වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




හිස් ටින් එකක් ගිය දුරක්...

හිස් ටින් එකක් ගිය දුරක්...

මට එක පාරටම මතක් වුණේ තාත්තව. පුතෙක් හැටියට තාත්තගෙ බලාපොරොත්තුවක් ඉෂ්ට කරන්න පුළුවන් වුණා නේද කියලා පුදුම සතුටක් දැණුනා. ඒකයි මම දුවලා ගිහින් තාත්තව බදාගත්තෙ. ඒ එක්කම මම විඳපු දුක්, කාපු කටු චිත්‍රපටයක් වගේ මැවෙන්න ගත්තා මේ දේවල් අදින් පස්සෙ ඉවරයි නේද කියලා හිතුණා.

ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රෙක්‍ෂක ජනතාවට ආස්වාදජනක අත්දැකීමක් එක්කළ දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 5 අවසන් මහා තරගයේ කිරුළ හිමි කරගත් ඇඹිලිපිටියේ එම්. ජී. ධනුෂ්කට මේ සිතිවිල්ල හිතට දැණුනේ අවසන් මොහෙතේ තමා ගේ නම කියැවෙන විටයි. ඔහු කවදාවත් මෙය සැබෑවක් කියා සිතන්නට නැත. හිස් ටින් එකයි, තාත්තගෙ සෙනෙහසයි අරගෙන කොළඹ ආව එම්. ජී. ට මෙය සිහිනයක්ම වෙන්න ඇති.

පසුගිය 05 වැනිදා සවස සුගතදාස ගෘහස්ථ රංග ශාලාවේ දී අති උත්කර්ශවත් අන්දමින් පැවැති මෙහිදී වැල්ලවත්තේ විශ්මිත සචින්තනට අනුශූරතාවයත් දෙහිඕවිට ළහිරු ප්‍රභාත්ට තුන්වැනි ස්ථනයත් හිමිවුණා.

ගමට ගොස් තමන්ට ආදරය කළ රසික ජනතාව දැක බලා ගැනීම තමන්ගේ පළමු රාජකාරිය සේ සැලකූ ඔහු ඒ අයුරින්ම පසුගිය ඉරිදා එම යුතුකම ඉටු කළා. ලක්‍ෂ සංඛ්‍යාත රසික ජනතාවක් ඔහු එනතුරු මඟ දෙපස රැඳී සිටියේ ඔහුගේ ජනපි‍්‍රයත්වය මොනවට පැහැදිලි කරමින්.

මේ ‘සරසවිය’ වෙනුවෙන් ඔහු හමු වුණේ ගමට යාමටත් ප්‍රථමයි. මේ එම සුන්දර මොහොතයි.

ධනුෂ්ක, පළමුවෙන්ම සුබ පතනවා ඔබට.

බොහොම ස්තුතියි, අයියේ.

ඔබ හිතුවද මේ විදිහට ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වෙයි කියලා?

අයියෝ නෑ, මම හිතුවෙ අවසන් දොළාස් දෙනා අතරටවත් එන්න ලැබුණොත් ඇති කියලා. අන්තිමට එකටම ආවා.

එම්. ජී. අපි ඔබේ කුඩා කාලයෙන්ම මේ කතාව පටන් ගනිමු?

මගේ ගම ඇඹිලිපිටිය, මොරකැටියෙ. මොරකැටිය මහා විද්‍යාලයට ගියේ. දන්න කියන කාලෙ මම ටිකක් විසේකාර චරිතයක්. ඉස්කෝලෙ ඇරිලා එද්දි ඇල දිගේ මාළු අල්ල අල්ල ගෙදර එන්නෙ හැන්දෑවෙ හතර වෙද්දි. කොහොම හරි මම පාසලේදි පළමුවෙන්ම සින්දුවක් කිව්වෙ දහය වසරෙදි වගේ සාහිත්‍ය සමිතියට. ඒ වෙලාවේ දාඩිය දාලා මට කලන්තෙ වගේ ආවා බයට.

ඇයි ඒ?

මම දන්නෙත් නෑ. බලෙන්ම යාළුවො සින්දුව දාලා තියෙන්නෙ.

මතකද කියපු සින්දුව?

