වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




නුවර කලාවියේ උන්ට නැති බදු සබරගමුවේ උන්ට

සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන් ‘සරසවිය’ ගෙන එන කතාව
 

නුවර කලාවියේ උන්ට නැති බදු සබරගමුවේ උන්ට

04 කොටස

කුමාරිහාමිගේ උවන බැතිබර බවෙහි කැල්මකින් එළිය වැටීම නිසාදෝ එහි වෙනදා නැති සොඳුරු බවක්, සතුටක් අරක් ගෙන තිබිණි. සුපුරුදු ලෙස දෙනු ලබන පේරු දානය සුමංගල හාමුදුරුවන්ගේ සිත සතුටු වන අයුරෙන් ලබාදීමට හැකි වීම ඇගේ ඒ සතුටට හේතු විය. තමා අසල පෙළට වාඩි වී සිටින දරුවන් සිව් දෙනාගේ මුහුණු දෙස බැලූ ඇය සුමංගල හාමුදුරුවන්ගේ කතාවට සිය සිත යොමු කළාය.

‘පහතර රට අපේ සිංහලයෝ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලකයන් නිසා ගව මස් කන්නයි, මත්පැන්වලටයි ඇබ්බැහි වුණා. දැන් උන්ට අලුත් ලෙඩ රෝග බෝ වෙලාලු. ඉංග්‍රීසි බේත් නැතුවම බැරිලු. ඒ විනාශය උඩරට උන්ටත් වෙනවා දකින්න මං කැමැති නැහැ මැණිකේ.’

උන්වහන්සේගේ සිතෙහි ඇති වන අප්‍රසන්න බව යළිත් වරක් හෙළිදරව් වූයේ කුමාරිහාමි ඉදිරියේදීය.

‘එහෙමයි හාමුදුරුවනේ රජ්ජුරුවෝ මත්පැන්වලට ඇබ්බැහි වෙලාලු’

ඇහැළේපොළ කියූ යමක් සිහිපත් වූයෙන් කුමාරිහාමි කීවාය. ඔවුන්ගේ කතාබහ අතරමඟ නතර වූයේ මල්වත්තේ පරණාතල පොඩි හාමුදුරුවන්ගේ වැඩම කිරීමෙනි. කුමාරිහාමි දරුවන් සිව්දෙනා පෙරටු කොට නැඟී සිටියේ උන්වහන්සේලාට තවත් බොහෝ කතාබහ ඇතැයි යන සිතුවිල්ලෙනි.

‘උන් වැල් බෝධිය කපලා, සීමා මාලකය කඩන්න ඕනේ මගේ මළමිනිය උඩින්’

පරණාතල හාමුදුරුවන්ගේ හඬ උස්ව නැඟිණි. කුමාරිහාමි නැවතත් උන්වහන්සේලා දෙස හැරී බලා කල්පනාවට වැටුණාය.

‘සබරගමුව කොහොමද දන්නෑ’

කුමාරිහාමි තමාටම මුමුනා ගත්තේ පරණාතල හිමියන්ගේ උස් හඬ නිසා ඇතිවුණු කැලඹීමෙනි. දිනෙන් දින සිදුවන විවිධ වූ සිදුවීම් ඇගේ සිතට එක්කළේ බියකි.

සබරගමු සිදුවීම නිසා කැලඹීමට පත් වී සිටියේ රජු පමණක් නොවේ. බ්‍රවුන්රිග්ගේ සිතෙහි ද ඒ පිළිබඳ යම් නොරිස්සුමක් හටගෙන තිබිණි. ඔහු කොතරම් දූරදර්ශී ලෙස සිය පාලනය මෙහෙය වූයේ ද යත් ඒ ඒ ප්‍රදේශ සඳහා යෙද වූ චරපුරුෂ සේවාව අපූරුවට ක්‍රියාත්මක වූයේය. උඩරටට නෙත් අයාගෙන සිටින ඔහු වඩාත් සබරගමු සිද්ධියෙන් නොසතුටට පත් වූයේ ඔවුන්ගේ සීමාවට ආසන්නයේ සිංහල මිනිසුන්ගේ එක් රැස්වීම පිළිබඳය. බ්‍රවුන්රිග්ගේ කල්පනාවට තිත තැබුවේ ඔහු අසලට පැමිණි ඩොයිලිය.

