වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ගැටවරයෝ ධීවරයෝ

ගැටවරයෝ ධීවරයෝ

ගැටවරයෝ සහ ධීවරයෝ තිරගත වී මේ අවුරුද්දට වසර පනහකි. ‘ගැටවරයෝ’ මුල්වරට තිරගත වූයේ 1964 පෙබරවාරි 26 වැනිදාය. ‘ධීවරයෝ’ අප්‍රේල් දහ වැනිදාය. ‘ගැටවරයෝ’ පිටපත මෙන්ම එහි සම අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය මහත්මයා ද ජීවතුන් අතරය. ‘ධීවරයෝ’ පිටපත මෙන්ම එහි අධ්‍යක්ෂ එම්. මස්තාන් මෙයට වසර ගණනාවකට පෙර අභාවප්‍රාප්ත විය. මේ චිත්‍රපට දෙකම තිරගත වන්නේ මා උපදින්නටත් කලින් වුව ද මේ චිත්‍රපට දෙකම නැරැඹීමට මට වාසනාවක් තිබිණ. ධීවරයෝ, ආත්ම පූජා, අල්ලපු ගෙදර, සූර චෞරයා වැනි චිත්‍රපට සියල්ලම මා නැරැඹුවේ එම චිත්‍රපට තිරගත කිරීමෙන් දස වසරකට පමණ පසුව වුව ද මම එහි නිර්මාණාත්මක ගුණයෙන් වසඟ වීමි.

එබැවින් මස්තාන් සොයා ඉන්දියාවට ගිය මම ඔහුගේ සිනමා අත්දැකීම් පිළිබඳ ලිපි මාලාවක් ද සරසවිය පුවත්පතේ පළ කළෙමි. ඒ වන විට මස්තාන් ජීවත් වූයේ චෙන්නායි (එවකට මදුරාසිය) හි නුංගම්බක්කම් පළාතේය. බෙහෙවින් වියපත්ව සිටි ඔහුගේ ලිපි පළ වූ වර්ෂයේ මම ඕ. සී. අයි. සී. ජූරියේදී ඔහු වෙනුවෙන් සම්මානයක් ලබා දීමට යෝජනා කළෙමි. එම සම්මානය පිරිනැමුන ද, ඒ වන විට පිරිහෙමින් පැවැති සෞඛ්‍යය මෙරටට පැමිණීමේ අවස්ථාව ඔහුගෙන් උදුරා ගත්තේය. එහෙත් මිය යන්නට පෙර අදාළ සම්මානය එවකට මදුරාසියේ නියෝජ්‍ය මහ කොමසාරිස් ජී. එල්. ගෞතමදාස අතින් මස්තාන් අතට පත් විය. පුදුමයට කරුණ නම් කලක් චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය දැරූ ගෞතමදාස මහතා සමග මස්තාන්ට පැරැණි මිත්‍රකමක් තිබීමය. ඉන්දීය සිනමාකරුවකු වුව ද මස්තාන්ගේ පවුලට හිමි වෙළෙඳසලක් අතීතයේදී නාවලපිටියේදී පැවතිණ. ඒ සමයේ ගෞතමදාස මහතාගේ පියා එහි අනුරුද්ධ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටියේය. මස්තාන් ද එකල ඉගෙන ගෙන තිබුණේ නාවලපිටියේය. විදුහල්පතිතුමා සමඟ නිතර කඩයට යන ගෞතමදාස දරුවා වඩාගෙන හුරතල් කිරීම මස්තාන්ගේ සිරිතක්ව පැවැතියේය.

මේ අතීතාවර්ජනය මෙහි සඳහන් කළ ද එය මගේ ලිපියේ මුඛ්‍යාර්ථයට පරිබාහිරව ලියැවුණකි. ‘ගැටවරයෝ’ සහ ‘ධීවරයෝ’ 1967 වසරේ එවකට ගැටවරයන්ව සිටි අපේ තරුණ – තරුණියන්ට මහත් ආශ්වාදයක් දුන් සිනමා කෘති විය. එතෙක් බහුලව පැවැති ගිනිකූරු කට්, ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිරි ප්‍රේමවන්තයා වෙනුවට ‘සංදේශය’, ‘රන්මුතුදූව’ හරහා ඕනෑම මොහොතක සිය නග්න උඩු කය සහිතව පැමිණෙන ජව අධික තරුණයකු හැටියට ගාමිණී ෆොන්සේකාගේ පෞරුෂයෙන් පිරි විශිෂ්ට රංගනය ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කළේය. ගාමිණී වැනි තරුණයන්ගේ ආකර්ෂණය දිනා ගත හැකි චිත්‍රපට නිර්මාණය කළ තරුණ සිනමාකරුවෝ රාශියක් ද එකල සිනමාවේ සිටියහ. මේ සිනමාකරුවෝ බහුතරය ද ‘ගැටවරයන්’ ම වූහ.

