වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අරක්කු ගණිකාවන් ඇත

අරක්කු ගණිකාවන් ඇත
කටවුට් පික්චර් නැත

අපේ ඇතැම් සිනමා ශාලා මෙහෙමයි
සුපිරි අන්දරේ සම නිෂ්පාදක කළ්‍යාණ චන්ද්‍රසේකර

කළ්‍යාණ චන්ද්‍රසේකර යනු සරසවියට අමුත්තෙකු නොවේ. ඔහු මුලින් කලා ලෝකයට අවතීර්ණ වනුයේ සරසවිය පුවත්පතට විශේෂාංග ලේඛකයකු හැටියටය. පසුව සිනමාවට අවතීර්ණය වන ඔහු සහාය අධ්‍යක්ෂවරයකු, නිශ්චල ඡායාරූප ශිල්පියෙකු, කලා අධ්‍යක්ෂවරයකු,තිර රචකයකු ලෙස චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හතළිස් තුනක් පුරාවට නිර්මාණකරණයෙන් දායක වූයේය. ඔහු මෙරට හෝම් වීඩියෝ ව්‍යාපාරයට අත තැබූ මුල් දෙතුන් දෙනාගෙන් කෙනෙකි. ඔහුගේ මුල්ම හෝම් වීඩියෝ නිර්මාණය ‘ජීවිතය මල්’ නමින් නිකුත් විය. එමෙන්ම පැරැණි ජනප්‍රිය චිත්‍රපට රාශියක් මෙරට ඩී. වී. ඩී වෙළෙඳපොළට ගෙනාවේ ද කල්‍යාණය.

පසුගියදා ඔහු සුපිරි අන්දරේ චිත්‍රපටයට දායක වූයේ නිෂ්පාදකවරයකු හැටියටය. චිත්‍රපටය සමඟ රට වටා ගිය ඔහු සිනමාහල්වල තත්ත්වය පිළිබඳ අපූරු විස්තරයක් කියා පෑවේය. ඒ සිනමාවේ බලවතුන්ගේ අධානයට යොමු වනු පිණිසය.

තමන්ගේ සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයන්ට පෙන්වා ගැනීමට සිනමා ශාලා හිමියන් පසුපස වැඳ වැටෙමින් ඔහු ගිය ගමන් මඟේ ඇසින් දැක කනින් අසා අත්දුටු සිද්ධි සමූහයක් සරසවියට හෙළි කරනු ලැබුවේ සිනමාවේ එක් ශෝචනීය පැතිකඩක් හෙළිකරන අදහසිනි.

මම සුපිරි අන්දරේ චිත්‍රපටය කළේ තවත් කීප දෙනෙක් හවුල් කරගෙන. මොකද මගේ පුංචි කාලේ ඉඳල තිබුණ ලොකු ආශාවක් චිත්‍රපටයක් කරන්න. එදා ඉඳලා මම සිනමාවේ රස වින්ඳ සිනමාව ගැන ලිපි ලිව්වා. ඔය වගේ පසුබිමක ගොඩ නැඟුණ මගේ ජීවිතය තුළ ලැබුව අත්දැකීම් නිසාම මමත් චිත්‍රපටයක් කළා. මේ කරපු චිත්‍රපටය මිනිස්සු අතරට ගෙනි යන්න තියෙන අමාරුව මට දැනෙන්න පටන් ගත්තේ චිත්‍රපටය කරලා ඉවර වෙලා ප්‍රදර්ශනයට සූදානම් වුණාට පස්සේ.

චිත්‍රපටයක් කරලා ඒක ප්‍රදර්ශනය කරන්න තියෙන අමාරුව කොච්චර ද කියලා මට දැනුණේ මගේ මේ චිත්‍රපටය පෙන්වන්න ගියාම. කවුරු හරි පිටතින් බලන් ඉන්න කෙනෙක්ට හිතෙයි මොකක්ද මේ මම කියන හරුපෙ කියලා. චිත්‍රපටය කරන්න යන කාලයට වැඩිය කාලයක්, ශ්‍රමයක් චිත්‍රපටය පෙන්නන්න වැය කරන්න වෙලා තියෙනවා. අද චිත්‍රපට හෝල්වල තියෙන්නේ අපි නොසිතන මාෆියාවක්. බොහෝ සිනමා ශාලාවල චිත්‍රපටය වෙනුවෙන් මුද්‍රණය කරන පෝස්ටර් එක අලවන්නේ නැහැ. කටවුට් එක ගහන්නේ නැහැ. චිත්‍රපටයක් බලන්න මිනිස්සු එන්නෙ ඒ සඳහා ලැබෙන ප්‍රසිද්ධියට.

