වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඇහැළේපොළ පිටපත් දහයක් තවමත් කටුනායක

ඇහැළේපොළ පිටපත් දහයක් තවමත් කටුනායක

නිෂ්පාදක ගයාන් රණධීර

තම මූල්‍යමය දායකත්වය එක් කොට වියපත් බඹරා සිංහල සිනමාවට කැන්දන් ආ ඔහු විජය කුවේනි රැගෙන නැවත සිංහල සිනමාවට නවමු අත්දැකීමක් එක් කළේ ඉතිහාසය යළිත් අපට සිහි ගන්වමිනි. එයින් නොනැවතුණු ඔහු පෙරළිකාර දැවැන්ත සිනමා නිර්මාණයක් කරා පිවිසුණේ ඇහැලේපොළ කුමාරිහාමි නිෂ්පාදනය කරමිනි. මෙරට ප්‍රේක්ෂකයන්ට අපේ ඉතිහාසය යළිදු සිහි ගන්වමින් මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වන ඇහැලේපොළ කුමාරිහාමි සිනමා සිත්තම ඔහුගේ තෙවන නිෂ්පාදනයයි. නමින් ගයාන් රණධීර නම් වූ ඔහු මේ දිනවල දිවයින පුරා තිරගත වන තම තෙවන නිෂ්පාදනය වූ ඇහැලේපොළ කුමාරිහාමි පිළිබඳ සරසවිය හා සංවාදාත්මක කතාබහකට එක් වූයේ මෙලෙසිනි.

* කොහොමද මේ දවස්වල ඔබගේ ඇහැලේපොළ කුමාරිහාමිට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳයි. සිනමා ශාලා 45 ක චිත්‍රපටය තිරගත වෙනවා. චිත්‍රපටය තිරගත වෙලා දින දාසයක් වෙන විට චිත්‍රපටය තිරගත වන හෝල්වලින් එකොළහක්ම හවුස්ෆුල්. මේ දින 16 ට චිත්‍රපටය ලක්ෂ 310 ක ආදායමක් උපයලා තිබුණා.

* ඔබ චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස හාපුරා කියා සිනමාවට පිවිසෙන්නේ මෑත භාගයේ?

2010 වසරේ තමයි මම වියපත් බඹරා චිත්‍රපටය මුල් වරට නිෂ්පාදනය කරමින් සිනමාවට එක් වෙන්නේ. ඊට පස්සේ විජය කුවේනි 2011 වසරේ නිෂ්පාදනය කළා. 2014 දී මගේ තෙවන නිෂ්පාදනය වූ ඇහැලේපොළ කුමාරිහාමි සිංහල සිනමාව වෙනුවෙන් මට නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා.

* ඔබේ සිව් වැනි සිනමා නිෂ්පාදනයටත් සූදානම් බවට රාවයක් පැතිර යනවා?

ඒක ඇත්තක්. මගේ ඊළඟ චිත්‍රපටය මහා රාවණා. මේකත් අධ්‍යක්ෂණය කරන්නේ සුගත් සමරකෝන්. දැනට ඒ චිත්‍රපටයේ මුල් වැඩ කටයුතු හරි අඩක් කෙරිලා අවසන්. නළු නිළියන් තෝරා ගැනීම, දර්ශන තල ආදිය පිළිබඳ මූලික කටයුතු පවා අවසන් කරලා තියෙන්නේ. විශාල පිරිවැයක් දරල කරන්න සැලසුම් කරලා තියෙන දැවැන්ත සිනමා නිර්මාණයක් විදියට තමයි මහා රාවණා නිෂ්පාදනය කරන්න සැලසුම් කරලා තියෙන්නේ.

* ඔබේ සිනමා නිර්මාණය සඳහා නළු නිළියන් එක්දහස් පන්සියයක් පමණ යොදා ගත් බව සඳහන් කළත් ඔබගේ චිත්‍රපටයේ ප්‍රචාරය සඳහා නළු නිළියන්ගෙන් ලැබෙන දායකත්වය අඩුවක් පෙන්වනවා නේද?

නළු නිළියන් සම්බන්ධ කර ගැනීමේ ගැටලු තියෙනවා. ඒ අය වෙනත් රූපගත කිරීම්වල නියැලිලා ඉන්නවා. ඒ වගේ අවස්ථාවක මා වෙනුවෙන් කැප වෙන්න බැරි වෙනවා. මම ඒ අයට දොස් කියන්නේ නැහැ. හැකි පමණින් මට ප්‍රචාරක කටයුතුවලදී දායකත්වයක් දුන්නොත් මම හිතනවා ඒ අයටත් ඒක සුබදායි දෙයක් වෙයි කියලා. මොකද මගේ නිර්මාණය ප්‍රේක්ෂකයෝ බැලුවොත් මම තවදුරටත් මේ ක්ෂේත්‍රයේ රැඳෙයි. එහෙම රැඳුණොත් මම තවත් නිර්මාණයක් බිහි කරයි. එහෙම වුණොත් නළු නිළියොත් රැකෙයි. මගේ චිත්‍රපටය වෙනුවෙන් තවදුරටත් කැප නොවුණා කියලා මම ඒ අයට දොස් කියන්නේ නැහැ.

