වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දලු සෙලවේ

ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දලු සෙලවේ

ගේයපද රචක යාපා බණ්ඩාර සෙනෙවිරත්න
ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

අපේ ජීවිතය ජය ගැනීමට හේතු සාධක රාශියක් අතීතයේ සැඟව තිබේ යැයි හැඟේ. අතීතයෙන් ලැබෙන පන්නරය අපව ජීවත්වීමට, අප සිතුවිලි කරා ගමන් කිරීමට ඉඩහසර පාදයි.

මෙවර ‘මතක ගී පොත’ට සහභාගි වන්නේ ඒ අතීතයේ තම සිතැඟි වූ සිතුවිලි ඉටු කර ගත් අයෙකි. ඔහු යාපා බණ්ඩාර සෙනෙවිරත්නය. ‘ගොම්මන් කළුවර ඈත වනාතෙන්’ හා ‘ඉහිරුණු ප්‍රාර්ථනා’ යන ගීත රචනා කළ ඔහු ලේඛකයෙක් ද, මාධ්‍යවේදියෙක් ද වෙයි.

ගී පද බඳින්නට මට බල කළේ මගේ බාල කාලයයි. මා අවට වූ සොඳුරු පරිසරයයි. ඒ සොඳුරු පරිසරයෙහි වූ බොහෝ දේ දෙස බලා සිටින්නට ද ඒ ඒ දේ විඳින්නට ද මට අනුබලය ලැබුණේ තක්සලාවෙහි විසූ ටිකිරි බණ්ඩා ගුරුතුමාගෙනි. ජාතික ඇඳුම ඇඟලා ගත් ඔහු සිංහල පොතෙහි තිබූ ‘සුදෝ සුදු’ කවි පන්තිය තාලයට හඬ නඟා කියන අයුරු මා එකල අසා සිටියේ සාවදානවය.

ඊට පසු කලකදී උසස් පෙළ ශිෂ්‍යයෙක් ලෙස ගත කරන අවධියෙහි ඇසූ සැළලිහිණි සන්දේශයේ කවි ද මගේ මතකයේ රැඳුණේ නිතැතිනි.

ඒ පොත්වල පරිසර සෞන්දර්යය මට කොතරම් බලපෑම් කළේ ද යත් නිවෙසට පිටුපසෙන් පිහිටි වෙල්යායේ කෝන් ගසේ සෙවණට වී බටහිර අහස දෙස බලා සිටින්නට මම බෙහෙවින් ප්‍රිය කළෙමි. තැඹිලි පැහැ සේලයෙන් සැරැසුණු වලා පෙළත්, වෙල්යායේ ඈත ඉමට ඉහළින් එසැවී පෙනෙන යෝධ කඳු පෙළත් අතර දිස්වෙන රත් පැහැ ගැනුණු රිවි මඬල

‘විලකුන් සුරත් පල වැනි වේ රිවි මඬල’

යන කවි පදයෙහි අපූර්වත්වය සිහිපත් කළේය. රත් පැහැ වන් හිරු අවසන් රැස් දහර මුදා හැර කඳු අතර ගිලෙද්දී රුක් ගොමුවල සෙවණැලි හාත්පස වසා ගනියි. එවිටම හමා එන සිහින් සුළං රැල්ලක් ගත වෙලා ගන්නේ අවට වූ රුක් ගොමුවල දලු සොලවමිනි. නිවී සැනසුණු සොඳුරු සිතුවිලිවලට උල්පත දෙන එතැනින් මා ඉවතට පැමිණෙන්නේ අම්මාගේ ඇමතුමත් සමඟය.

ඊට පසුදා හිරු නැඟෙන අලුයම ද සැඳෑ අහස තරම්ම සුන්දරය. වෙල්යාය අනන්තයේ නැගෙනහිර අහස ඉම වසා නැඟී දිවෙන වයඹ ශේෂ කඳු අතර නිසොල්මන්ව සිටින ඔසු උයනක් සේ ප්‍රකට දොළුකන්ද මුදුනෙන් හෙමින් සැරේ මතු වන්නේ උදා හිරුය. උදා හිරුගේ මුදා හරින සිහින් රිදී වන් රැස් දහර වැදී ළපටි ගොයමේ පත් මත රැඳුණු පිනිකැට දිලෙන අයුරු කදිමය.

තුරු අතු පතරේ කෑ ගසන විහඟුන් දැක උන්ගේ හඬ අනුව උන්ගේ රුව හඳුනා ගැනීමට මට තිබුණේ නොතිශ් ආශාවකි. ඒ සිතුවිලි අතර සිර වී සිටිද්දීම නියර දිගේ උඩ පැන පැන දුවන කොරවක්කාගේ දසුන නරඹන්නට ද මම අමතක නොකරමි. ඈත මෑත තුරු මදනල හා මුසුව ලෙළදෙන්නේ ලොවට, දයාබර මිනිසුන්ට සෙනෙහසින් අමතන්නා සේය.

