වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රියංකර රත්නායක පුදුමයට පත් කළ මෙරට වේදිකාවේ විශිෂ්ටතම නාට්‍ය හත

ප්‍රියංකර රත්නායක පුදුමයට පත් කළ මෙරට වේදිකාවේ විශිෂ්ටතම නාට්‍ය හත

අද පුදුම හත වෙන් කළේ වේදිකාවටයි. රංගන ශිල්පියෙක්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් සේම ආචාර්යවරයෙක් ලෙසත් විවිධාකාරයෙන් කලාවට ඔහු කළා වූ සේවය සුවිශේෂයි.

වසර ගණනාවක් පුරාවට වේදිකාව සමඟින්ම කාලය ගෙවූ ඔහු අද සිහිපත් කරන්නේ එදා ආසාවෙන් නැරඹූ වේදිකා නාට්‍ය හතක් පිළිබඳවයි.

ඔහු රංගන ශිල්පි, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක.

සිංහබාහු

මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය මෙරට නාට්‍ය ක්ෂේත්‍රයේ බිහි වූ විශිෂ්ටතම නාට්‍යයක්.

මේ නාට්‍යය තුළ සුවිශේෂ ලෙසින් මා දකින්නේ පුද්ගල චරිත අතර වූ සම්බන්ධතාවයයි. එහි ඇතුළත තියෙන දේශපාලනය, රාජ්‍යත්වය, රාජ්‍ය ක්‍රමය, පාලනය ප්‍රධානව ගන්න පුළුවන්.

ඒ වගේමයි හැමදාම හැම තැනම තියෙන අරගලය වන පැරැණි පරපුර හා නව පරපුර අතර ඇති වෙන්නා වූ අරගලය මෙහිදී කතාවට බඳුන් වෙනවා. මෙහි එය දැක්වෙන්නේ පිය – පුතු අරගලයක් ලෙසිනුයි.

ඒ වගේමයි සම්ප්‍රදායක වගේම නූතන ලෝකයේ නූතනත්වය ගැනත් කතාවට ලක් කෙරෙන නාට්‍යයක් තමයි සිංහබාහු වේදිකා නාට්‍යය.

ලොව බොහොමයක් නාට්‍ය කාලයෙන් කාලයට විවිධ අර්ථකථනයන්ට භාජනය වෙනවා. ඒ වුණත් සිංහබාහු නාට්‍ය එලෙස විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ ප්‍රතිනිර්මාණය නොවීම අඩුවක් ලෙසින් මා දකිනවා.

එසේ වූවා නම් සිංහබාහු තවත් ජනතාව අතරට සමීප වනු ඇති බවයි මගේ හැඟීම. වර්තමානයේදී හුදෙක්ම එය අධ්‍යාපනික අවශ්‍යතාවය නිසාම නරඹන නාට්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මේ නාට්‍යයේ මම කැමැතිම චරිතය සිංහයාගේ චරිතයයි. පීතෘත්වයේ වටිනාකමට වඩා වැඩි විවිධාකාර පැතිකඩ මේ චරිතය තුළින් පිළිබිඹු කෙරෙනවා. සිංහබාහු නාට්‍ය නිශ්චිත කාලයකට පමණක් සීමා නොවූ නාට්‍යයක් නොවෙයි.

මධුර ජවනිකා

දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා නාට්‍යයත් මා වේදිකාවේ දුටු නාට්‍ය අතර සුවිශේෂ නාට්‍යයක්. ඒ වගේමයි දයානන්ද ගුණවර්ධන කියන පුද්ගලයාත් අපේ නාට්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී පුද්ගලයෙක්. සම්ප්‍රදායික ගැමි නාට්‍යවලින් විදග්ධ නාට්‍ය බිහි කළ නොහැකියි කියන අදහසට දුන් හොඳම පිළිතුරක් ලෙසින් මම මධුර ජවනිකා නාට්‍ය දකිනවා. එහි පෙළ කියවන විටම එය තුළ වූ විශාල පර්යේෂණ කාර්යය දකින්නට පුළුවන්. එම පර්යේෂණ එක ස්ථානයකට සීමා නොවූවක්. සම්ප්‍රදායික නාට්‍ය කලාව, සම්භාව්‍ය නාට්‍ය කලාව, ගැමි නාට්‍ය, දේශපාලනය, ආර්ථිකය වගේම විවිධ පැතිකඩ මෙහි අනර්තර්ගතයි.