* ලක්ෂ හත්සීයක විශාල පිරිවැයක් දරා නිර්මාණ කළ මේ චිත්‍රපටය තුළින් වියදම පියවා ගැනීම ඔබට ගැටලුවක් නැද්ද?

මට මාධ්‍ය ආයතන පැත්තෙන් විශාල සහායක් ලබා දෙනවා ප්‍රේක්ෂකයන්ට පණිවිඩය රැගෙන යන්න. මා තුළ වැඩි විශ්වාසයක් තියෙනවා මට වාර්තාගත ඉලක්කයක් කරා යන්න පුළුවන් වෙයි කියලා. මේ චිත්‍රපටය හොඳ නිර්මාණයක්. පවුලේ කාටත් නැරැඹිය හැකි චිත්‍රපටයක්. අපේ ඉතිහාස කතාවක් සිනමාරූපී වෙලා අපි අතරට එනවා. සිරි පැරකුම් චිත්‍රපටයෙන් පස්සේ මිනිස්සු පොරකකා නරඹනවා දැක්ක චිත්‍රපටය බවට අද පත්වෙලා තියෙන්නේ ඇහැලේපොල කුමාරිහාමි. මේ තත්ත්වය තුළ සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයෝ මාව අතරමං කරන එකක් නැහැ කියලා මා තුළ දැඩි විශ්වාසයක් තියෙනවා.

* අද වෙන කොට ඔබේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුගත් සමරකෝන් ඔබ අතහැර ගොසින්ද?

නැහැ, එහෙම දෙයක් නැහැ.

* ඔහු අලුත් නිෂ්පාදකයෙක් සමඟ පටාචාරා නමින් චිත්‍රපටයක් පටන් අරගෙනලු?

ඒක ඇත්ත. මටත් පිටින් ඒ ගැන ආරංචි වුණා. එයාට තිබුණා සාදාචාරාත්මක අයිතියක් මගේ චිත්‍රපටය දින සියය පැන්නට පස්සේ තව නිර්මාණයකට යන්න. තවම මගේ චිත්‍රපටය තිරගත වෙලා සති තුනයි. මේක මම දකින්නේ ලැජ්ජා සහගත වැඩක් විදියට. මම කවදත් තිරය පිටුපස ඉඳලා වැඩ කරන කෙනෙක් නෙමේ. මේ ගයාන් රණධීර කවදත් තිරය ඉස්සරහ ඉන්න කෙනෙක්. හැංගි හැංගි ගැහිලි මා ළඟ නැහැ. කෙළින් ගැහැලි තමයි රණධීර ළඟ තියෙන්නේ. මම සුබ පතනවා සුගත් සමරකෝන්ට ඔහුගේ ඒ පටාචාරා සාර්ථක වේවා කියලා.

* පටාචාරා චිත්‍රපටයට ඔබත් දායක වෙන්න හිටියද?

කොහෙත්ම නැහැ. මම ඒ චිත්‍රපටයට වචනයකින්වත් සම්බන්ධ වෙලා නැහැ. මට සුගත් ටෙලිෆෝන් එකෙන් කතා කරලා දවසක් කිව්වා මම පටාචාරා කරන්න පටන් ගත්තා. මේ දවස්වල ෂූටින් කියලා. එච්චරයි. කලින් ඒ බවක් මට කියලා තිබුණේ නැහැ. ක්ෂේත්‍රය තුළ කතාබහක් යනවා මම මේකට සම්බන්ධයි කියලා. ඒක බොරුවක්. මම මොනම අයුරින්වත් ඒකට සම්බන්ධ නැහැ.

* ඔබත් සමඟ දැවැන්ත සිනමා නිර්මාණ දෙකක් කළ සුගත්ට තිබුණා ඔබ ගැනත් හිතන්න තවත් නිෂ්පාදකයෙක් සොයනවාට වඩා?

ඒක සුගත්ගෙන් ඇසිය යුතු දෙයක්. ඒක එයාගේ තීරණය හා අයිතිය. ඒක වළක්වන්න මට බැහැ. ඒත් මම කියන්නේ එයාට මේ වෙලාවේ සදාචාරයක් කියලා දෙයක් තිබුණා. මම එයාට මුදලක් දුන්නා. එයා මට නිර්මාණයක් කරලා දුන්නා. අපේ ගනුදෙනුව එතනින් ඉවරයි. මට සුගත් නැති වුණා කියලා ප්‍රශ්නයකුත් නැහැ. සුගත්ට මම නැති වුණා කියලා ප්‍රශ්නයකුත් නැහැ. මට ඕනෑ තරම් අධ්‍යක්ෂවරු ඉන්නවා. මම කාගෙන්වත් පස්සේ යන නිෂ්පාදකයෙකුත් නෙවේ. සුගත් වුණත් මම පස්සෙන් ආව මිසක් ගයාන් රණධීර එයා පස්සෙන් ගියේ නැහැ.