පබ්ලිසිටි නැත්නම් මිනිස්සුත් නැහැ. හැබැයි දුර පළාත්වල ඇතැම් සිනමා ශාලාවලට පෝස්ටර් අලවන්න පාප්පත් කොළඹ ඉඳන් අරන් යන්න වෙලා. ශාලාවලින් බහුතරය කවදාවත් තමන්ගේ සිනමා ශාලාවක චිත්‍රපටයක් ආවට ඒකට ප්‍රචාරයක් ලබා දෙමින් මිනිස්සු ගෙන්වා ගන්න පෙළඹෙන්නේ නැහැ. ඒ හැම කටයුත්තක්ම අපි කරල දෙන්න ඕනෑ. මගේ චිත්‍රපටයටත් ඔය ආනිශංසයම ආවා. නිෂ්පාදකයෙක් හැටියට මාත් අනෙක් නිෂ්පාදකයන් කීප දෙනාත් තීරණයක් අරන් චිත්‍රපටය තිරගත වුණ හැම හෝල් එකක් ගානෙ අපි ගියා. එතකොට තමයි ඒවා ඇතුළෙ වෙන නීති විරෝධී ක්‍රියාවන් අපි දෑසින්ම දැක්කේ. ඇහුවෙ. සමහර චිත්‍රපට ශාලා තිබුණා අපේ චිත්‍රපටය තිරගත කරනවා කියලා අපිට දන්වලා.

ඒත් අපි හෝල් එකට ගියහම එක පෝස්ටරයක් තියා මිනිහෙකුට දකින්න සුපිරි අන්දරේ කියලා නමක් තියෙන පෝස්ටරයක් නැහැ. සිනමා ශාලා පාලු අම්බලම්. සමහර සිනමාහල් තිබුණා චිත්‍රපට ටිකට් කඩන්නෙත්, කැන්ටිම කරන්නෙත්, ප්‍රොජෙක්ටර් එක දුව වන්නේත් එකම කෙනාමයි. තව සමහර හෝල්වල ඉන්නේ දෙන්නයි තුන් දෙනයි. හෝල්වල තියෙන පිරිසිදුකම අන්තිමයි. සමහර හෝල් අපායක් වගෙයි. සමහර හෝල් ඇතුළේ අතුගාපු කාලයක් මතක නැහැ. ශාලාව ඇතුළේ මකුලු දැල් ඔලුවේ හිටන් වදිනවා. ඉතිං කොහොමද මෙවාට සෙනඟ එන්නේ. සමහර හෝල්වල 6.30 දර්ශනය නැහැ. අපි යන කොට පහට විතර හෝල් එකත් වහලා. අයිතිකාරයෝ ගෙදර ගිහින්. චිත්‍රපටය බලන්න එන අය ආපහු යනවා බැන බැන. හෝල් හිමියෝ එයාලට හිතෙන හිතෙන දේ කරනවා.

චිත්‍රපටයක් පෙන්වන්න ගත්ත ගමන් සෙනඟ එන්නේ නැහැ. ඒකට කාලය අවශ්‍යයි. ඒත් අද චිත්‍රපටය දාපුදාට පහුවදා ශාලා හිමියන් බලන් ඉන්නේ චිත්‍රපටය ගලවන්න. ඇයි කියලා ඇහුවාම කියනවා සෙනඟ නැහැ කියලා. සිනමා ශාලා රාශියක් අද පවතින්නේ තැබෑරුම් හැටියට. රාත්‍රිය වනතුරු තැබෑරුම්. තවත් ශාලාවක් ගණිකා මඩමක්. තවත් ශාලාවක් 10.30, 2.30 දර්ශනයෙන් එයාලගෙ දවසේ ගාණ හොයා ගන්නේ කපල්ස්වලට බොක්ස් සීට් ටික දීලා. කපල්ස් එයාලගෙ අවශ්‍යතා ඉෂ්ඨ කරගෙන පැයෙන් පැය භාගයෙන් මාරු වෙනවා. හෝල් එක කරන අයටත් වාසියි. ලයිට් බිල් ඉතිරියි. ෂෝ එකත් නතර කරනවා. ඔන්න තත්ත්වය.

