වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් හොඳ කියන්නේ නරකට

දැන් හොඳ කියන්නේ නරකට

උඩු සුළඟ තැනූ මාවෝ ලක්ෂිත සමඟ කතාබහක්

මාවෝ ලක්ෂිත රටම හඳුනා ගන්නේ ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශය වූ ඇඟිලි සලකුණ වැඩ සටහනේ අධ්‍යක්ෂවරයා ලෙසටය. වෙනස්ම ආකාරයක ගවේශණශීලී වැඩසටහන් ගොන්නක් ප්‍රේක්ෂකයාට තිළිණ කළ හෙතෙම මේ දිනවල යළිත් කතාබහට ලක්වන්නේ ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘උඩු සුළඟ’ හරහාය. ‘උඩු සුළඟ’ ගැනත් මාවෝ ගැනත් සරසවිය කළ කතාබහකි මේ.

මාවෝ කාලෙකට පස්සේ?

ඔව්. දිගු කලකට පස්සේ නිර්මාණයක් සමඟ නෑදෑකමක් පවත්වා ගන්නට අවස්ථාව උදා වුණා. උඩු සුළඟ වෙනස්ම ආකාරයක ටෙලි නාට්‍යයක්. ඇඟිලි සලකුණට පස්සේ නිහඬව ගත කළ කාලයේදී වෙනසක් කරන්න මං ගවේෂණ රැසක් කළා. ඒ අතරතුරේ තමයි ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයෙන් මට වාරය ලැබුණේ. ඒ වාරයේදී ඉතාමත් අලංකාර යමක් කිරීම තමයි මගේ අභිප්‍රාය වෙලා තිබුණේ. ඒ අනුව මං උඩු සුළඟට යොමු වුණා.

උඩු සුළඟ වෙනස්ම නිර්මාණයක්. මේ වෙනස ඇති වුණේ කොහොමද?

ඇත්තෙන්ම මට අවශ්‍ය වෙලා තිබුණේ වෙනස් යමක් කරන්න. මොකද දැන් ප්‍රේක්ෂකයා ඉන්නේ හෙම්බත් වෙලා. එකම රැල්ලක එකම රූප රාමු එහාට මෙහාට යන විදිහේ තිබෙන ටෙලි නාට්‍ය තමයි අද ප්‍රේක්ෂකයාට දකින්නට ලැබෙන්නේ. අද ප්‍රේක්ෂකයා ටෙලි නාට්‍ය බලන්නේ නෑ. දකිනවා. ඒ තත්ත්වයට ටෙලි නාට්‍යය පත් වුණ යුගයක මට අවශ්‍ය වෙලා තිබුණේ ප්‍රේක්ෂකයාට දැනෙන දෙයක් කරන්න. මං හිතනවා ඒ උත්සාහය සාර්ථකයි කියලා. මං ගුණ රුව වගේ හැඩයක්, හරයක් තියෙන නිර්මාණයක් බිහි කළා.

ඔබ මේ සඳහා ප්‍රවීණ වගේම නවක නළු නිළියන් පිරිසකුත් යොදා ගන්නවා?

මේ නිර්මාණය සඳහා පිරිස තෝරා ගනිද්දී මම හැමදේම ගැන හොයලා බැලුවා. විශේෂයෙන්ම ප්‍රවීණත්වය වගේම හැකියාවන්. නවක නළු නිළියන්ටත් අවස්ථාව දුන්නේ හොඳට හොයලා බලලා. මේ නිර්මාණයේ අතුරු චරිතවලට පවා හොඳ පිරිසක් යොදා ගන්නට මට හැකි වුණා. ඒ චරිත තෝරා ගැනීම ටෙලි නාට්‍ය සාර්ථකවීමට සෘජුවම බලපෑවා කියලා මම හිතනවා. ඒ වගේම හැම දෙනාම මෙහි තමන්ගේ චරිතය පිළිබඳ හොඳ අධ්‍යයනකින් පසු වුණා. හැමෝගෙම දායකත්වය උඩු සුළඟ පෝෂණය කළා.

දැන් නිර්මාණයට වැඩිය සිතන්න වෙලා තියෙන්නේ කොස්ට් එක ගැන?

ඔව්. පොදුවේ නිර්මාණකරුවන් හැමෝටම කොස්ට් එක බලපාලා තියෙනවා. ලෝ බජට් වැඩ කරන්න කියලා තමයි නිෂ්පාදකවරු මුලින්ම කියන්නේ. මට ඒ ප්‍රශ්නය බල නොපෑවත් බහුතරයකට කොස්ට් එක දරුණු විදියට බලපාලා තියෙනවා. දැන් අධ්‍යක්ෂවරු නිර්මාණයකට වඩා බජට් එක ගැන හිතනවා. ලෝ බජට් වැඩ කරලා නිර්මාණය විකාශය කිරීම තමයි ඇතැමුන්ගේ ඒකායන බලාපොරොත්තුව. ඒ නිසා කවුරුත් නිර්මාණය විසින් ඉල්ලා සිටින අවශ්‍යතා සපුරන්නේ නැහැ. මේ නිසා තමයි අරුත්සුන් බලන් ඉන්න බැරි ටෙලි නාට්‍ය හැදෙන්නේ.