* ඔබත් සුගත් සමරකෝන් අතරත් මත ගැටුම් තියෙනවාද?

සුගත් කවුද කියලා ක්ෂේත්‍රයේ අයත් රටේ අයත් මමත් දන්නවා. මම කවුද කියලා ක්ෂේත්‍රයේ අයත් රටේ අයත් සුගතුත් දන්නවා. මම මොනවද කරන්නේ සුගත් මොනවද කරන්නේ කියලත් කවුරුත් දන්නවා. මම යම් දෙයක් කරනවා කිව්වොත් කරලා තියෙනවා. දෙනවා කිව්වොත් දීලා තියෙනවා. අද වෙනකන් ගයාන් රණධීර කිව්ව දෙයක් ඒ අයුරින්ම ඉෂ්ඨ කරලත් ඇති.

* ඔබේ උත්සාහයත් ඉතිහාස කතා රැල්ලක් සිනමාවට ගෙන ඒමද?

මහාවංශයත්, පන්සිය පනස් ජාතකයත් තියෙනකන් සිනමාව වැටෙන්නේ නැහැ කියලා කවුද කියලා තිබුණා. මම හිතනවා මේ විදියට ඉතිහාස කතා සිනමාරූපී වෙන්න ගියොත් ඉතිහාසයත් අපට එපා ෙවිදෝ කියලා. ඒ හින්දා මම දැන් ඉන්නේ අපි මේ රැල්ලෙන් බැහැර විය යුතුයි කියන තැන. කොයි දේ වුණත් ඕනෑවට වැඩි වුණොත් එපා වෙන තත්ත්වය ගැන අමුතුවෙන් පහදන්න ඕනෑ නෑනේ.

* ඔබ චිත්‍රපටයේ පිටපත් 55 ක් ප්‍රදර්ශනය සඳහා මුද්‍රණය කළා. ඒත් ප්‍රදර්ශනය සඳහා මුදා හැරියේ පිටපත් 45 ක් පමණයි. ඇයි ඒ?

ඒ තමයි චිත්‍රපට සංස්ථාවේ සභාපති අපිත් එක්ක තියෙන පුද්ගලික කෝන්තරය පිරිමහ ගත්තු හැටි. එයා එහෙම කළ එකෙන් වුණේ ගමේ ඉන්න චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට ඇහැලේපොළ කුමාරිහාමි බලන්න තියෙන අවස්ථාව නැති වුණ එකයි. අපි ජනාධිපතිතුමාට ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටය පෙන්නුවා. එතුමා ඒක සතුටින් නැරැඹුවා. අපිට පිටපත් පනස් පහක් පෙන්වන්න අවසර ලබා දෙන්න කියලා ඉල්ලීමකුත් කළා. එතුමා අපි ඉදිරියේම දුරකථනයෙන් චිත්‍රපට සංස්ථාවේ සභාපති අමතා කිව්වා අපි ඉල්ලන ගාණ ප්‍රදර්ශනයට අවසර දෙන්න කියලා. ඒ මොහොතේ එතන හිටියා මාත් සමඟ රෝහණ වීරසිංහ, සුගත් සමරකෝන්, රොහාන් වැලිවිට මහත්වරුන්. ඒ අයත් සාක්ෂි. ඒත් සභාපතිතුමා එයාගේ තනි තීරණයට මට දුන්නේ පිටපත් තිස් පහක් දෙන්න ගිය තීරණය වෙනස් කරලා පිටපත් 45 ක් විතරයි. ඒ වෙන කොට මම පිටපත් 55 ක් ප්‍රින්ට් කරලා. අද ගම්බද සිනමා ශාලාවලට චිත්‍රපටය නැතිව ඒ ශාලා වේලෙනවා. සංස්ථාවේ සභාපතිගේ අවසරය නැතිව මගේ චිත්‍රපටයේ පිටපත් දහයක් කටුනායක ගුවන් තොටුපළේ රේගුවේ ගුදමේ පුස් කනවා.

* අප රටේ මෙතරම් සිනමා අර්බුදයක් තිබියදීත් ඇයි තවදුරටත් ඔබ නිර්මාණකරණයේ නියැලෙන්නේ?

අපි සිනමාවට ආසයි. අපේ රටේ සිනමාව කියන දේ අසාර්ථක ව්‍යාපාරයක්. ඒකට හේතුව වෙලා තියෙන්නේ රටේ රාජ්‍ය මැදිහත්වීම තිබුණාට ඒක ක්‍රියාත්මක කරන්න බලධාරීන් අකමැතිවීම. ලෝකේ තියෙන ප්‍රබල මාධ්‍යයක් වූ සිනමාව අපේ රටේ නැති කරලා දාන නිලධාරීන් එක්ක මේ ගමන යන්න බැහැ.