වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




පෙනේ පුම්බපු නයි දෙන්න දෙපැත්තේ තියන් මම මන්ත්‍ර ජප කළා

පෙනේ පුම්බපු නයි දෙන්න දෙපැත්තේ තියන් මම මන්ත්‍ර ජප කළා

මගේ දෙපැත්තෙන්ම නයි දෙන්නෙක්. ජෝඩුවම පෙණ ගොබත් පුම්බගෙන. උන්ව ගෙනාවෙ නම් නයි නටවන්න තමයි. ඒත් විෂ දළ වුණත් ගලවල ද නැති ද කියන්න කවුද දන්නේ? කට්ටඩිය මං. මන්ත්‍ර කිය කියා මං මේ අර අඳින්නේ නිධානෙකට වග කියන්න. ඒත් හිත යට කැකෑරෙන්නෙම නයි ගැනමයි. ඇයි ඉතින් නයි කියන දේ අහන්නෙම නෑනේ. අනේ අන්තිමට යාන්තම් මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ ‘ටිකිරි නිළමේ ටෙලියෙදි ඒ දර්ශනේ රූගත කිරීම් හමාර වුණාමයි.

එතැනින් නම් ගැළවුණත් ‘පළිඟු මැණිකේ’ ටෙලි නාට්‍යය හික්කඩුවේදී රූ ගැන් වූ දවසක් මතක් වෙද්දී තවමත් මගේ කම්මුලත් පුපුරු ගහනවා වගේ දැනෙනවා. එදා ධම්ම ජාගොඩගේ හිතට හරි මදි. රූප රාමුවකට නැවත නැවත කීප වතාවක්ම මං හිටියා. ඒ තනියම නෙවෙයි. රෝහණ බැද්දගේත් එක්කල. බැද්දගේට පැවරුණේ සද්දෙත් එක්කම මට හොඳ කම්මුල් පාරක් ගහන්නයි. නිස්කාරණේ පාරවල් හත අටක්ම කෑවත් ඒ එකක්වත් ජාගොඩගේ හිතට ඇල්ලුවෙම නෑ. ඒ දේ කරන්න බැද්දගේට හිත දුන්නෙම නෑ. අතේ තිබිච්ච මුදු දෙක තුන ජාගොඩ ගලව ගත්තා. ඒවත් ඇඟිලිවලට ඔබාගෙන ඒ සැරේ වැඩේට බැස්සේ ජාගොඩ . ඒ සමීප රූප රාමුවක්. ජාගොඩගෙ අතයි මගේ මූණයි.

ඉතින් ඊළඟ මිනිත්තුවේදී මට උන් හිටි තැන් පවා අමතකයි. වීසි වී ගිිහින් හික්කඩුව තොටුපලෙන් වතුරෙ ගිලිච්ච මාව ගොඩ ගන්නව විතරයි මට මතක. ඔන්න දැන් මං මෙතැනින් ජීවිතේ ටික දුරක් යනතුරු දිනෙන් දිනේ මගේ ජීවිතේ දිහා ආපස්සට හැරී බලනවා.

එදා නව වැනිදාවක්. ඒ එක් දහස් නවසිය හැත්තෑ නවයේ ජනේරුව. අද ජීවිතේ ලස්සන දවස්වල මතක අවුස්සන්න මං සුදුස්සෙක් වෙන්නේ එදා. ලේක්හවුසියේ මාධ්‍යවේදියෙක් විදියට එදායින් මං පත්තර ජීවිතේ අරඹනවා. එතැන් පටන් ජීවිතේ අඩකටත් වඩා එහෙමත් නැතිනම් තිස් දෙවසරක්ම මං වැඩ කළේ ලේක්හවුසියට. ඒ කාලෙදිත් කවමදාවත්ම මං පෑන අයුතු විදියට මුදලට පාවිච්චි කළේ නෑ. එකම පේළියක්වත් මුදලට ලියලා නෑ. ජනතා පුවත්පතින් ගමන අරඹන මං ජනතාවෙම සම කර්තෘ ධූරයක් දරනවා. සරසවියේත් ලේඛකයකුගේ පටන් ප්‍රධාන කර්තෘ දක්වාම ඉහළට යනවා. එතැනින් එහාට පොඩි පත්තරකාරයකුට ගමන් කළ හැකි ඉහළම දුර වුණු වාර ප්‍රකාශන කළමනාකාර තනතුර දක්වාම මං ඉහළ නඟිනවා.

