වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඇන්ටන් ගුරුස්වාමි මගේ ජීවිතය වෙනස් කළා

ඇන්ටන් ගුරුස්වාමි මගේ ජීවිතය වෙනස් කළා

පසුතල නිර්මාණ ශිල්පී කේ.ඩී. ජස්ටින්

ඔබේ නම?

කේ. ඩී. ජස්ටින්.

වෘත්තීය?

චිත්‍රපට සහ ටෙලි නාට්‍යවල පසුතල නිර්මාණ ශිල්පියෙක්. ඒ වගේම කලා අධ්‍යක්ෂවරයකු ලෙසත් වැඩ කරනවා.

ඔබ ක්ෂේත්‍රයට එන්නේ?

1973 නොවැම්බර් 16 හැඳල විජය ස්ටුඩියෝ එකෙන් තමයි මගේ ගමන ඇරැඹෙන්නේ.

කවුද ඔබව එතනට යොමු කරන්නේ?

පාසලේ කලා කටයුතුවලදී සෙට් හදන්න පෙරමුණ ගන්නේ මම. මේ බව පාරිස් පෙරේරා නම් වූ ගුරුවරයකු දැනගෙන හිිටියා. අධ්‍යාපන කටයුතු අහවර වෙලා රැකියාවක් හොය හොයා ඉන්න කාලේ එක්තරා දිනෙක මට පාරිස් සර්ව මුණ ගැසුණා. එඩී ජයමාන්න ඔහුගේ මිත්‍රයෙක්. සර් මගේ අතට ලියුමක් දීලා එඩී මහත්තයාව හමු වෙලා දෙන්න කියලා කිවවා. මම සර් කියපු විදිහටම කළා.

ඉතිං?

මේ සම්බන්ධව තිබුණු උනන්දුව නිසාම ඉතාම ඉක්මනින් මම එඩී මහත්තයාව හමුවෙලා අර ලියුම දුන්නා. ඔහු ලියුම කියවලා එවකට දැලි රැවුලවත් වැවී නැති මගේ මුහුණ දිහා සුපරික්ෂාකාරීව බලලා විජය ස්ටුඩියෝ එකේ හිටපු ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයකු වන ඇන්ටන් ගුරුස්වාමිට මාව බාර කළා.

ඔහු මොන වගේ අයෙක්ද?

වැඩි කතාබහක් නැති නිහඬ කෙනෙක්. ගුරුස්වාමි මහත්මයා මගේ හැකියාවන් ගැන හොයලා බලන්න මට වැඩ දෙකක් කරන්න කිව්වා.

ඒ මොනවාද?

ලී බැරල් ගොඩක් හා දොරක් හදන්න දුන්නා. මම ඒවා කරන අයුරු ඔහු ළඟට වෙලා බලාගෙන හිටියා.

ඊට පස්සේ?

මම ඔහු දීපු කාර්යයන් හැකි පරිදි නිම කළා. මම හිතන්නේ ඔහුට හිතෙන්නට ඇති මට වැඩක් කරන්න පුළුවන් කියලා. එදා ඉඳලා මම තමයි ගුරුස්වාමි මහත්තයාගේ සහකරුවා.

පළමුව සෙට් හදපු චිත්‍රපට පෙළ මතකද?

ඔන්න මාමෙ කෙල්ල පැනපි, යකඩයා, සරදියෙල්, පුරන් අප්පු ආදී චිත්‍රපට රැසක මම වැඩ කළා.

පසුතල නිර්මාණයන් සඳහා යොදා ගන්නා අමු ද්‍රව්‍ය මොනවද?

ලී,පත්තර, ලී කුඩු, රිජිෆෝම්, වීදුරු වැනි දෑ.

ඇතැම් අය අද වන විට ෆයිබර් එහෙමත් යොදා ගන්නවා නේද?

විශාල මුදලක් වැය කොට කරන චිත්‍රපට සඳහා ෆයිබර් යොදා න්නවා. නමුත් අපේ රටේ එහෙම වෙනවා අඩුයි.

හේතුව?

ලංකාවේ කරන්නේ හුඟක් ලෝබජට් චිත්‍රපටනේ ඒකයි.

පසුතල නිර්මාණ ශිල්පියකු සතු වගකීම ගැන සඳහනක් කළොත්?

අධ්‍යක්ෂවරයාගේ සිතෙහි ඇඳි පසුතලය ඒ අයුරින්ම හෝ ඊට සමානවම නිර්මාණය කිරීම. කියපු දිනයට සෙට් එක හැදීම, සෙට් හදන්න එන පිරිස පාලනය, හදන සෙට් එක ස්වාභාවික අයුරින් නිර්මාණය කිරීම.

එහෙම වැඩි වෙහෙසක් දරමින් පසුතලය සැකසූ චිත්‍රපට මොනවාද?

හැම චිත්‍රපටයක්ම මට එකයි. එක වගේ වෙහෙසක් දරනවා මම මොන චිත්‍රපටයක පසුතලයක් හැදුවත්. ඒත් මාකෝස් වැනි විදෙස් චිත්‍රපටවලට මම අති විශාල පාලම් කිහිපයක් තැනුවා. ඒ වගේම වෝටර්ස් සහ ඊයේ පෙරේදා රූගතකිරීම් නිම වූ බොම්බෙ වෙල්වට් යන චිත්‍රපට පසුතල මට විශේෂයි.

