වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අනේ ඔහු අද සිටියා නම්...

අනේ ඔහු අද සිටියා නම්...

සිරිල් ඒ. සීලවිමල බිරිය සිහිපත් කරයි

හිස් ටින් එකක් වාගෙයි අපේ
මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නැහැ හාමතේ
නැතිනම් අතේ සල්ලි

 

ජෝති, මිල්ටන් පෙරේරා සහ බෙග් මාස්ටර් දැන් මතකද සිනමාපටයට ගැයූ මෙම ගීතය අද වන විට ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබෙනවා. චිත්‍රපටය තිරගත වන සමයේවත් හිස් ටින් එකක් මෙතරම් තුඩතුඩ රැව්දෙන ගීතයක් බවට පත් වුණේ නැහැ. මෙය යළිත් ඇසෙන්නට පටන් ගත්තේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් ලෙස අභිසෙස් ලැබූ එම්. ජී. ධනුෂ්ක නිසායි. ඔහු අති දක්ෂ අයුරින් වේදිකාවේ හිස් ටින් එකක් ගැයුවේ සංගීත ලෝලීන් ආනන්දයෙන් ආනන්දයට පත් කරමිනි. දෙරණෙන් මෙම ගීතය ඇහෙද්දී එක්තරා තැනැත්තියක් ඉතාමත් ඕනෑකමින් එම්. ජී. දිහා බලාගෙන හිටියා. ඇයට සතුටුයි. ඒත් පුංචි දුකක් අළු යට ගිනි මෙන් නිතර මතු වුණා. මේ දොම්නස යටපත් කරගෙන ඇය එම්. ජී. ට හිතින් සුබපැතුවා.

 මොකද හිස් ටින් එකක් නැවතත් ජනතාව අතරට එම්. ජී. තිළිණ කළ නිසා. ඇය අනුලා සීලවිමල මහත්මියයි. කෘතහස්ථ මාධ්‍යවේදියකු වගේම ගීත රචකයකු වූ සිරිල් ඒ. සීලවිමලයන්ගේ දයාබර බිරිය. හිස් ටින් එකක් වාගේ ගී පද මැවුණේ සීලවිමලයන්ගේ සුරතිනි. ඒ කාලයේ සිරිල් ගුවන් විදුලියේ ඇතැම් නිලධාරීන්ට හිස් ටින් එකක් ප්‍රචාරය කරන්න කිව්වලු. එහෙම ඉල්ලීම් කරලත් එක වතාවක් හෝ දෙවතාවකට වඩා එය ප්‍රචාරය වුණේ නැහැලු. යළිත් හිස් ටින් එකක් ජනතාව අතරට ගෙනාවට ඇය සරසවිය හරහා එම්. ජී. ට සුබපැතුවා. ඒ වගේම එම ගීතය ඉතාමත් හොඳින් ඔහු ගායනා කළ වගත් ඇය පැවසුවා.

මටත් වඩා සීලවිමල හිටියා නම් සතුටු වේවි.

ඇය අවසන් කොට අදහස් දැක් වූයේ මුලු හදවතින්ම කියලයි අපට දැනුණේ.