ඔබේ නිර්මාණය හරබරයි. නමුත් අද ප්‍රේක්ෂකයා හුරුවෙලා ඉන්නේ බොළඳ වැඩවලට?

ඒක ඇත්ත. නමුත් කාලෙන් කාලට එන රැලි කවදාවත් පවතින්නේ නැහැ. දැන් බහුතරය හරි කියලා හිතන් ඉන්නේ වැරැදි දේ. ඒ නිසාම නිර්මාණ කියලා කරන්නේ බාල බොළඳ වැඩ. මේ තත්ත්වය යටතේ හොඳ නිර්මාණයක් ඉදිරිපත් කළාම ඇතැම් ප්‍රේක්ෂකයන් හිතන්නේ ඒක වැරැදි දෙයක් කියලා. ඒ තත්ත්වයට අද පත් වෙලා. ඒත් බුද්ධිමත් ප්‍රේක්ෂකයා හැමදාම ඉන්නේ හොඳ නිර්මාණයක් නැරැඹීමේ ආසාවෙන්.

අද ටෙලි නාට්‍ය ඇතුළේ ඇඩ්ස් යනව ද ඇඩ්ස් ඇතුළේ ටෙලි නාට්‍ය යනවද කියන තත්ත්වයට පත් වෙලා?

ඇත්ත. ඒ මාෆියාවට සියලුම නාළිකා නතු වෙලා ඉවරයි. රේටින් කියන්නේ ඒ ජාවාරමේම තව කෑල්ලක්. කොච්චර හොඳ වැඩසටහනක් විකාශය වුණත් මැද්දෙන් නවත්තල අවශ්‍ය දැන්වීම් දාන තරමට අද නාළිකා පත් වෙලා. මේක දරුණු ඛේදවාචකයක්. මං හිතනවා ඒක ප්‍රේක්ෂක රස වින්දනයට ලොකු බලපෑමක් ඇති කරනවා. නමුත් මේ සම්බන්ධව කවුරුත් කතා කරන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් බාධාව ගණනකට නොගන්න තත්ත්වයට පත් වෙලා. සල්ලි නැතුව නාළිකා පවත්වාගෙන යන්න බැහැ. නමුත් රස වින්දනය තමයි නාළිකාවේ ප්‍රධාන අරුත විය යුත්තේ.

උඩු සුළඟේ ඉලක්කගත කණ්ඩායම ඔබ නිර්මාණය කරලා තියෙනවාද?

හොඳ නාට්‍ය අවබෝධයෙන් බලන්න පුළුවන් හැමෝම මගේ නාට්‍යයේ ඉලක්කගත කණ්ඩායම කිව්වට වරදක් නැහැ. බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ මගේ නාට්‍ය බලනවා. ඒක මට ප්‍රතිචාරවලින් තේරෙනවා. ටෙලි නාට්‍ය දන්න අය 100 කට වඩා අවබෝධයෙන් බලන එක්කෙනා වටිනවා.

ඔබ මේ නාට්‍ය නිර්මාණය කළේ බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ කියන පන්තියටද?

නැහැ. මං පොදුවේ නාට්‍යයක් නිර්මාණය කරලා තියෙනවා. නාට්‍ය විඳින ඇසුරු කරන හැමෝටම මගේ නිර්මාණය විවෘතයි.

ඇඟිලි සලකුණ වගේ වැඩසටහනක් කරන්න අදහසක් නැද්ද?

ඒ කාලේ ඇඟිලි සලකුණ අතිශය ජනාදරයට පත් වුණා. ඒ වගේ මං ඒ කටයුත්තට බොහෝ වෙහෙසුණා. ඒ වගේ වැඩසටහනකට ඉල්ලුමක් තියෙනවා. ඉදිරියේදී වෙනස්ම වැඩසටහනකට අදහසක් තියෙනවා.

චිත්‍රපටයක් කරන්න හිතක් නැද්ද?

අනිවාර්යයෙන්ම තිබෙනවා. නිෂ්පාදකවරයෙක් හමු වුණොත් ඉතිරිය මා ළඟ තියෙනවා.

මාවෝ අපි ඉන්නේ අවසානයේ?

මේ නිර්මාණයට දායක වුණු හැම දෙනාටම ස්තුති කරන්න මා මේක මොහොතක් කර ගන්නවා. මගේ ටෙලි නාට්‍යය කැමරා අධ්‍යක්ෂණය කළේ රන්ජන් ගුරුසිංහ. සහාය අධ්‍යක්ෂණය සමන් ප්‍රේමරත්න. රේඛීය නිෂ්පාදනය විජිත මංගල. සංගීතය නවරත්න ගමගේ. මේ පිරිස ඇතුළු හැමෝටම ස්තුතියි. විශේෂයෙන් මා දිරිමත් කරන ප්‍රේක්ෂකයන්ටත් ස්තුතිවන්ත විය යුතුමයි.