සුළඟ වැදී නැළවෙන උණ පඳුරු අතරෙන් නැඟෙනා සිලි සිලිය මිහිරි තනුවක් මා සිතට මුමුණයි. ඒ අසිරියෙන් මත්වන මම ආපසු නියර දිගේ නිවෙසට ඇදෙන්නේ මගේ සිතට යළි යළිත් අකීකරු වෙමිනි. වික්ටර් රත්නායක ගයන මේ ගීතය අසන මගේ සිත ද සැනෙන් ඒ අතීතය සොයා දොඩම් වටවන නම් මගේ සොඳුරු ගම්මානය සොයා ඇදෙන්නේ මටත් හොරාය.
 

සිහිල් සුළං රැල්ලේ

ඔබේ සුවඳ මුසුවේ

ආදරයේ මඳ සිනිඳු පහස ලැබ

හදවත දලු සෙලවේ

 

සිහිල් සුළං රැල්ලේ

ඔබේ සුවඳ මුසුවේ

සුදුවැලි කතරේ පිපුණු මල වගේ

ලොව්තුරු රස ගංගා

 

ඔබේ ආදරේ වරුසා වැහැලා

කතර දෙව් ලොවක් වේ

සීත හිමව්වේ කඳු ගැට අතරේ

සෙනෙහස දිය දහරා

 

ඈත හිමේ කඳු අතරේ පාවෙන

අමා සුවය පැතුවේ

 

ගේය පද - සේන වීරසේකර

සංගීතය - වික්ටර් රත්නායක

ගායනය – වික්ටර් රත්නායක

 

වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතයට විවිධ අය විවිධ අර්ථකථන දෙති. ඒ අර්ථකථන අතරට මම මගේ සිතට නැඟෙන මේ අරුත ද එක් කරමි. ඒ ජීවන පැවැත්ම සඳහා නඟන මිනිස් චින්ත සන්තානයට සදා සැනසීම, ඉවසීම, අනන්ත සුවය නිර්ලෝභීව දානය කෙරෙන්නේ සොබා දහම බවත්ය.

එහි සෞන්දර්යාත්මක පරිසරයෙන් කම්පිත සිතක් ලබන ලෞකික තත්ත්ව පවා ඉක්මවා යා හැකි සුවය, සැනසීම හා විඳීම මේ ගීයේ පද ලතාවෙන් හා සංගීතයෙන් ද ගායනයෙන් ද මනාසේ නිරූපණය වන බව මම පවසමි.

වික්ටර් රත්නායකයන්ගේ ගීතවලට මා ප්‍රිය කරන්නේ කුඩාකල පටන්මය. ගීත ඔස්සේ ඔහුගේ සහෘදයෙක් වූ මට ඔහු හා ළංව ඇසුරක් පවත්වන්නට ද ඉඩ ලැබෙන්නේ කොළොම්පුරට වූ ආගමනයෙනි.

ඒ 1979 වසරෙහි මා නිර්මාණය කළ ‘හිමවළල්ල’ වේදිකා නාට්‍යය නිසාය. ‘හිමවළල්ලෙහි’ සංගීතය නිර්මාණය කිරීමටත්, එහි ‘රාත්‍රී යාමයේ’ නම් ගීතය ඔහුගේ ස්වරයෙන් ගැයීමටත් ගත් තීරණය නිසා මම වික්ටර් රත්නායකයන් හමු වුණෙමි. එපමණක් නොව වේදිකා නාට්‍යයේ සංගීතයත්, ගීතය ගැයීමටත් ඔහු පොරොන්දු විය.

ඒ, ඒ වනවිට ද ඔහු කෙරෙහි වූ කාර්යබහුලත්වයත්, තමන්ට ලැබෙන ආර්ථික ප්‍රතිලාභයත් නොසලකාය. අවසානයේ ‘හිමවළල්ල’ සංගීත කටයුතු සම්පූර්ණ වූ නමුදු නාට්‍යය වේදිකාවට එන්නට පෙර අතරමඟ දී බිඳ වැටිණි. ඒ නිෂ්පාදකගේ ගැටලුවක් මූලික කර ගනිමිනි. ගීතය අසන සෑම විටෙම මේ අතීතය ද සිහිපත් වන්නේ නිතැතිනි.

මීළඟට මගේ හදවත බැඳුණු ගීතය ගයන්නේ දයාරත්න රණතුංග හා අමරා රණතුංගය.

කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ

නළල් වටින් . . .