ගවේෂණයට හා පොතපත ලිවීමෙහි රුචියක් දැක් වූ ඔහු ලංකාද්වීපයට පිවිසියේ බ්‍රවුන්රිග්ගේ ආරාධනයෙනි. ඒ අනුව තම යටත්වැසි රාජ්‍යයෙහි උඩරට – පහතරට ප්‍රදේශවල සැරිසැරූ ඔහුට සිංහල ගැමියාගේ සිතුම් - පැතුම්, ඇදහැලි - විශ්වාස, චාරිත්‍ර - වාරිත්‍ර යන සියල්ල පිළිබඳ ඇති වූයේ කුහුලකි. ඩොයිලි ගැමියන්ට ළං වී මේ අපූරු මිනිසුන්ටම පමණක් ආවේණික වූ දේ හැදෑරුවේ සිය නවතම කෘතියට අවශ්‍ය වූ කරුණු එක් රැස් කිරීම උදෙසාය. ඒ ඔස්සේ තම ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය මඟ සොයා ගත හැකි වග බ්‍රවන්රිග් දැන උන්නේය. උඩරට අධ්‍යාපනය මඟින් ඩොයිලිගේ අදහස ඉටු කර ගැනීමත්, සිංහලයන්ගේ දුර්වල තැන් සොයා ගැනීම උදෙසාත් ඉංග්‍රීසි ආණ්ඩුවේ නියෝජිතවරයකු ලෙස ඔහු උඩරට ගිය වග දන්නේ බ්‍රවුන්රිග් පමණි.

‘චර පුරුෂයෝ ඇවිල්ලා’

සොල්දාදුවෙක් පැමිණි පැවසූයේ ඩොයිලිගේත්, බ්‍රවුන්රිගේත් ආගිය කතාබහට බාධා කරමිනි. චර පුරුෂයන් සිව් දෙනා හා කතාබහ කළ බ්‍රවුන්රිග් ඔවුන්ට සමු දුන්නේ හැකි ඉක්මනිනි.

‘මේක අපට තර්ජනයක් නෙවේ උතුමාණෙනි. සබරගමුවේ ගොවි මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්’

කතාබහෙන් තොරව කල්පනාකාරීව සිටින බ්‍රවුන්රිග් දෙස බැලුම් හෙළු ඩොයිලි ඔහුගේ සිත වහා වටහා ගත්තාක් මෙන් කීවේය.

‘අපේ සීමාවට ළං වෙලා මිනිස්සු රැස්වෙන එක ගැන මට සතුටු නැහැ’

සිය විශ්වාසවන්ත මිතුරාගේ මුහුණ දෙස නෙත් යොමු කරමින් බ්‍රවුන්රිග් කීවේ නළල රැළි නංවමිනි. ඔවුන් අසලින් ගිය චර පුරුෂයන් හතරදෙනා ඊළඟට ඇතුළු වූයේ ඉංග්‍රීසීන්ගේ හමුදාවට කෑම පිසින මුළුතැන්ගෙයටය. සුදු නිලධාරීන් කෑම කා ඉතුරු වූ රස මසවුළු පිරුණු කෑම මේසය දෙස බැලූ ඔවුන්, එකිනෙකා දෙස බලා ඉඟි මැරුවේ ප්‍රීතියෙනි. කෑම පිඟන් අසල වාඩි වී සිටි ඔවුන් අසලට රැගෙන ආ භාජනවල වූයේ මත්පැන්ය. සිවුර දා සිටි චර පුරුෂයා සිය සිවුර ගළවා පැමිණ ගිජු ලෙස ආහාර ගිල දමමින් සිටින තම සඟයන් අසලින් වාඩි වූයේ සබරගමුවේ සිදු වූ කලබැගෑනිය පිළිබඳ යමක් සිහිපත් කරමිනි.

පසෙකින් වූයේ ඝන වන කැලෑවය. කැලෑව අසල වූ හිස් භූමියට ආසන්නයේ පිහිටියේ වෙල් යායකි. හිස් භූමිය පිරී ඉතිරී ගියේ සබරගමුවේ කැරැලිකාර ගොවීන්ගේ හිස්වලිනි. රාජසිංහ රජුගේ පණිවිඩකාර කටුපුල්ලේවරු සත් දෙනා ගස් බැඳි මේ කැරැළිකාර ගොවීහු ඔවුන්ට මඩ ගැසූහ.

‘තොපි ගිහින් කියපියව් සබරගමුවේ උන් එයාට තවත් අසාධාරණ බදු ගෙවන්නේ නැහැ කියලා’

කටුපුල්ලේවරුන් ගේ මුහුණට මඩ තලියක් වීසි කළ එක් ගොවියෙකු කිවේ තම සිතෙහි වූ තරහ උනුන් පිට පටවන්නාක් මෙනි.

‘තොපි දන්නවද? නුවර වැවේ තියෙන්නේ වතුර නෙවෙයි බොලව්. සබරගමුව උන්ගේ දහඩියයි. කඳුලුයි’

තවෙකෙක් කීවේය.

‘නුවර කලාවියේ උන්ටත් නැති බදු සබරගමුවේ උන්ට. අපි ගෙවන්නේ නෑ’

මෙසේ කියන කැරැළිකාර ගොවීන් අතර වූ වතිය රාළගේ දෑතෙහි වූයේ කුඹුරෙන් ගත් මඩය.

