වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම සුද්දි එක්ක ගත කරන්න දවස් දෙකක් වෙන් කළා

මම සුද්දි එක්ක ගත කරන්න දවස් දෙකක් වෙන් කළා

ශේෂාද්‍රි - සම්පත් අලුත් ගෙදරට

මිදුලේ කොණක තිබුණු අඹ ගස ගෙඩිවලින් පිරිලා. ඉදුණු ගෙඩියකට දත ගැසුව ලේන් අප්පු අඹ අත්ත දිගේ ටික දුරක් දිව්වා. නැවතත් අඹ ගෙඩිය ළඟට ගිය පසු ටිකෙන් ටික අඹ ගෙඩිය කෑවා.

‘අඹ ගෙඩිය කහම කහ පාටයි’

සුද්දිට කියැවුණා.

‘අනේ මටත් අඹ ගෙඩියක් කඩා ගන්න ඇත්නම්’

ඈට හිතුණේ ඒ අඹ ගෙඩියේ පාට දැක්කට පස්සේ. එහෙම හිතුවා විතරයි මෙන්න සම්පත් ඈ ළඟම.

‘ඔයාට අඹ ගෙඩියක් කඩලා දෙන්නද’

සම්පත් ඇහුවේ සුද්දිගේ සිත හැඳිනගෙන වගේ. අත්තෙන් අත්තට පය තිබ්බ සම්පත් මෙන්න සැනෙන් අඹ ගස මුදුණේ.

‘අපිටත් එක්කම අඹ කඩන්න’

අලුත විවාහ දිවියට පත්වුණු ශේෂාද්‍රි - සම්පත්ගේ සැප දුක සොයන්න ගිය අපි ඔවුන්ගේ කැදැල්ලේ ගේට්ටුවෙන් මතු වුණේ එහෙම කියාගෙන. ඒ අතර සම්පත් අඹ ගෙඩි එකක් දෙකක් නොවෙයි. අඹ පොකුරක්ම කඩාගෙනයි පහළට ආවේ.

‘සුද්දි ඕං ඔයාගේ අඹ ගෙඩි ටික’

සුද්දිගේ දෙනෙත් දෙසම බලාගෙන සම්පත් කිව්වේ ආදරය උතුරන දෑසෙන්.

දිනේෂ් ප්‍රියසාද් කියන ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයා වගේම නිෂ්පාදකවරයාගේ දෙවැනි දූගේ අත ගත්ත සම්පත් ද සිල්වා ඇයට ආදරයට ඇමතුවේ ‘සුද්දි’ කියලා. සම්පත් කියන්නෙත් කලා පවුලකින් පැවැත එන්නෙක්. කාලයක් ටෙලි නාට්‍ය නරඹන්නන් අතර ජනප්‍රිය වුණු ‘චාපා’ගේ චරිතය අරගෙන ආව ‘රතු රෝස’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ සම්පත්ගේ තාත්තා රංජන් ද සිල්වා. දැන් ඔහු සේවය කරන්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ විදියට.

* ‘කලා පවුල් දෙකක එකමුතුව අපූරුයි’

එතැන තිබුණු නිශ්ශබ්දතාව බිඳිමින් මා පැවසුවේ මේ නව යුවළටයි.

‘ඇත්තටම ඒක අපූරු එකමුතුවක්. මට තවමත් ඒ ගැන නම් හිතා ගන්නවත් බෑ. කොහොමත් අවුරුදු විසිතුන, විසි හතර වගේ වයසේදී විවාහ වෙන්න ඕන කියන මතයෙයි මම හිටියේ. ඒ නිසා මම අපේ තාත්තා ගෙනාව යෝජනාවට කැමැති වුණේ දෙපාරක් හිතන්නේ නැතිවමයි. මොකද ඉතිං තාත්තා මට හොඳක් මිසක් නරකක් කරන්නේ නෑනේ. ඒ වගේම ඒ යෝජනාවට අම්මගෙත් අකැමැත්තක් තිබුණේ නැහැ. ඇගේ කැමැත්ත ලේසියෙන් ලැබෙන්නේ නැති වුණත් මේ යෝජනාවට නම් ඇගේ ආශිර්වාදය හිමි වුණා.