ඔව්, අජිත් මුතුකුමාරණ ගැයූ ‘බුදු පුතෙක් වුණා මගෙ එකම පුතා’ ගීතය. ඊට පස්සෙ තමයි ඇත්තටම ඒ පැත්තට යොමු වුණේ. ගමේ තියෙන හැම සංගීත ප්‍රසංගයකම ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා සින්දුවක් කියන්න චාන්ස් එකක් ඉල්ලගෙන. ඒත් මාව එළෝ ගන්නවා ‘යනවා යනවා තමුසෙට මේකෙ සින්දු කියන්න බැහැ’ කියලා ඉතිං අඬ අඬා ගෙදර එනවා. ඔය විදියට පුදුම කට්ටක් කෑවේ.

තැනකට එන්න නම් කට්ට කන්නම ඕනා. නැත්නම් ඒකෙ පැවැත්මක් නැහැ. ඊට පස්සෙ?

ඊට පස්සෙ අපේ ඥාති අයියා කෙනෙක් ඇඹිලිපිටියෙ ‘රිද්මා’ කියන බෑන්ඩ් එකට එක්කගෙන ගියා. ඒකට මාව ගත්තා. ටික ටික සින්දු කිව්වා. ඊට පස්සෙ ‘ඩිලයිටඩ්’ කියලා බෑන්ඩ් එකේ නම වෙනස් කළා. ඒකෙ නිවේදකයා වුණේ මම. මාව දන්නෙ හොඳ කමෙන්ටේටර් කෙනෙක් විදියට. මිනිස්සුන්ට හිනා යන්න කතා කරන්න, නටවන්න පුළුවන් මට. මම තමයි බෑන්ඩ් එකේ බයිලා පැත්ත ගෙනිච්චෙ.

ඔබ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හතර වතාවක්ම එනවා.?

ඔව්, මුලින් ආවේ සීසන් 2 ට. ඒකෙ අවසන් දාහට ආවා. ඊට පස්සෙ සීසන් 3 අවසන් 72 ට අයින් වුණා. ඊට පස්සෙ සීසන් 4 එකේදි අවසන් 24 න් අයින් වෙනවා.

එතකොට මේ ගමන ආවෙ කොහොම හරි ජය ගන්නවා කියලාද?

නෑ, තාත්තා තමයි කිව්වේ මේ ගමනත් යන්න පුතා අවසන් දොළොස් දෙනාට ආවොත් ඇතිනේ. එතකොට සින්දු ටිකක් කරලා කරදරයක් නැතුව ඉන්න පුළුවන්නෙ කියලා. අන්තිමට එකටම ආවා. හැබැයි මම හරියට තරගෙට බැස්සෙ අවසන් දහදෙනාගෙනුත් පස්සෙ තමයි. පස්වෙනියට එනකම් මට කිසි දෙයක් හිතා ගන්න බැරි වුණා.

මම කිව්වොත් ඔබට ජය ගෙනාවේ හිස් ටින් එකක් ගීතය කියලා?

ඇත්ත, මාත් ඒක පිළිගන්නවා.

මේ වගේ වැඩිය අහලා නැති සින්දු කොහෙන්ද හොයා ගත්තෙ?

අපි සේරටම සින්දු දෙන්නෙ දෙරණ සභාපති තුමා. මේ ගීතයත් දුන්නෙ එතුමා. මම මුලින් කැමැති වුණෙත් නෑ මේක කියන්න. මේක කිව්වොත් ගොඩ කවුරුත් කියලා නෑ කියලා එතුමගෙ පෙරැත්තයට තමයි කිව්වේ. ඒ වගේම ගොඩ ගියා. එතුමාට ණය ගැතියි මම.

ඔබ තැනකට ආවොත් රට වටේම යනවා කිව්වා රසිකයන් බලන්න. ඒ කිව්වෙ අවසන් තරගයට කලින්. බලාපොරොත්තුවක් තිබුණද වාහනය ලැබෙයි කියලා?