ඔබ විදෙස් චිත්‍රපටවලටත් සෙට් හදලා තියනවා.

ඔව්.

ඔබ වැඩ කළ පළමු විදෙස් චිත්‍රපටය?

ෆිෆ්ටි ෆිෆ්ටි. මට ඊට අවස්ථාව ලබා දුන්නේ එරල් කෙලී මහත්මයා. ඉන්දු චීන්, ගේට්වේ ද ස්කයි, ස්ලීපිං ඩික්ෂනරි, ඉන් මම වැඩ කළ විදෙස් චිත්‍රපට කිහිපයක්.

මෙරට සහ විදෙස් රටවල චිත්‍රපටයන්හී සෙට් හැදීමේදී ඔබට දැනුණ වෙනස කුමක්ද?

මෙහෙමයි. මම කලින් කිව්වා වගේ අපේ රටේ චිත්‍රපට හැදෙන්නේ ලෝබජට් එකකට. නමුත් විදෙස් නිෂ්පාදකවරු අත දිග හැරලා වියදම් කරනවා. ලොකු මුදලක් වැය කරලා සෙට් හදන නිසයි ඒවා හි පසුතල ඉතාමත් ලස්සනට පෙනෙන්නේ.

කොච්චර ලස්සනට සෙට් හැදුවත් චිත්‍රපටය අවසානයේදී ඒවා කඩලා බිඳලා දානවා නේද?

ඒක නම් එහෙම තමයි.

තමන් අමාරුවෙන් හදපු සෙට් එකක් කඩද්දී දුක හිතිලා නැතිද?

කවදාවත් නැහැ. හැබැයි වෝටර්ස් චිත්‍රපටයේ සෙට් එක කඩද්දී හිත ටිකක් සැලුනා. මොකද හරිම අමාරුවෙන් ඒවා හැදුවේ.

සෙට් හදන්න ගිහින් අමාරුවෙ වැටිච්ච වෙලාවන් ඇති?

ඒවා අනන්තයි. කොටි වලිගය සෙට් එකේදී ගින්නකට මැදි වුණා. බොහොම අමාරුවෙන් බේරුණේ. ඒ වගේම එක්තරා අවස්ථාවකදී ජීප් එකක් පුපුරවන්න තිබුණා. එය පුපුරද්දී එහි කෑල්ලක් ඇවිත් මගේ ඇඟේ වැදුණා. ඔළුවට වගේ වැදුණා නම් මම ඉවරයි.

කවුද වැඩ කරන්න අමාරුම අධ්‍යක්ෂවරයා?

ලංකාවෙද නැත්නම් පිටරටකද?

ලංකාවේ?

යෙ වචන දෙකක් නැහැ. ගාමිණී ෆොන්සේකා. ඔහුගේ චිත්‍රපටවල දර්ශන තලයේදී වැරැදි වෙනවා අඩුයි. ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයි. පුදුම විනයක් තියෙන්නේ. හැබැයි ඔහුත් එක්ක වැඩ කරන්න ආස හිතුණා දිගින් දිගටම. කවදාවත් එපා වුණේ නම් නැහැ.

විජය ස්ටුඩියෝ එක විනාශ වෙනකම්ම ඔබ එතැනද නිර්මාණකරණයේ යෙදුණේ?

නැහැ. මම ඉන් පිටත නිර්මාණවලත් ඒකෙ ඉන්න කොට වැඩ කළා. මාව විජය ස්ටුඩියෝ එකෙන් පිටතට අරගෙන ගියේ ඇන්ටන් ග්‍රෙගරි.

දැනට චිත්‍රපට කීයක විතර පසුතල නිර්මාණය කරලා තියෙනවාද?

පණහක හැටක විතර.

එයට අමතරව ඔබ කලා අධ්‍යක්ෂවරයකු ද වෙනවා? ඒ ගැනත් කියමු?

අප්පච්චි, හිතවතිය, පාරමිතා වැනි චිත්‍රපටවල සහාය කලා අධ්‍යක්ෂවරයා හැටියට ඒ පැත්තත් අල්ල ගත්තා. මම තනිවම කලා අධ්‍යක්ෂවරයකු ලෙස කළ නිර්මාණ වන්නේ ඔබ නැතුව ඔබ එක්ක, හතර දෙනාම සූරයෝ, එකමත් එක රටක.

පසුතල නිර්මාණයද කලා අධ්‍යක්ෂණය ද වඩාත් ලෙහෙසි?

මේ කාර්යයන් එකට සමාන කරන්න බැහැ. මොකද අන්ත දෙකක් නිසා. නමුත් පසුතල නිර්මාණය ටිකක් අමාරුයි.

ඔබේ පවුලේ විස්තර පවසා මේ කතාවට විරාමයක් තබමු?

මගේ ගම කඳාන. පවුලේ මගේ බිරිය, පුතාලා දෙන්නා සහ දුව ඉන්නේ. පුතාලා මගෙත් එක්ක සෙට් හදනවා. ඔවුන් මගේ අඩි පාරෙම ගමන් කරනවා.