සිනමාව යනු තාරුණ්‍ය පිරි වීරවරයන්ගේ මාධ්‍යයකි. එබැවින් සිනමාව කර්මාන්තයක් ලෙස සිතා චිත්‍රපට නිපදවන රටක එහි වෙළෙඳ පොළ ඉලක්ක කොට ගන්නේ වයස අවුරුදු 10 – 35 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්ය. ඔවුන් ලෝකය අල්ලන්ට පෙරුම් පුරන්නන්ය. එබැවින් ඔවුන්ගේ පරමාදර්ශී චරිත වෙනස්ය. සිනමාව නැමැති රූපකතා කලාවේ සර්වකාලීන භද්‍ර යෞවනය මේ ජව අධික වයස වන්නේය. හැට හැත්තෑව දශකයන්ගේ අපේ ජනප්‍රිය සිනමාව නිරීක්ෂණය කරන්නකුට මේ යථාර්ථය මැනවින් වටහා ගත හැකිය. එය අනුක්‍රමයෙන් අසූව දශකය එළැඹෙත්ම කඩතොළු වන්නට පටන් ගත්තේය. එබැවින් අප සිනමාව ගැන කතා කරන්නේ අතීත කාමයෙන් පෙලෙන්නන්ගේ සමෘද්ධිමත් සිහිවටනයක් ලෙසිනි. එකල විචාරකයන්ගේ නිර්දය විවේචනයට ලක් වූ එහෙත් ජනප්‍රියත්වයේ ඉහළට පත් බොහෝ සිනමා කෘති, රූප රාමු හෝ ගීත අන්තර්ජාලය ඔස්සේ වර්තමානයේදී නැරැඹිය හැකිය. කළු - සුදුවලින් නිම වූ මේ ඇතැම් චිත්‍රපටයක එන රූප රාමු පෙලක් සඳහා අධ්‍යක්ෂවරයකු කෙතරම් මහන්සි වන්නේ ද එය නිරීක්ෂණය කරන්නෙකුට මැනවින් හඳුනා ගත හැකිය.

‘ඔහොම හොඳද’ චිත්‍රපටයේ එන ‘රජකම් කෙරුවත් කළ කම් පළ දේ’ හෝ ‘සිංගප්පූරු චාලි’ චිත්‍රපටයේ එන ‘මල් යහනාවකි ලෝකේ’ වැනි ගීත එකල රූගත කළ විලාශය මම උදාහරණයක් කොට දක්වන්නට කැමැත්තෙමි. එහි කේන්ද්‍රගත වන ප්‍රධාන නළුවන්ගේ භූමිකා නොව අතිරේක නළු - නිළියන්ගේ ඇඳුම් විලාසිතා, හැසිරීම් පමණක් නොව මධුවිත අතට ගැනීමේදී ඉස්මතු වන සමාජ තත්ත්වය කෙරෙහි ද මෙකී රූප රාමුවල මනා සැලකිල්ලක් දක්වා ඇති බව පෙනෙන්නකි. එය එසේ කළ යුත්තේ සිනමා සිහිනයේදී සමස්ත චිත්‍රපටය පිළිබඳ ප්‍රේක්ෂකයාගේ සිතෙහි ගොඩ නැඟෙන විශ්වාසය රූප රාමුවක එන සුළු වැරැදීමකින් පවා බිඳ වැටෙන බව එම සිනමාකරුවන් විසින් වටහාගෙන තිබීමය. එපමණක් නොව පැරැණි චිත්‍රපට මුහුරත් උලෙළවල් හෝ මංගල දර්ශනයකදී නළු - නිළියන් එයට සහභාගි වනුයේ පූර්ණ ඇඳුමෙන් සැරසීගෙනය. ඔවුන් එමඟින් ආරක්ෂා කරන ලද්දේ සිනමාව සතු දැවැන්ත ගුණයයි.

පසුගිය සඳුදා සවස විදුදය මිතුරෝ නම් සංවිධානයක් මඟින් සිනමාව පිළිබඳ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි. එය පාසල් සිසුන් සඳහා ඉලක්ක කර ගත්තකි. එහෙත් එහි සිටි ඉතා සුළු සංඛ්‍යාවක් වූ ශ්‍රාවකයන් අතර පාසල් සිසුන් සිටියේ ද දෙදෙනෙකි. ඔවුන් ද එයට සහභාගීව සිටියේ නිල ඇඳුමෙන් නොවේ. මා ඇසූ ප්‍රශ්නයකට අනුව රැස්ව සිටි වැඩිහිටියන් බහුතරය පසුගිය වසර ඇතුළත සිනමාහලකට ගොඩ වී චිත්‍රපටයක් නරඹා තිබීම එක් අතකින් සතුටට කරුණකි. එය ඉලක්ක කරගත් ශ්‍රාවකයන් වූ පාසල් සිසුන් එහි සිටියා නම් ඔවුන්ගෙන් එම ප්‍රශ්නය විමසූ වහාම මට ලැබෙන පිළිතුර ඉඳුරාම වෙනස් එකක් වනු ඇත. ඒ බව මා දන්නේ අත්දැකීමෙනි. මීට පහළොස් වසරකට පෙර අලුත් චිත්‍රපටයක් තිරගත වන සෑම සිකුරාදාවකම පෙරවරු 10.30 දර්ශනය පිරී ඉතිරී යනුයේ පාසල් සිසුන්ගෙනි. කිරි කොක්කු රෑනක් ලෙස සිනමාහල් ඉදිරිපස සිටින පාසල් සිසුන් අල්ලන්නට පොලිසිය ද එකල උත්සුක වූ අවස්ථා විය. අප ඉගෙනගත් පාසලේ විනය භාර ආචාර්යතුමා බොහෝ සිකුරාදා දිනවලට පෙරවරුවේ සිනමා ශාලා අභියසට යන්නේ පාසලෙන් පැන ගිය සිසුන් ඇල්ලීම සඳහාය. එක් වරක් එතුමන් මා ද ඒ සඳහා සහභාගි කරවා ගත්තේය. ඒ හොරු කණ්ඩායමක් ඇල්ලීම සඳහා තවත් ප්‍රධාන සොරෙකු යොදා ගැනීමේ පොලිස් න්‍යාය ක්‍රියාත්මක කරවමිනි.