මම යනවා කිව්වා තමයි. හැබැයි මෝටර් රථය අරගෙන යනවා කියලා කවදාවත් කිව්වෙ නැහැ. මේ හැම දෙයක්ම ලැබෙන්නේ අපේ රසික ජනතාව නිසා. ඒ අය කැමැති වෙන්න ඕන අපිව මේ තැන තියන්න. මේ ජයග්‍රහණය ඇත්තටම මගෙ නෙමෙයි. මුළු ශ්‍රී ලාංකික ජනතාවගේ. දිනයි කියලා බලාපොරොත්තුවක් තිබුණෙ නැති නිසා වාහන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම පොඩි බෑග් එකක් එල්ලගෙන කොළඹ ආපු කෙනා වාහන ගෙනියන්නවත් නෙමෙයි අවසන් දොළොස් දෙනාටවත් ආවොත් මොනව හරි කරගන්න පුළුවන් කියන අහිංසක බලාපොරොත්තුවකින් ආවේ.

මේ ගමන කොහෙන්ද පටන් ගන්නෙ? (මේ ලිපිය ලියැවෙන විටත් ඔහු සිටින්නේ දෙරණ ආයතනයේ)

ඉස්සෙල්ලාම යන්නෙ මගෙ මොරකැටිය කියන ගමට. ගමේ අය කරපු කැපවීම කියන්න වචන නෑ. ඒ තරම්. බස් නැවතුම්පොළේ කඩල විකුණන කෙනාගෙ පටන් හැම කෙනාම තමන්ගෙ ජොබ් එක පැත්තකට දාලා වෙහෙස වෙලා කැපවුණා. මට ඔවුන්ට බය නැතුව අත්දෙක උස්සලා වඳින්න පුළුවන්.

මේ එස්. එම්. එස්. මනාප හොයන්න මොනවගේ වැඩපිළිවෙලක් ද දියත් කළේ?

අනේ, මම කියලා කළේ දොළොස් දෙනාට ආවට පස්සෙ ඇඹිලිපිටියෙ එක කටවුට් එකක් ගහපු එක විතරයි. ඊට වැඩි දෙයක් කරන්න මුදල් තිබුණේ නෑ. අනිත් ඒවා කළේ මගේ ආදරණීය ජනතාව. ගමේ වගේම බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑළිය, හම්බන්තොට, මොනරාගල, මාතර තංගල්ල, පොළෙන්නරුව, හලාවත, හොරණ මේ හැම පළාතකම අය මට කතාකරලා මගෙ ෆොටෝ ඉන්ටර්නෙට් එකෙන් අරගෙන කටවුට් ගහලා ලීෆ්ලට් බෙදලා, කාඩි හදලා බෙදලා ඒ අය ස්වේච්ඡා වෙන්ම හැම පළාතක්ම ආවරණය කළා. මට හිතට තදින්ම දැනුණු අවස්ථාවක් තිබුණා. එක කුඩා දරුවෙක් අම්මට කියලා අඹ ටික කඩලා විකුණලා මට එස්. එම්. එස්. ගහලා තිබුණ. ඒ වගේම මට භාරහාර වෙලා බෝධි පූජා තියලා බුදුපහන ළඟ අඬා වැටුණු මිනිස්සු ඉන්නවා. මම ඒකයි කියන්නෙ මේ ජයග්‍රහණය මගේ නෙමේ ජනතාවගේ කියලා.

ඔහොම කිව්වත් ටික දවසක් යනකොට මේවා අමතක වෙලා යාවි. අපිට මේවයේ අත්දැකීම් දකින්න, අහන්න ලැබිලා තියෙනවා.?

වෙන්න ඇති, මගේ ගති පැවතුම් වෙනස් වෙන්නෙ නැහැ. එම්. ජී. කියන නමට මුළු ලංකාවම ආදරෙයි. තරගයේ හිටිය එම්. ජී. මයි. ඒ ගති ගුණමයි, වර්තමානයෙත් අනාගතයෙත් එහෙමයි. එහෙම නූණොත් මම පරාදයි. වෙනස් වුණොත් මම තාත්තට කරන්නෙ ලොකු කැලලක්.

එහෙම වුණු අය ඉන්නවා?

ඔව්, පෘථග්ජනයො හැටියට එහෙම වෙනවා. නමුත් අපි තරුවක් කියලා ඇඳ ගන්න හොඳ නෑ.

තාත්තට ඒක කැලලක් වෙන්නෙ කොහොමද?

මම දන්නවා මට වැඩිය තාත්තට ආදරේ කරන ජනතාවක් ඉන්නෙ. තාත්තා ගොඩක් දහඩිය මහන්සියෙන් ජීවත් වෙන කෙනෙක්. මූණ දැක්කම පේනවා අව්වට පිච්චිලා, කරවෙලා වේලිලා.