අමරා - මහ රෑයාමේ මේ ඇල්හේනේ

තනියම සීපද කියනු අසා

 

වෙහෙස දරාගෙන පාර අසා ගෙන

ආවෙමි අඳුරෙම ඔබව සොයා

දයා - සීපද රාවේ සවනත වැකිලා

ඉන් මත් වී ලද ඔබ ආවේ

 

මහ රෑ තනියම මේ ලෙස එන්නට

හොඳ නෑ ඇයි එය නොසිතූවේ

අමරා - ඔබ සීපද මට හරි මිහිරියි

දයා - මෝරන සෙනෙහස යයි ඉහිරී

 

අමරා - කියන්න ද සී පද රස කරලා

දයා - අහන්න ඒවා සැනසීලා

අමරා - ඔබ කියනවා නම් අසා සිටින්නම්

ඔබේ දෙපාමුල සැතපීලා

 

අමරා - අඳුරයි සුළඟයි අපව වටා

දයා - තනි රකිනව ආදරය සොයා

අමාරා / දයා - දිවි ගංගාවේ ඔරුවයි හබලයි

වාගේ නැළවෙමු සුවය පතා
 

ගේය පද – මර්වින් සේනාරත්න

සංගීතය – දයාරත්න රණතුංග

ගායනය – දයාරත්න රණතුංග, අමරා රණතුංග

මේ ගීතය හා සබැඳුණු අතීතයක් ඊට ඇත. අතීතය ගීතය අසන සෑම විටෙකම මගේ මතකයට පිවිසෙයි. මේ ගීතය පළමුව ගයන්නේ දයාරත්න රණතුංග සමඟ ඔහුගේ වැඩිමහල් සොයුරිය සෝමා රණතුංගය. ඒ නව නිර්මාණාත්මක යුගල ගීයක් ලෙස ගුවන් විදුලියට එක් වන්නේ 1959 වසරේදීය.

එසේ සෝමා රණතුංගගේ හඬෙන් ගැයුණු ‘මහ රෑ යාමේ’ ගීතය අද අප අසන්නේ අමරා රණතුංගගේ හඬෙනි. මේ වෙනස සිදු වන්නේ 1960 වසරේදීය.

පෙර ගීතයට අමතරව ‘කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ’ යන පද කිහිපය ද ගීතයට එකතු වන අතරම යුග ගායනයේ ගායිකාවගේ කොටස ගයන්නට තෝරා ගන්නේ අමරා කස්තුරිආරච්චිවය.

අද අප අසන්නේ මෙලෙස දෙදෙනාගේ එකමුතුවෙන් නැවත ගුවන් විදුලියට ගැයූ ‘මහ රෑ යාමේ ‘ ගීතයයි. ගීතය ගයා සිව් වසරක් ගිය තැන ඔවුහු එක්තැන් වූහ. ඒ අමරා කස්තුරිආරච්චි, අමරා රණතුංග වෙමිනි.

මේ ආ ගිය කතා අසන්නට මා අවස්ථාව ලද්දේ මගේ සිතේ තැන්පත් වී තිබුණු ගේය පද රචකයෙක් වීමේ කැමැත්තය. ගීත ලියන්නට ප්‍රථම සංගීතය උගත යුතුය යන මතයෙහි එකල මම දැඩිව එල්බ සිටියෙමි.

ඒ නිසාම කොළොම්පුරවරයට ඇදී ආ ගමනේදී මා නැවතුණේ දයාරත්න රණතුංගගේ සංගීත ආශ්‍රමයේය. දයාරත්න රණතුංග නම් මගේ සංගීත ගුරුතුමා සහ මා කොපමණ හිතවත් වුයේදැයි පවසතොත්, මෙවැනි ඒ කාලයේ වූ බොහෝ සොඳුරු දේ මා සමඟ පවසන්නේ රස කරමිනි. අමතරව ඔහු හා සම්බන්ධ ඒ බොහෝ තොරතුරු මා දැන ගත්තේ ඊටත් ටික කලකට පසුවය. ඒ ඔහු පිළිබඳ මා ලියූ ‘සුවිපුල් සියත්සර’ කෘතිය මඟිනි.

කෘතිය සම්පාදනය කිරීමට මම දිගු කලක් ඔහුව මුණ ගැසුණෙමි. ආගිය කතාබහ මෙන්ම අතීතයේ වූ බොහෝ මනස්කාන්ත සිදුවීම් දිග හැරුණේ ඒ නිමේෂයේදීය. ඔහු ගැයූ ගීත අතරෙන් මේ ගීතයට මම බොහෝ කැමැත්තෙමි. ඒ ගීතය අසන විට මේ අතීතය මෙන්ම ගැමි ජනයා විසූ අප ගම්මානයේ ගැමි ළඳුන් නෙළුමකදී ගී ගයන අයුරු ද සිහිපත් වන බැවිනි.

මා ගේය පද රචකයෙක් බවට පත් වන්නේ ද ඔහු නිසාමය. ඒ ‘ගොම්මන් කළුවර ඈත වනාතෙන්’ ගීතය ගයන්නට තෝරා ගැනීම හේතුවෙනි. මේ සියලු කාරණා නිසාම දයරත්න රණතුංගයන් මගේ හදවතෙහි කොණක නිබඳව වෙසෙයි. ඔහුගේ සොඳුරු ගුණදම් හා මිතුදම් නිරතුරුවම මා මතකයට නැඟෙයි.