මේ සිනමා පිස්සුව ඉහළටම ගැසූ සිසුන් සිනමා ශාලාවෙන් පිටත තානාපති කාර්යාල ආශ්‍රිතව පවත්වන ලද චිත්‍රපට නැරැඹීම සඳහා ද නිරන්තරයෙන් සහභාගි වූහ. එහෙත් පසුගිය දශකය ඇතුළත අලුතෙන් බිහි වන පාසල් කණ්ඩායමට සිදු වූයේ කුමක් ද? ඔවුන් තරගකාරී අධ්‍යාපන රටාවකට හුරුව ඇතැයි යන ජනප්‍රිය මුසාවාදය මම බැහැර කරමි. එයට හේතුව මේ තරගකාරිත්වය අද ඇතිවූවක් නොවන බැවිනි. සෝමලතා සුබසිංහ තරගකාරී පාසල් සමය පාදක කොට ‘විකෘති’ නාට්‍යය නිර්මාණය කරන ලද්දේ අපේ පාසල් සමයේය. එහෙත් සිනමාහලකට ගොඩ නොවැදුණාට වර්තමානයේ පාසල් සිසුන්ගේ ජාත්‍යන්තර සිනමා දැනුම එදාට වඩා ඉහළ බව මගේ අත්දැකීමය. සිනමාහල් පෝලිමේ නොගියාට ඔවුනගේ කම්පියුටරයක පෙන් ඩ්‍රයිව් එකක පමණක් නොව ජංගම දුරකතනයේ රුවා සඟවා ඇති ලෝකයේ අතිශය ජනප්‍රිය චිත්‍රපට සංඛ්‍යාව කොපමණදැයි අප දන්නේ නැත.

වර්තමානයේ පෞද්ගලිකව මා සිනමා කතිකාවල යෙදෙන්නට කැමැති එකී ගැටවරයන් සමඟය. ඒ ඔවුන් මා දැනුවක් කරවන බැවිනි. පසුගිය වකවානුවේ අපේ චිත්‍රපට රාශියක් ඉහළ ආදායම් වාර්තා තැබීම සතුටට කරුණකි. එහෙත් ඒවායේ රඟපෑ නළු - නිළියන්ගේ නම් ගම් කවරෙක්දැයි කියන්නට එම චිත්‍රපට නැරැඹූ බහුතරයක් අපොහොසත්ය. එයට හේතුව හැට හැත්තෑවේ පැවැති ජව සම්පන්න ගැටවරයන්ගේ සිනමාව අප අමතක කර ඇති බැවිනි. ගැටවර සිනමාව තාරකා ගුණයෙන් වියුක්ත කළ හැක්කක් නොවේ. මා පෞද්ගලිකව සිනමාවේ සමෘද්ධිමත් අතීතාවර්ජනය ගැන උදම් අනමින් වර්තමානයට බනින්ට අකැමැතිය. එහෙත් සිනමාවේ පැවැත්මට නම් තාරකා ගුණයෙන් සපිරි ගැටවරයන්ගේ ජව සම්පන්න සිනමාව අත්‍යවශ්‍ය බැව් මම අදහන්නෙමි. එසේත් නැත්නම් රැල්ලෙන් රැල්ලට එන තාවකාලික ආශ්වාදය ලබන්නට පමණි. ඇත්තටම රැල්ලකට කළ හැක්කේ අහවල් එක සෝදා ගැනීම හැර අන් කවරක්ද? ‘ගැටවරයෝ’ සහ ‘ධීවරයෝ’ වැනි චිත්‍රපට සිනමාකරුවන්ගේ අවංක ස්වරූප ඉස්මතු කරවන්නකි. වෙන කාටවත් නොව තමන්ගේ නිර්මාණවලට වන අවංකභාවයයි.

පනස් වසරකට පසු ‘ගැටවරයෝ’ සහ ‘ධීවරයෝ’ අපට සිහිපත් කරන කාරණය නම් ගැටවරයන්ගේ සිනමාවක් අපට අවශ්‍ය බවය. එවිට ඔවුන් ධීවරයන් පමණක් නොව සූරයන් ද මවනු ඇත.