ඒ කියන්නෙ මේ ජයග්‍රහණයේ වැඩි කොටස් කරුවා වුණේ තාත්තා?

ඔව්, මට මිනිසුන් කතා කරලා කියනවා මල්ලි අපි ඔයාට වඩා තාත්තා ගැන දුක් වෙන්නෙ කියලා. එයා අර පොළොව අල්ලලා ඉඹිනවා වගේ දේවල් කළේ දරාගන්න බැරි සතුටට. එයා හිතුවෙ නැහැ මම මෙහෙම එයි කියලා.

ඔබේ දක්‍ෂ කමට වඩා තාත්තගේ අනුකම්පාවට මේ ජයග්‍රහණය හේතු වුණා කියලද කියන්නෙ?

මගේ පැත්තෙන් කරන පාට් එක මම නියම විදයටම කළා. මගේ නැටුම, ගායනය හැම දෙයක්ම. ඒවත් එක්ක තාත්තට ගොඩක් ආදරේ කරන්න ගත්තා. තාත්තා හරිම හොඳ කෙනෙක්. එයා ගොඩාක් දුක් වින්ඳා මා වෙනුවෙන්.

කන්දක් නැග්ගොත් පල්ලමක් හමුවෙනවා. ඒක තමයි ස්වභාවය.ඔබ ඊයෙ හිටිය විදිය නෙමෙයි අද. එක දවසෙන් වෙනස්වෙලා සිහින තරුවක් වෙලා? හැබැයි මේක අභියෝගයක්. මේවගේ වාහනයක් නඩත්තු කරනවා කියන්නෙ ලෙහෙසි පාහසු වැඩක් නෙමෙයි.

ඔව්, මම දන්නවා. තරුවක් වුණත් මම මහා ලොකු මිනිහෙක් නෙමෙයි. මට මේක නඩත්තු කරන්න සල්ලි හම්බවෙන විදිහක් බලන්න වෙනවා. නැත්නම් මේක මාරු කරලා මට ගැලපෙන පොඩි වාහනයක් ගන්නත් හිතේ තියෙනවා. මම හිතන්නෙ ඒක නමට කැලලක් නෙමෙයි කියලා. ඇත්තටම මට හම්බවුණු වාහනය. මම හරි ආදරෙයි ඒකට. එහෙම වුණා කියලා ලොකු දේවල් කරන්න බැහැනේ මට.

ඔබ කිව්වා ළමා නිවාසයක් හදනවා කියලා මැරෙන්න කලින්. ඇයි ඒ?

පොඩි කාලෙ ඉඳලා තිබුණු සිතුවිල්ලක්. අම්මා විදේශ ගතවෙලා ඉන්දැද්දී මම තාත්තා ළඟ හැඳුනෙ ඒක වෙන්න ඇති.

කාවද මේ වෙලාවෙ මතකයට එන්නෙ?

දෙරණට පළමුවෙන් ස්තුතියි අපිව මෙතැනට ගෙනාවට. ඒ වගේම විනිශ්චය මණ්ඩලයට, අතුල අධිකාරි ඇතුළු වාදක මණ්ඩලයට, මගේ තාත්තට පවුලේ සැමට, මා වෙනුවෙන් කැප වුණු සියලු ජනතාවට සහ ඒ වෙනුවෙන් කැප වුණු ඇඹිලිපිටිය නගරාධිපති පූජා්‍ය වේවැල්දූවේ ඥනප්‍රභ ස්වාමීන් වහන්සේට සහ ලසන්ත සිරිපුර මහාතාට. මේ මනාප වැඩපිළිවෙළ කළේ ඔවුන්.

හිස් ටින් එකක් අරන් ආව ඔබ අද යන්නෙ?

ඔව්, ඒ ටින් එක හැම දෙයකින්ම පුරෝගෙන. ආදරය සෙනෙහස යාන වාහන මුදල් පිරිලා ඒකේ. නමුත් මම විනාශ වෙන්නෙ නැහැ. මම හැමදාම නටනටා සින්දු කියනවා මගේ රසිකයන් වෙනුවෙන්.

විශේෂ ස්තූතිය – ලක්මාල් මුදලිගේ

(දෙරණ සාමාන්‍යාධිකාරී- අලෙවි)