ඒ වගේමයි මෙහි තවත් විශේෂයක් වෙන්නේ ප්‍රේක්ෂකයන්ට සිතන්නට යමක් එයින් ඉතිරි කිරීමයි. දයානන්ද ගුණවර්ධනගේ නාට්‍ය තුළ තියෙන තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ සංගීතයයි. මධුර ජවනිකා නාට්‍යයේ සංගීතය හා නර්තනමය ආකෘති මෙන්ම එහි චරිත ඉදිරිපත් කරන්නා වූ විලාශයත් විශේෂයි. එය රංගන ශිල්පීන්ටත් අභියෝගයක් ලෙසින් මා දකිනවා. ඊට අමතරව ඔහුගේ නාට්‍ය තුළින් මතු කෙරෙන සෞන්දර්යාත්මක බව, චමත්කාරජනක බව ප්‍රේක්ෂකාගාරයේ වින්දනයට බෙහෙවින් වැදගත්. දයානන්ද ගුණවර්ධනයන් මධුර ජවනිකා රචනයට කෘති විශාල සංඛ්‍යාවක් පරිශීලනය කරන්න ඇති බවයි මගේ විශ්වාසය.

ඒ අතර මහාවංශය වගේම සාමාන්‍ය මිනිසුන් විසින් රචිත කවි කොළ වැනි දේ පවා ඇතුළත් විය හැකි බව මෙය රස වින්දනයෙන් අවබෝධ කර ගත හැකියි. ඒ වගේම මධුර ජවනිකා කියන්නේ අතීතයට වගේම වර්තමානයටත් එක සේ රස විඳින්න හැකි යල් පැන නොගිය නාට්‍යයක් ලෙසින් මා දකිනවා. වර්තමාන පරම්පරාව එය යළි ප්‍රතිනිර්මාණය කරනවා නම් ඉතා අගනා නිර්මාණ කාර්යයක් වේවි යැයි මා සිතනවා.

දෝන කතිරිනා

කේ. බී. හේරත් විසින් කළ දෝන කතිරිනා නාට්‍ය ඔහුගේ නාට්‍ය අතරේ වූ විශිෂ්ටතම නාට්‍ය ලෙසින් මා දකිනවා. එහි තවත් සුවිශේෂම කාරණයක් ලෙසින් මම දකින්නේ කෞෂල්‍යා ප්‍රනාන්දුගේ රංගනයයි. එය ලාංකේය නාට්‍ය කලාවේ ස්ත්‍රී චරිත නිරූපණයේ නොමැකෙන සටහනක් ලෙස සලකන්න පුළුවන්.

ඒ වගේමයි නාට්‍ය නිර්මාණකරුවන් පවා ඉතිහාස කතා නිර්මාණය කරන්න විශාල කැමැත්තක් දක්වනවා. එසේ වුවත් වර්තමානයේ පවතින ක්‍රමයට අනුගත වෙමිනුයි එම නිර්මාණ බොහෝ විට සිදු කෙරෙන්නේ. ඒ අතරේ වූ දෝන කතිරිනා නාට්‍යයේදී සියුම් අයුරින් ස්ත්‍රියක් රාජ්‍යත්වය ඉදිරියේදී ගොදුරක් බවට පත්වන ආකාරය ප්‍රබල ලෙසින් පෙන්නුම් කර තියෙනවා. ඊට අමතරව දෝන කතිරිනා නාට්‍යයක් ලෙසත් නාට්‍ය පෙළ ලෙසත් වගේම කෞෂල්‍යාගේ නිරූපණයත් සුවිශේෂ ලෙසින් මා දකිනවා.

සුභ සහ යස

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඔහුගේ පර්යේෂණනවලදී පෙන්වා දුන් දෙයක් තමයි අතීත කතන්දර යථාර්ථවාදී රීතියෙන් ඉදිරිපත් කළ නොහැකි බව.

සමකාලීන ජීවිතය පමණයි යථාර්ථවාදී රීතියෙන් ඉදිරිපත් කළ හැක්කේ වගේම අතීත ජාතක කතා වැනි දේ ශෛලිගත රීතියෙන් ඉදිරිපත් කළ යුතුයි යන්න එයින් පෙන්වා දුන් දෙයක්. සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස නාට්‍යයේදී එය අභියෝගයට ලක් කර තිබෙන බවයි මගේ විශ්වාසය.