ඒත් මුලින්ම තාත්තා මංගල යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා කිව්වට ඒ යෝජනාව කාගෙන්ද කියලා මට හිතා ගන්න බැරි වුණා. ඒත් මගේ හිතේ කොණක සම්පත්ගේ ගෙදරින් ද කියලත් පුංචි සැකයක් තිබුණා. ඒ සැකය පස්සේ හරි ගියා. ගොඩක් කාලයක ඉඳලා සම්පත්ගේ තාත්තාත්, අපේ තාත්තාත් හොඳ යාළුයෝ. මේ යෝජනාව නිසා ඒ යාළුකම නෑදෑකමකට පෙරළුණා.’

ශේෂාද්‍රි ප්‍රියසාද් පිළිතුරු බැන්දේ අතීතය පිළිබඳ සිතුවිලිවල ගිලෙමින්. ඒ යෝජනාවට පස්සේ තනිකඩව සිටිය දෙන්නා එකම කැදැල්ලකට එක්තැන් වුණා. ඒ මීට මාස හයකට පමණ ඉස්සර.

* ‘කොහොමද අලුත් ජීවිතේ?’

මා විමසුවේ සම්පත්ගෙන්.

‘හොර වැඩ කරන්න තවත් එක් කෙනෙක් මට එකතු වුණා. ඒ ගැන නම් මට බොහොම සතුටුයි. ඒත් සැහැල්ලුවෙන් ගෙවුණු ජීවිතයට වගකීම් රැසක් එකතු වෙලා. පවුලක් කියන සංකල්පය ඇති වෙලා. ඒ පවුල ගොඩ නඟන්න මම දැන් මහන්සි වෙනවා. වෙනදාට වඩා වගකීමෙන් වැඩ කරනවා. යමක් කරන්න පෙර වෙනදා තනිවම ගත්ත තීරණය විමසන්න මගේ ළඟින්ම තවත් කෙනෙක් ඉන්නවා. ඒ ගැන ඇගෙනුත් විමසලා ගන්න තීරණය වෙනදාට වඩා ඵලදායී කියලා මට හැඟෙනවා.’

සම්පත් තමන් මත පැටවුණු වගකීම නියම අයුරෙන් අවබෝධ කරගත් නව යෞවනයේ වෙසෙන සැමියෙක් කියලා අපට සිතුණේ ඔහු කිව්ව කතාවෙන්.

* ‘තනිකඩව ගෙවුණු ජීවිතය අමතක කරලා ඔබ සම්පත්ගේ ජීවිතයට පහනක් වුණාද?’

කෙළිලොල්ව ගෙවුණු ජීවිතය අතර ශේෂාද්‍රිට පැවරුණු වගකීම් ගැනයි මං විමසුවේ.

‘තනිකඩව ගෙවුණු ජීවිතය වගේ නොවෙයි දෙන්නෙක්ගේ එකමුතුව. විවිධ කැප කිරීම් එක්ක ගෙවෙන ජීවිතයක්. වෙනදා ගත්ත තනි තීරණවලට තිත තියලා තවත් කෙනෙකුගේ අදහස්වලටත් ගරු කළ යුතුයි. බිරියක් විදියට වගකීම් රැසක් මටත් උරුමයි. ඒ වගකීම්වලින් මා බැඳිලා. වෙනදා වගේ දවල් වෙනතුරු දැන් ඇඳට වෙලා නිදාගන්න මට බැහැ. සම්පත් උදේ පහට වැඩට යනවා. ඒ වෙන කොට එයාට තේ එක හදල දෙන්නෙත් මගේ අතින්ම තමයි. ඒ වගේම ඇඳුම් ටික මැදලා දෙන්නත් ඕනෑ මම. ඒ නිසා උදේම නැඟිටිනවා. ඊට පස්සේ නිවෙස අස්පස් කරලා පිහිදාලා පිළිවෙළකට තියන එක මම කරන්නේ බොහොම කැමැත්තෙන්. උයන කටයුතු කරන්නේ නම් සම්පත්ලගේ අම්මා. මට තියෙන්නේ අම්මට පුංචි පුංචි උදව් කරන එක විතරයි. ලූනු කපලා, පොල් ගාලා දෙන එක කරන්නේ මම තමයි. මේ අතර මම කරන හඬ කැවීම් කටයුතුවලටත් දායක වෙන්න අමතක කරන්නේ නැහැ.

