවර්ථනය කරලා දුන්නේ ප්‍රගීත් අලුත්වත්ත . සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවේ පවත්වාගෙන ගිය මර්ධනකාරී වර්ගවාදී පාලන සමය අවසන් විමත් සමඟ එම රට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස නැවත ගොඩ නැඟීමට දරන උත්සාහය පිළිබඳයි මෙයින් කතාබහ කරන්නේ.

අප්‍රිකානු සමාජයට බලපාන ප්‍රශ්නයක් ඔබ කොහොමද මෙරටට ගළපගන්නේ?

දකුනු අප්‍රිකානු සමාජ දේශපාලන පසුබිම මත රචනා වුවත් එහි අන්තර්ගතය සෑම සමාජයකටම පොදුයි. කෙටියෙන්ම කිව්වොත් එහෙත් මෙහෙමයි. මෙහෙත් එහෙමයි. කිසිම වෙනසක් නැහැ.

හෙටක් නැති රටක් හැමෝටම ගෝචර වේවිද?

මෙහෙමයි. මගේ නාට්‍ය බලන්න ඉන්නේ සීමිත ප්‍රේ්ක්ෂක කණ්ඩායමක්. ක්‍රිකට් මැච් බලන්න එනවා වගේ බුද්ධික දමයන්තගේ නාට්‍ය බලන්න මිනිස්සු එන්නේ නැහැ. ඒක මං දන්න කරුණක්. ඒ හින්ද හෙටක් නැති රටක් නරඹන්න ඒ පිරිසම ඒවි. හැබැයි මේ නාට්‍ය එක්තරා ප්‍රේ්ක්ෂක කණ්ඩායමකට විතරක් හදපු එකක් නෙවෙයි.

ඉස්සරට සාපේක්ෂව අද වේදිකා නාට්‍ය නරඹන්නට එන ප්‍රේක්ෂකයින්ගේ අඩුවක් දක්නට තිබෙනවා. ඇයි ඒ?

ප්‍රධානම හේතුව ටී වී චැනල්වලින් පුන්නක්කු ලබා දීම. මෙරට නාට්‍ය කලාවක් කියල දෙයක් තිබුණා. ඒත් අද එහෙම නැහැ. ඒ ප්‍රවණතාවය නැති වෙලා ගිහින්. මිනිස්සු වර්තමාන හරසුන් ටෙලිවලට වහ වැටිලා. නොදැනිම මුලාවේ යනවා.

අතීතයේ ඔබ දක්ෂ ටෙලි නාට්‍ය නළුවෙක්. බෙනට් රත්නායකගේ ඹඹඹ.ජධථ ඇතුළු නාට්‍ය ගණනාවකින් ඔබ ඒ බව මනාව ඔප්පු කළා. ඉතින් අඳුරට බැන බැන ඉන්නේ නැතුව ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන් එක පහනක්වත් දැල්වුවොත් නරකද?

ඒකට මං මොකටද? ඔය නාට්‍ය කලාව වෙනුවෙන් කතා කරන්න ඕනෑ තරම් පිරිස් ඉන්නේ. තරුණ ජවය වේදිකාවටයි අවශ්‍ය. ඒකයි මේකෙම රැඳී ඉන්නේ.

ඒත් වේදිකාවට අද නිසි තැනක් නැහැනෙ?

ඔව්. ඒක ඇත්ත. අද වේදිකා නාට්‍ය කියන විෂය අතහැරලම දාලා. කිසිම අනුග්‍රාහකයෙක් නැහැ මේක ගොඩ ගන්න.

මේ කෙනෙහිලිකම් මැද ඔබ වේදිකාවෙම ඉන්නවා?

අපට එහෙම ඉන්න වෙලා තියෙනවා. සෑම කෙනෙහිලිකමක්ම දරාගෙන වේදිකාවට ආදරය නිසා වේදිකා නිර්මාණ කරනවා. හවසට හවසට වේදිකා නාට්‍ය රිහසල් යනවා දැකපු අපේ ගම් පළාතේ කෙනෙක් මගෙන් අහනවා ‘මහත්තයා සිකියුරිටි ජොබ් එකක් කරන කෙනෙක්ද කියලා. විලි ලැජ්ජාවෙ බැහැ. මං වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු කිව්වොත් ඔහු හිනා වේවි.

ඔබ වෘත්තීමය කලාකරුවෙක්ද?

ඔව්. ජොබ් කර කර නාට්‍ය හදන්න බැහැනෙ. නළුවො වෘත්තීයයි. ඒත් අධ්‍යක්ෂවරු වෘත්තීය නැහැ කියලයි මං හිතන්නේ.

හෙටක් නැති රටක් හි නළු නිළි පිරිවර මතක් කළොත්?

ජයනි සේනානායක, රජිත හේවාතන්ත්‍රි, ඕෂධී ගුණසේකර, සමන් චන්දන සමඟ මම මෙහි රඟපානවා.

වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන ගමන් රඟපාන්න පුළුවන්ද?

මොකද බැරි. මං මෙහි සුළු චරිතයක් තමයි නිරූපණය කරන්නේ. අධ්‍යක්ෂවරු රඟ නොපා අධ්‍යක්ෂණය කරන ඇතැම් නිර්මාණ සාර්ථක නැති රටක මම අධ්‍යක්ෂණය කරන ගමන් රඟපෑවාම මොකද වෙන්නේ.