කාලයක්ම නැවතී තිබිච්ච සරසවිය සම්මාන උළෙල මං අරඹන්නේ කිසිම දේශපාලන අත ගැසීමකින් තොරව. සම්මාන උළෙලත් හරියටම හෝරා දෙකකුත් මිනිත්තු දෙකකින් පවත්වා අවසන් කරනවා. මුල් වතාවට සරසවිය සම්මාන උළෙලට රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය සම්මානය එකතු කරන්නේ මම.

දැන් මේ ගෙවෙන මතකය ඇරැඹෙන්නේ ජයවර්ධනපුර රෝහලෙන්. මං ඉන්නෙ සූතිකාගාරෙ දොරකඩ. එදා අසූ හතේ ජනවාරි අට. දොර පියන් ඇරුණම සූතිකාගාරෙන් එළියට ගෙනාවෙ ට්‍රොලියක්. ඈ හිටියේ ඒ මත. එක පුතෙක් ඔඩොක්කුවේ. අනිත් පුතාව බිරිය පැත්තකින් තුරුළු කරන් හිටියා. එහෙම අපිට නිවුන් පුත්තුම දෙදෙනෙක් ලැබුණා. ඒත් මං හිටියේ හිතේ බයකින්. බිරිය සේවය කරද්දී ටෙලිකොම් ආයතනයේදී ත්‍රස්තවාදී බෝම්බයකට ගොදුරු වී සිටියේ ගැබිණි කාලෙදිමයි. මගේ හිත යටින් හොල්මන් කළේම එයින් දරු ගැබට බලපෑමක් වෙයිද කියලයි. අපේ විවාහයත් සත් අවුරුද්දක ආදර සම්බන්ධයක ප්‍රතිඵලයක්. එක් දහස් නවසිය අසූ හයේදී අපි විවාහ වුණෙත් විරෝධතා කරදර බාධක මැදින් ඇවිත්. එදා වගේම අදටත් බිරියගෙන් ලැබෙන අත්වැල මට මහමෙරක්. උට්ඨාන විර්යයෙන් මටත් වඩා බලවත් බිරියට මමත් කියන්නේ ‘මෙවන් බිරියක් ලද ස්වාමියා සැනසුණේ වේ’ කියලා.

මගේ ජීවිතේ තවත් හැරවුම් ලක්ෂයක් තමයි ‘පළිඟු මැණිකේ’ පුංචි තිරෙන් මුලින්ම පෙන්වූ දවස. මං රංගන ශිල්පියෙක් විදියට මුලින්ම මිනිසුන් අතරට ගියේ එහෙම. පළිඟු මැණිකේ මට ගෙනාවේ පාරේ බැහැලා යන්න බැරි තරමේ මහා ජනාදරයක්.