ඇහැලියගොඩ පැත්තේ අපේ චිත්‍රපටය පෙන්වපු එක් ශාලාවක ශාලා හිමියෙක් චිත්‍රපටය පෙන්වන්න හුඟක් උනන්දු වුණා. හැබැයි එතැනට ගියහම දැනගන්න ලැබුණේ හෝල් එකට කිසිම මිනිහෙක් එන්නේ නැහැ කියලා. එය කලකට ඉහත ශාලාවේ බාර් එකේ කතාබහක් දුරදිග ගිහින් අවසානයේ චිත්‍රපට හෝල් එක ඇතුළෙම මිනිහෙක්ගේ බෙල්ල වෙන් වෙන්නට කපලා දාලා. ඔය සිද්ධියට පස්සේ හෝල් එක වහල තියලා. දැන් නැවත විවෘත කළත් කිසිම මිනිහෙක් චිත්‍රපටයක් බලන්න හෝල් එකට එන්නේ නැහැ. හෝමාගම පැත්තේ එක් සිනමා හලක චිත්‍රපටයක් බලන්න කපල් එකක් ගිහින්. ඒ ගිය කපල් එකේ ගැහැනු කෙනා ශාලාව ඇතුළේ්ම මරා දාලා. පිරිමි කෙනා පැන ගිිහින්. පහුවදා වෙනත් ජෝඩුවක් බොක්ස් එකට ගියහම ගෑනු කෙනෙක් මරා දමලා ඉන්නවා දැකලා තමයි මැනේජර්ට කියලා තියෙන්නේ. හේතුව චිත්‍රපටය ඉවර වුණාම ශාලා පිරිසිදු කිරීමක් නෑ. දැන් ඒ ශාලාවට කවුරුවත් යන්නේ නැහැ හොල්මන් තියෙනවා කියලා. හොල්මන් කතාව නිසා එහි අයිතිකරුවන්ට චිත්‍රපට පෙන්වනවා තියා හෝල් එක විකුණ ගන්නවත් බැරුව ඉන්නවා.

කෑගල්ල පළාතේ එක් ශාලාවක් තනිකරම තැබෑරුමක්. චිත්‍රපට ශාලාවක බාර් එකක් තියෙන්නේ චිත්‍රපටයක් බලන්න එන කෙනෙකුගේ අවශ්‍යතාවයට පමණයි. ඒ බාර් එක පරිහරණය කරන්නත් චිත්‍රපටය බලන්න ගන්නා ප්‍රවේශ පත්තරයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒවා පාරේ තියෙන බාර් වගේ බලපත්‍රයක් නොවේ. එහෙත් මේ ශාලාවේ ගැලරි ටිකට් එකක් රුපියල් තිහයි. එයින් එකක් දෙකක් පෙනෙන්න නිකුත් කරලා උදේ නවයේ ඉඳල රෑ නවය දහය වෙනකන් මේ අය චිත්‍රපට පෙන්වන මුවාවෙන් කරන්නේ බාර් එකක්. ඔවුන්ට චිත්‍රපට බලන්න මිනිස්සු පැමිණියේ නැතුවට කමක් නැහැ. මේ අය තවම චිත්‍රපට හොල් එකේ බාර් එක කරනවා.

හිඟුරක්ගොඩ පළාතේ ශාලාවකට යන විට චිත්‍රපටය වෙනුවෙන් නූල්පටක ප්‍රචාරයක් නැහැ. අඩුම තරමේ චිත්‍රපයේ පෝස්ටරයක්වත් නැහැ. අපි දුන් කටවුට් එකත් නැහැ. චිත්‍රපට ශාලාවේ 6.30 දර්ශනයත් නැහැ. ශාලාවේ උඩ තට්ටුවේ ඇති බාර් එක විවෘතයි. චිත්‍රපටයක් බලන්න පවුල් පිටින් පැමිණීම සාමාන්‍ය කරුණක්. 6.30 දර්ශනය ඒ අයට චිත්‍රපටය බලන්නට නැහැ.