‘මේ සබරගමුවේ උන් නිවටයෝ නොවෙයි කියලා රජාට පෙන්වන්න ඕන බොලල්ලා. එන්න එපා තොපි ආයේ පණිවිඩ අරං. අතපය කඩාගෙන යන්න වෙන්නේ’

ඩිංගිරාළ දෑතෙන්ම මඩ රැගෙන ගසයි. ටික වෙලාවක් එසේ කළ ඔවුහු කටුපුල්ලේවරුන් ලිහා එලෙව්වේ හූ කියමිනි. තව නොබෝ වේලාවක් යන්නට මත්තෙන් තම ජිවිතය නැතිවේ යැයි සිතූ කටුපුල්ලේවරු සත් දෙනා ඔළුව හැරුණු අත දිව්වේ තවත් මොහොතක්වත් එතැන නොරැඳෙමිනි. ඔවුන්ට තම සිතෙහි රැඳුණු බිය තරමක් හෝ මඟ හැරුණේ රජ වාසල අසලට පැමිණීමෙන් පසුවය.

‘සබරගමුවේ උන්ට ඕන ඕන විදියට නටන්න දෙන්න බැහැ. බදු ගෙවන්නේ නැත්නම් ඒකට දඬුවම් කරන්න සිද්ධ වෙනවා’

‘රජතුමනි උන් කැරැල්ලක් ගහන්න අර අඳිනවා වගේ’

කටුපුල්ලේවරු රජුට පැවසුවේ තම රාජකාරි ගමන පිළිබඳ තොරතුරු රාශියකි. ඉන් එකෙක් තම තොරතුරුවලට අතින් දමා කියන්නේ රජුගේ සිත දිනා ගන්නා අයුරෙනි.

‘කැරැල්ලක් . . . වහාම පණිවිඩයක් යවපන් ඇහැළේපොළ නිලමෙට රජ වාසලට එන්න කියලා’

තමා මරා දමා සිහසුන අත්පත් කර ගනීවි යැයි කියා බියෙන් පසුවන රජුට ‘කැරැල්ලක්’ යන වචනය ද සිය කෝපය අවුස්සන තරම්ය. රජු දුන් අණෙන් මුහුණට මුහුණ බැලු මොල්ලිගොඩගේ සිතෙහි හට ගත්තේ ඇහැළේපොළ පිළිබඳ ඊර්ෂ්‍යාවකි. හේ ඇමැතිවරුන් දෙස බැලුවේය.

‘රජතුමනි ඇහැළේපොළ යවන්න’

මොල්ලිගොඩගේ අදහස ඉවෙන් මෙන් හඳුනා ගත් අරිට්ඨ රජතුමාගෙන් නැවත විමසුවේ වැරැදීමක් සිදු වූ කලෙක මෙනි.

‘නැතුව වෙන කවුද යන්නේ?’

රජු පැවසුවේ අරිට්ඨට කිසිවක් කියන්නට ඉඩ නොතබාය.

රජුගේ අණ සැල වූ ඇහැළේපොළ ඊට පසු දිනම රජු බැහැ දැක්කේය. රාජ සභාවේ උන් අරිට්ඨගේත්, මොල්ලිගාඩගේත් මුහුණුවල වූයේ නොරිස්සුම් ස්වභාවයකි.

‘ඇහැළේපොළ උඹට මේ සබරගමුවේ කැරැලිකරුවන්ව මර්දනය කරන්න සෙබලු 100 ක් ප්‍රමාණවත්ද?’

රජු ඇසුවේ ඇහැළේපොළගේ පිළිතුර කුමක්දැයි දැනගනු රිසියෙනි. ඇහැළේපොළ හිස වැනුවේය. රජුගේ ආශිර්වාදයත් සමඟ රාජ සභාවෙන් එළියට පැමිණි ඔහුට සුබ පතන්නට වට වූයේ මොල්ලිගොඩ හා අරිට්ඨ ඇතුළු පිරිසය. තම සිතෙහි වූ අකැමැත්ත සිනහවකින් වසාගත් ඔවුහු ඇහැළේපොළට සුබ පැතූහ.

‘සබරගමුවේ උන් ඇහැළේපොළව ගස් නොබැන්දොත් ඇති’

ඔවුන්ගෙන් ඈත් වී යන ඇහැළේපොළ දෙසම බලාගෙන සිටි මුල්ලේගම, මොල්ලිගොඩගේ වචනවල වූයේ සෝපාසයකි.

තවත් කොටසක් ලබන සතියේ


පසුගිය කොටස්

01 කොටස - උඩරට වැසියන්ට විදේශ මත්පැන් රොබට් බ්‍රවුන්රිග්

02 කොටස - කිළිකුණු ඇති වඳිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්

03 කොටස - අනාගතේ මේ රට බේබද්දන්ගෙන් පිරිච්ච රටක් වේවි