දැන් මං මේ සැරිසරන්නේ අනූව දශකයේ අග මතකවල. අනුවේදනීයම මතක දෙකක් ළඟ. ඔවුන් දෙදෙනාම මට මගේ පියවරු. කෙනෙක් හේරත් බණ්ඩාර රාජගුරු. මා වැදූ පියා කියන්නේ ඔහුට. අනෙක් තැනැත්තාව මං හඳුන්වන්නේ මා හැදූ පියාණන් විදියට. ඒ තමයි ධර්මසිරි ගමගේ. මාධ්‍ය ජීවිතයේදී ඔහු මට පියෙක්. මම සිහිනෙන්වත් නොසිතූ මොහොතක ගමගේ සූරීන් වියෝ වූ ඒ අසුන්දරම ආරංචිය ලැබුණේ මීට දස වසරකට කලින්. මාව සාහිත්‍යමය මිනිසෙක් කරන්නට පෙළඹවූ හේරත් බණ්ඩාර මගේ අප්පච්චි අප හැර ගියේ ඊටත් කලින්. හරියටම එක්දහස් නවසිය අනූහයේ අප්‍රේල් විසි හය වැනිදා. අප්පච්චි කවමදාකවත් අපට ගෙදර උපන් දින සාද පැවැත් වූ කෙනෙක් නෙවෙයි. මට එක උපන් දිනයකට අප්පච්චිගෙන් තෑගි ලැබෙන්නේ ඉලංගරත්නයන්ගේ පොත් පාර්සලයක්. ඊළඟ උපන් දිනයට අප්පච්චි මට ඒ විිදියටම ඩබ්. ඒ. සිල්වාගේ පොත් තෑගි කරනවා. ඉඳින් අප්පච්චිගේ හදිසි වියෝවත් මට දරා ගන්නම බැරි වුණා.

අප්පච්චිත් එක්කලා තදින්ම බැඳිච්ච එක මතකයක් එළබටුත් එක්කත් සම්බන්ධයි. ඉස්සර මං බාල කාලේදී අප්පච්චි අම්මට දාපු පොඩි නීතියක් තිබුණා. මට එළබටු දෙනවා නම් අප්පච්චිට නොකියා දෙන්න එපයි කියලා තමයි කිව්වේ. ඉඳින් අප්පච්චි ජංගි කොටේ ඇඳන් ඉන්න මාව ළඟට කරන් ‘පොතුත් එක්ක එළබටු කන්න හොඳ නෑ. ඇපෙන්ඩිසයිටිස් හැදෙනවා’ හැමදාම එළබටුවල පොතු ගලව ගලවා අප්පච්චි කියන ඔය ටික ඒ කලේ මටත් හොඳට කටපාඩම්. මේ කියන්න යන්නේ ඊට හුඟක් පස්සේ සිද්ධියක්. එතකොට මං වයස අවුරුදු විසි එකක ගැටවරයෙක්. උඩහමුල්ලේ ගෙදර ඉඳන් ඇවිත් මං ලේක්හවුසියේ වැඩට එන්නට බස් එකකට ගොඩ වුණා විතරයි. ජනෙල් කවුළුවෙන් මං දැක්කේ විගහට අඩියට දෙකට මං හිටිය දිහාවට එන අප්පච්චි. එයා මොකක්දෝ දෙයක් කියනවා වගේ දැනුණත් ඒ මොකක්ද කියලා තේරුම් ගන්න මට බැරි වුණා.

මං කාර්යාලයට ඇවිදින් පැය භාගයක්වත් ගත වුණේ නෑ පිළිගැනීමේ නිළධාරිනී මොරීන් දුරකතනයෙන් මට දැනුම් දුන්නේ අමුත්තෙක් පැමිණ සිටින බවයි. ඒ ඇවිත් හිටියේ වෙනින් කවුරුවත් නෙවෙයි අප්පච්චිම තමයි.

‘පුතේ මං කුස්සියට ගියාම හට්ටියක් ඇරිලා තියෙනවා දැක්කා. ඒකේ එළබටු උයා තිබුණ. පුතා ඒවයෙ පොතු ඇරල කන්ඩ. අප්පච්චි කිව්වේ ඔන්න ඔච්චරයි. ආපිට හැරිලා යන අප්පච්චි දිහෑ බලන් හිටිය මගේ ඇස් තෙත් වුණා. මේ පුදුමාකාර පිය සෙනෙහස ළඟ මං ගල් ගැහුණා. අදටත් මං එළබටු කන්න ගියෝතින් ඒ දේ මතක් වෙනවා. මේ මතකෙන් පීඩාවට පත් වෙන නිසා කොච්චර ගුණ කෑමක් වුණත් මං එළබටු අපේ ගෙදරට ගේන්නේම නැහැ.