ඒ වගේමයි ලංකාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම සංවාද නාට්‍ය ලෙසත් මා දකින්නේ සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස නාට්‍යයි. අතීත කතාවක් ස්වභාවික රීතියෙන් නිරූපණය කරන්නට නොහැකි බවට වන මතය කෙතරම් අභියෝගයට ලක් කරනවදැයි කීවොත් එදා සයිමන් නවගත්තේගමගේ සියුම් යථාර්ථවාදී රංගනය එය බිඳ දැමූ බව මම සඳහන් කරන්න කැමැතියි. එතරම් නිදහසේ නළුවෙක් චරිත නිරූපණය කිරීම අපේ නාට්‍ය වේදිකාවේ ඉතාම විරළයි.

සයිමන් නවගත්තේගම එදා නිර්මාණය කළ සුභ සහ යස නාට්‍ය වසර ගණනාවක් ගත වුණත් එහි අර්ථකථනය හැමදාටම වළංගු එකක්. ඒ වගේමයි ලංකාවේ බිහි වූ පරිපූර්ණ නාට්‍ය පිටපතක් ලෙසත් සුභ සහ යස නාට්‍ය පිටපත මා දකිනවා.

අද වගේ දවසක ඇන්ටිගනී

මීළඟට මම කැමති නාට්‍යයක් ලෙසත් පෙළක් හැටියටත් මා කැමැති මගේ නිර්මාණයක් වූ අද වගේ දවසක ඇන්ටිගනි නාට්‍යයි. ඒ වගේම මම නිෂ්පාදනය කළ නාට්‍ය අතරේ හොඳම නාට්‍ය ලෙසත් මා එම නාට්‍ය නම් කරන්න කැමැතියි. මම මේ නාට්‍යයේ ප්‍රථමයෙන් දුටුවේ සෝමලතා සුබසිංහ මහත්මිය විසින් කළ නිර්මාණයයි.

ඇය එය වෙනමම ආකෘතියකට නිර්මාණය කර තිබුණා. මේ නාට්‍ය මට වැඩි වශයෙන්ම දැනුණේ 80 – 89 කාලයේදීයි. එවකට අපේ රටේ කුරිරු භිෂණ සමයක් ඇතිව තිබුණා. ඇන්ටිගනි නාට්‍යයෙන් කියවෙන්නේත් යුද්ධයක් ඇති වූ පසු සහ ඒ සමඟ ඇති වන ඛේදනීය කතා පුවතක්.

මම අද වගේ දවසක ඇන්ටිගනි නාට්‍ය නිර්මාණය කරන විටදීත් අපේ රටේ තිබුණේ යුධමය වාතාවරණයක්. එය රංගගත කරන කාලය වන විට පශ්චාත් යුද පසුබිමක් නිර්මාණය වෙලා තිබුණා. ඒ නිසාම අපි හිතුවටත් වඩා වැඩි සමාජ අවධානයක් අද වගේ දවසක ඇන්ටිගනි නාට්‍ය වෙත යොමු වුණා. සංගීතමය ලෙසින් මේ නාට්‍ය ඉදිරිපත් කිරීමටයි මම උත්සාහ කළේ. ඒ සඳහා මම ඉතා කැමැත්තෙන් රසවිඳි සිංහබාහු, මධුර ජවනිකා, දෝන කතිරිනා වගේ නාට්‍ය නරඹා රසවිඳි ඒ අත්දැකිම් ආකෘති බෙහෙවින් උපකාරී වුණා. අද වගේ දවසක ඇන්ටිගනි නාට්‍යයෙන් ඒ උත්සාහය සාර්ථක වූ බවයි මගේ විශ්වාසය.

සිහින හොරු අරන්

මීළඟට මම වඩාත්ම කැමැති මම රංගනයෙන් දායක වූ රාජිත දිසානායකගේ සිහින හොරු අරන් නාට්‍යයටයි. රාජිත කියන්නෙත් අඛණ්ඩව නාට්‍ය රචනයේ නිෂ්පාදනයේ නියැළෙන නාට්‍ය නිර්මාණකරුවෙක්. රංගනයෙන් වගේම විවිධ අංශවලින් මම රාජිතගේ නාට්‍යවලට දායක වෙලා තියෙනවා.