දැරණියගල පළාතේ තිබුණ චිත්‍රපටයකට ටිකට් කඩන්නෙත්, ප්‍රොජෙක්ටර් එක දුවවන්නෙත් එක්කෙනාමයි. ඔන්න තත්ත්වය. චිත්‍රපටයක හැම ටිකට් එකකින්ම 7.5% ක් නගරසභාවට අපි ගෙවනවා. ඒත් අපිට චිත්‍රපටය ගැන පෝස්ටරයක් කටවුට් එකක් දාගන්න බෑ. ටියුෂන් ගුරුවරුන්ගේ මාෆියාවට තියෙන බලය බදු ගෙවන අපිට නැහැ. බදු ගෙවන අපේ පෝස්ටරයක් අලව ගන්න බැහැ. බදු නොගෙවන ටියුෂන් මාස්ටර්ලට වැහි වැහලා පෝස්ටර් ගහන්න පුළුවන්. අපි ගිය ගමනෙදි සමහර හෝල් තිබුණා හෝල් එකේ මැනේජර් දුර ඈතක ඉඳල වැඩට එන නිසා 6.30 දර්ශනය නතර කරලා කලින් ගෙදර යනවා. නමට මැනේජර්ලා වුණාට චිත්‍රපට දුවන්න බෑ. අපිට අපේ චිත්‍රපට ගලවන්න එපා කියලා මැනේජර්ට කියල විතරක් මදි වුණා.

ඇතැම් පළාත්වලට මත්පැන් බෝතල් දෙන්නටත් සිදු වුණා. එහෙත් මේ අය අපෙන් ඒකත් අරන් දවස් දෙකෙන් අපේ චිත්‍රපටය ගලවල වෙන එකක් දැම්ම තැන් තිබුණා. සමහර ශාලාවල හිමියෝ කෙළින්ම එයාලගේ එකවුන්ට් නම්බර් එක දීලා කියනවා රුපියල් පන්දාහක්, දහදාහක් ඒකට දාන්න. මම තව සතියක් චිත්‍රපටය ගලවන්නේ නැතුව තියා ගන්නම් කියලා. හැමදාම දවසේ ආදායම (ච්. අ.) සටහන් කරන්නට ශාලාවකට අනිවාර්ය කරුණක්. හුඟක් අය එහෙම කරන්නේ නැහැ. සමහර දර්ශනවලට සෙනඟ හිටියේ නෑ කියලා ඒක මඟ හරිනවා. ටිකට් එකේ තිබිය යුතු සීල් එක නැහැ. හෝල් හිමියෝ නිෂ්පාදකව හූරන්කනවා. නිෂ්පාදක හැටියට 45% යන විට ශාලා හිමියන්ට 45% ක් යනවා. ප්‍රදර්ශක මණ්ඩලයට 10% ක් යනවා. නිෂ්පාදක ලෙස 7.5% ක බද්දක් ගෙවලත් චිත්‍රපටයේ පෝස්ටර් ටික ගහ ගන්න අපිට නිදහසක් නැහැ.

එහෙත් ත්‍රිකුණාමලයේ දෙමළ ජාතික කළමනාකරුවකු අපට පුදුම සහායක් ලබා දුන් බව ස්තුතිපූර්වකව සඳහන් කළ යුතුයි. චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වගේම චිත්‍රපටය තිරගත කිරිමටත් උපරිම සහායක් ඔහු ලබා දුන්නා. එහෙම පිරිසකුත් මේ අය අතර ඉන්නවාය කියලා අපිට සතුටු වෙන්නත් පුළුවන්. ඒත් බහුතරය සල්ලි අරන් පහුවදාට බෙල්ල කපන අය බව ද කිව යුතුයි.

මේ බව පවසන්නට චිත්‍රපට සංස්ථා සභාපතිතුමන් හමුවන්ට සිව් වතාවක් ගිය ද අපට අවස්ථාවක් ලැබුණේත් නැත.