සංවේදීම මතක වැළට ඇමිනිච්ච තව දවසක් තමයි හැත්තෑ එකේ අවුුරුද්දේ වෙසක් පොහොය දවස. එදා උදෙන්ම අපේ ගේ දොරකඩ නැවතුණේ 3 ශ්‍රී 2785 නොම්මරේ තියෙන මොරිස් මයිනර් ටැක්සිය. මේ වාහනෙන් තමයි මගේ මල්ලි පුෂ්පකුමාර බණ්ඩාරව කාසල් රෝහලේ ඉඳන් ගෙදරට ගෙනාවේ. අම්මා ලේන් පැටියෙක් වගේ හිටිය මල්ලිව දුන්නේ ඒ වෙද්දී වයස අවුරුදු දොළහක් විතර වෙච්ච මගේ අතට. මං දෝතින්ම ඔසවන් මල්ලීව ගෙට ගෙනිච්චේ සීරුවට, පරෙස්සමට. එයාව ඇඳේ තිබ්බෙත් මං. ඒ විතරක්යැ මං ආදරේට පුංචි මල්ලිට එදා රෑ වෙසක් පෙන්වන්න ගෙනිහින් වුණේ හරි වැඩක්. දොරකඩ තිබිච්ච බකට් පෙන්වන්න මල්ලිව වඩාගෙන එළියට ගෙනිච්ච මට අම්මල දොස් කිව්වේ නැකැතක් බලලා මිසක පොඩි ළමයි එළියට ගෙන යන්න හොඳ නැහැයි මතක් කර දීලයි. එයින් අදටත් ඉතිරි වෙච්ච ලස්සනම මතකෙ තමයි මල්ලී එයාගේ අනාගත වෘත්තිය තෝරා ගත්තේත් ලයිට් හසුරුවමින් වැඩ කරන කැමරා ශිල්පියෙක්ම වීම.

මල්ලිට වෙසක් පෙන්නුවාටත් වඩා දඩබ්බරකම් ගෙදරදි මං නොකළා නෙවෙයි. සිංහල අවුරුදු දවසක ගුටි නොකා අනූ නවයෙන් බේරුණු එහෙම දෙයක් මේ. අපේ ගෙදර කුස්සියේ පෝරණුව ළඟට ගිහින් මොකක් හරි කීවාම ඒ සද්දය දෝංකාර දෙනවා. වචනයක් දෙකක් එහෙම දෝංකාරෙන් ඇහැව්ව මට ඕනෑ කළේ තව ටිකක් ලොකු සද්දයක දෝංකාරේ අහන්න.එවෙලේ අවුරුද්දට හැමෝටම කන්න පොළොස් ඇඹුලක් ලිපේ තියලයි තිබුණේ. මං හෙමිහිට ගෙට ගිහින් ගෙනාවෙ රතිඤ්ඤයක්. ඒක ලිපට ඔබලා මං ටිකක් පස්සට වුණේ කෝකටත් ටිකක් අයින් වෙන එක ඇඟට ගුණයිනෙ කියලා හිතිලා. දොංකාරේ මං හිතුවටත් වඩා දීගෙන පිපුරුව රතිඤ්ඤයෙන් ලිපේ තිබිච්ච පොළොස් හට්ටියටත් වෙන්න ඕනෑ දේ වෙලා ඉවර වෙලා තිබුණා.