ඒවා අතර සිහින හොරු අරන් නාට්‍ය සුවිශේෂ වන බව මගේ විශ්වාසයයි. තවත් හේතුවක් නම් මම රංගනයෙන් දායක වුූ වේදිකාවේ චරිත අතරත් මෙහි මගේ රංගනයටත් ඉතා කැමැත්තක් දක්වනවා. රාජිත මෙය රචනා කළේ අපි ශාස්ත්‍රපති විභාගයට සූදානම් වන අවධියේදීයි. ඒ කාලයේ අපිට සම්භාව්‍ය නාට්‍ය බොහෝ අධ්‍යනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේමයි ග්‍රීක නාට්‍ය ආකෘති. ඒවා තවමත් යල් පැන නොමැති බව අප කතා කළා. එම අත්දැකීම් සිහින හොරු අරන් නාට්‍ය වේදිකාගත කිරීමට බලපෑම් කළා.

සිහින හොරු අරන් නාට්‍යයේ විදග්ධ නාට්‍යයක තියෙන ගුණාංග වගේම පරිපූර්ණ නාට්‍යයක ගුණාංගයක් ඇතුළත්ව තියෙනවා. වසර දහයකට පෙරදි නිර්මාණය කළ මෙය මෑතකදී යළි ප්‍රතිනිර්මාණය කිරීමේදී ඔහුගේ අනෙකුත් නිර්මාණයන්ට වඩා වෙනස්කම් අඩුවෙන්ම සිදු වූ නාට්‍ය ලෙසත් මම දකිනවා. චරිත නිරූපණයේදීත් නාට්‍ය තුළ සියලුම චරිත උපරිම මට්ටමෙන් දකින්න ලැබෙන නාට්‍යයක් ලෙසත් සිහින හොරු අරන් නාට්‍ය හඳුන්වන්න පුළුවන්.

ධවල භීෂණ

ධර්මසිරි බණ්ඩාරනායක කියන්නෙත් ලංකාවේ අඛණ්ඩව නාට්‍ය නිෂ්පාදනයේ යෙදෙන නාට්‍යකරුවෙක්. ඔහුගේ නාට්‍යවල විශේෂ ලක්ෂණය වෙන්නේ ඔහු හැම විටම තෝරා ගන්නේ ගැඹුරු දේශපාලන මාතෘකාවක්. ඒවා දැවැන්ත නාට්‍ය වීමත් සුවිශේෂයි.

ප්‍රාසාංගික ගුණය ප්‍රබල ගැඹුරු දේශපාලන සංවාද අඩංගුවීම විශේෂයි. එවැනි නිර්මාණයකදී නළු නිළියන්ගේ සම්මත රඟපෑමෙන් වෙනස් කර ගැනීම අධ්‍යක්ෂවරයාට අභියෝගයක්.

චරිතයේ පෞරුෂය නළු පෞරුෂයෙන් යටපත් නොවී පවත්වා ගැනීමත් ධර්මසිරි බණ්ඩාරනායකගේ නාට්‍ය තුළ දකින්නට පුළුවන්. මෙරට නාට්‍ය නිෂ්පාදනයට සාර්ථකව මුහුණ දෙන නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසත් මා ඔහු දකිනවා. ඒ වගේම ඔහු මෙරට සිටින දක්ෂතම රංගන ශිල්පියෙක්. දුන්න දුනු ගමුවේ නාට්‍යයෙන් මම ඔහු පළමු වරට වේදිකාවේදී දුටුවේ. මටත් රඟපෑමට උනන්දුවක් ඇති කළේ ඔහුගේ රංගනයයි.

ධවල භීෂණ නාට්‍යයේ අපට දකින්න ලැබෙන්නේ සියුම් රංගනයට කැමැති නළුවෙක් අධක්ෂවරයෙක් වූ පසු නාට්‍යයේ පෙළට කෙතරම් සාධාරණත්වයක් ඉටු වෙනවාද යන්නයි. මා මෙහි වඩාත්ම ප්‍රිය කරන්නේ මුල්ම නිර්මාණයයි. කෙතරම් ප්‍රිය කළාදැයි කියනවා නම් පස් හය වරක්ම එය නැරැඹුවා.