* ‘ශේෂාද්‍රිගේ වැඩවලට සම්පත්ගෙන් තහංචියක් එහෙම පැනවිලා නැද්ද?’

‘අනේ නැහැ. මගේ රඟපාන කටයුතු වගේම හඬ කැවීම් වගේ කටයුතුවලට ඔහුගෙන් ලැබෙන්නේ පුදුම සහයෝගයක්. රඟපෑමේ කටයුතු කරන නිසා මම ගොඩක්ම කරන්නේ චිත්‍රපට බලන එකයි. ඇත්තම කිව්වොත් මටත් වඩා චිත්‍රපට බලන්න කැමැත්තක් දක්වන්නේ සම්පත් තමයි. ඒ නිසා සම්පත් ගෙදරට ආවට පස්සෙ හැමදාම චිත්‍රපටයක් බලන්න අමතක කරන්නේ නැහැ. මෙයා රැකියාව කරන්නේ විදේශ ආයතනයක කළමනාකාරවරයෙක් වුණාට කලාවට බොහොම ළැදි කෙනෙක්. ගීත කිහිපයකටම වීඩියෝ විෂුවල් කරලත් තිබෙනවා.’

ඈ සම්පත්ගේ උරහිසට හේත්තු වුණේ තමන්ගේ ආදරයේ තරම කියන්න වගේ.

* ‘දෙන්නගේ වැඩ කටයුතු නිසා විවේකයක් ඇත්තේම නෑ වගෙයි’

‘මට සෙනසුරාදයි ඉරිදයි නිවාඩුයි. ඒක නිසා විවේකය ගත කරන්න කාලය ඕනෑ තරම්. ඒ දවස්වලට මම කාර්යාලයේ මොනවත් කරන්නේ නෑ. සුද්දිත් එක්කම කාලය ගත කරන්න ඒ දවස් දෙක වෙන් කරලයි තියෙන්නේ.’

‘සම්පත් වගේම මමත් ඒ දවස් කිහිපයේ බොහොම විනෝදයෙන් කාලය ගත කරනවා. අපි කෑමකට හරි එහෙමත් නැත්නම් යාළුවෙක් මුණ ගැහෙන්න හරි යන්නේ ඒ දවස්වල තමයි. අපේ විනෝද කටයුතුවලට ගෙදර අයවත් එකතු කර ගන්න අපි අමතක කරන්නේ නැහැ. මේ විදියට ගෙවෙන ජිවිතය බොහොම සුන්දරයි කියලයි හිතෙන්නේ.’

ඇගේ සිහින් දෙකොපුල ලා රෝස පාට ගැන්වුණේ ඒ විඳින සතුට ගැන කියන්න වගේ.

* ‘හැමදාම මෙහෙම අම්මලත් එක්කම ඉන්නද කල්පනාව’

‘ඇත්තටම තව ටික කාලයකින් අපේම කියලා කැදැල්ලක් හදන්න පුංචි සැලැස්මක් හිතේ තිබෙනවා. ඒ වනතුරු අපි පවුලේ අයත් එක්කම කාලය ගෙවනවා’ සම්පත් කිව්වා.

යෞවනයේ මිහිරි සුවය විඳින සම්පත් - ශේෂාද්‍රිගේත් හිත්වල අනාගත බලාපොරොත්තු දහසක් සිතේ ගොනු වෙලා. ඒ සොඳුරු පැතුම් ඉටු කර ගන්න හෙට දවසට සුබපැතුම් පතන ගමන් ඒ සුන්දර යුවළගෙන් අපි සමුගත්තා.