අද ප්‍රවීණයන් වුණත් ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආච්චි එහෙම ඒ කාලේ පාසල් ශිෂ්‍යයින්. ශ්‍රියන්තලත් එක්කලා ජර්මන් ජාතික නාට්‍යවේදීන් පැවැත් වූ වැඩමුළු දෙකකට ඒ කාලේදි මං සහභාගි වුණේ කොළඹ ආනන්ද කොලීජිය නියෝජනය කරමින්. මේ වැඩමුළු අවසානයේදී ධම්ම ජාගොඩ වගේ ප්‍රවීණයන්ගේ මුල්විමෙන් නිපද වූ නාට්‍යවල අපි රඟපෑවා. කොහොමටත් ධම්ම ජාගොඩ නම් විශිෂ්ට රංගනවේදියාත් එක්කලා වැඩ කරනවා කියන්නේ රංගන පාසලකට ඇතුළු වුණා වගේ තමයි. ලයනල් රංවල ගුරුතුමාවත් මෙතනදි මතක් කරන්නම ඕනෑ.

නැවතත් මෑත ජීවිතේ මතකවලට එළැඹුණොත් ජනවාරි විසි හත් වැනිදාව හිත රිද්දනවා. ඒ දෙදහස් දොළහ අවුරුද්දේ. ඒ දවසේ තමයි අම්මා අප හැර ගියේ. කරුණාව, දයාව, එඩිතරකම වගේ ගතිගුණවලින් අනූන ඇය අසනීප වී එක්තැන්ව සිටියා. ඒ වින්ඳ වේදනාවලින් නිදහස් වී පංචස්කන්ධයෙන් අම්මා වෙන් වුණත් සදහටම ඇය මගේ හිතේ ජීවත් වෙනවා.

එතැනින් මාධ්‍ය කලාව දිහාවට හැරුණොත් අදට වඩා එදා ආධුනිකයන්ව සිටි අපට හොඳ ගුරුවරු සිටියා. දැන් නම් පළපුරුදුකරුවන් වුණත් බහුතරයක් පරිගණක ගතවෙලා වගෙයි පෙනෙන්නේ. ඒත් අපට ධර්මසිරි ගමගේ, සෝමවීර සේනානායක, එඩ්වින් ආරියදාසයන් වැනි මාධ්‍ය කලාවේ පුරෝගාමී පතාක යෝධයින් සිටියා. මාධ්‍යකරුවකුට වුවමනා කරන සියලු අත්දැකීම්වලින් පෝෂිතවයි ඔවුන් සිටියේ. අපිටත් ඔවුන් යටතේ අපේම ශෛලියක් ගොඩ නඟා ගත හැකි වුණා. මිනිස්සුන්ට දැනෙන විදියට ලියන්නම අපි පෙළඹුණා. අපි ලිව්වේ මිනිසුන්ට කියවන්නට සිතෙන ලිපි. ඒත් අද ඒ වගේ ආධුනික පිරිස අඩුයි. නිකන් ඔහේ ලියනවට ලියලා වැඩක් නැහැ. ඊට වඩා නොලිය ඉඳීම හොඳයි. ඒ ඒ චිත්ත රූප මැවෙන්නයි ලියන්න ඕනෑ. පාඨකයාව ආකර්ෂණය කර ගැනීමට නම් ඒ ලේඛනයට ශෛලියක් තියෙන්නම ඕනෑ. මම නම් ඊට ගුරු කොට ගත්තේ ධර්මසිරි ගමගේ සූරීන්ගේ ශෛලිය.

මේ මොහොතේදීත් මං ජීවිතයේ මතු යම් දවසක සැබෑවෙන ලස්සනම දවසකට සුබ සිහිනයක් දකිමින් සිටිනවා. මට ඒ සිහිනය දිගේ තවත් සිව් වසරක්වත් පියවර මනින්නට වන බවත් මං දන්නවා. ඒ රුසියාවේ වෛද්‍ය සිසුවියක්ව සිටින දියණිය වෛද්‍යවරියක් වී මවුබිමට පා තබන දවස.

මං

අනුර බණ්ඩාර රාජගුරු