වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ඇය වෙනුවෙන් නොවේ රට වෙනුවෙන්

මේ ඇය වෙනුවෙන් නොවේ රට වෙනුවෙන්

සබීතා පෙරේරා රටට දුන් ආදර්ශයක්...

‘The Last Phase’ පසුගිය මානුෂික මෙහෙයුමේ අවසන් දින කිහිපයේදී එල්ටීටීඊ සමාජිකාවක මුහුණ දුන් සත්‍ය සිදුවීම් පෙළක් රැගෙන එන වාර්තාමය චිත්‍රපටයක්. සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ ජයවඩනී එම සිදුවීම්වලට මුහුණ දුන් එම සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකාවකව සිටි කාන්තාවක්. තම මිතුරන් ලෙස සිතා කටයුතු කළ අය තම සතුරන් වූ බවත් සතුරන් ලෙසින් සිතා සිටි අය මිතුරන් ලෙසින් තමාට පිහිටට ආ අයුරුත් ජයවඩනී ‘The Last Phase’ හරහා අද ලොවටම කියන්නීය. එල්ටීටීඊ සමාජිකාවක ලෙසින් යුද්ධයේ බියකරු සිදුවීම්වලට මුහුණ දුන් ඇය අද ආදරණීය බිරිඳක, මවක ලෙසින් පී‍්‍රිතිදායක පවුල් පසුබිමක සිටින්නීය. එහි පී‍්‍රතිය තව තවත් වඩවමින් අද ඇය නව නිවෙසක හිමිකාරිය බවට පත් වූවාය.

සබීතා - උපාලි සුබ මොහොතින් පහන් දල්වමින්

මොහොමඩ් අලි රජාබ්දීන් රචනා කළ, ජීවන් චන්දිමාල් අධ්‍යක්ෂණය කළ ‘The Last Phase’ නම් වාර්තාමය චිත්‍රපටය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේදී එළිදැක් වූ අවස්ථාවේදී ජයවඩනි හට නිවසක් ලබාදීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වූ පොරොන්දුවකට අනුව එම නිවස ඉදි කිරීමේ වගකීම ප්‍රවීණ රංගන ශිල්පිනි සබීතා පෙරේරා සිය සැමියා උපාලි ජයසිංහ භාරගෙන තිබුණි. ඒ අනුව ඉදිවූ අංග සම්පූර්ණ නව නිවස කිලිනොච්චියේ පදිංචි ජයවඩනී හට පසුගියදා පරිත්‍යාග කළාය.

මෙවැනි සද්කාර්යයට දායක වූ රංගන ශිල්පිනී සබීතා පෙරේරා සමගින් ඒ අපූරු කතා පුවත ගැන කතා කරමු.

ජයවඩනීහට නිවසක් ලබා දීමට අවස්ථාව ලැබීම ගැන සබීතා පැවසුවේ ඉතාමත් සතුටින්.

“ මේ වගේ දෙයකට සහයෝගය ලබා දෙන්න අවස්ථාව ලැබීම මගේ ජීවිතයේ වටිනාම දෙයක්. මානුෂික මෙහෙයුම අවසානයේදී අපට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා වගේම අපෙනුත් රටට යමක් කරන්නට මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන තියෙන්නේ පුදුමාකාර සතුටක්. ජයවඩනිහට මේ නිවස ලබා දුන් දවස මගේ ජීවිතයේත් වටිනාම දවස් අතරට එක් වුණා”

“ද ලාස්ට් පේස් (අන්තිම කාලය) වාර්තාමය චිත්‍රපටය සමගිනුයි ජයවඩනි අපට හඳුනා ගන්න ලැබුණේ. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේදී රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට මගේ මහත්තයා උපාලි සම්බන්ධ වුණා. එහිදි සිදු වූ කතාබහක් අනුව ඇයට අවශ්‍ය දේ පිළිබඳ කළ විමසදීමේදී නිවසක අවශ්‍යතාවය තමයි ඇය පවසා තිබුණේ. එදා මගේ මහත්තයා එම කාර්යය භාර අරගෙන තිබුණා.

ජයවඩනි සිය සැමියා සමගින්

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ලක්ෂ දොළහක චෙක් පතක් අපි යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මියට භාර දුන්නා.මෙම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය වූ ඉඩම් කොටස ලබාදීමට එවකට යාපනයේ හිටපු ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා කටයුතු කළා. ඒ අනුව කිලිනොච්චිය වට්ටච්චිය ගම්මානයේ යුද හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් මාස පහක් වැනි කාලයක් තුළ ඉතා අලංකාර ලෙසින් එම නිවස ගොඩනැගුවා. පසුගිය මාසයේදී යි අපි ඒ නිවෙස ජයවඩනිහට භාර දුන්නේ.”

මෙය ඔබේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් වෙලා ?

එදා තමයි මම මුල් වරට ඇය දුටුවේ. ඇය ගෙදර එහා මෙහා ඇවිද්දේ බොහොම සතුටින්. ඒ අවස්ථාව මටත් පුදුමාකාර සතුටක් දැණුනේ. මේ වැනි කාර්යයකට දායක වෙන්න ලැබීම ගැන මමත් ගොඩක් සතුටු වෙනවා. ඇයගේ සතුට දුටුවාම තමයි අපි කළ දේ වටිනාකම කෙතරම්ද කියලා දැණුනේ. ඒක ලොකු පිනක්. මේක ඇය වෙනුවෙන් විතරක් නෙවෙයි රට වෙනුවෙන් කළ දෙයක් කියලයි මට හිතෙන්නේ.ඇත්තටම ඒ නිවෙස යුද හමුදා සෙබළුන් විසින් අලංකාර අයුරින් ඉදිකර තිබුණා. ඔවුන්ගේ ශ්‍රමය කැප කරමින් කළ ඒ කටයුත්ත වෙනුවෙන් මම ඔවුන්ටත් මගේ ස්තූතිය පිරිනමනවා.

කිලිනොච්චිය භාර වත්මන් ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, මොහොමඩ් අලී රජාබ්දීන්, රිචඩ් මුන්ඩේ, ජයවඩනී, ජීවන් චන්දිමාල්, සබීතා සහ උපාලි පුතු සමගින්

හින්දු ආගමික චාරිත්‍ර ඉටුකරමින්

මෙය පරිත්‍යාගයකටත් වඩා වටිනා දෙයක් ?

පසුගිය දශක කිහිපය පුරාවටම යුද්ධය නිසා අපි ජීවත් වුණේ භීතියෙන්. අපේ වීරෝධාර හමුදා සෙබළුන්ට පින් සිදුවන්න අපි දැන් බය නැතුව ජීවත් වෙන්න පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. ඒත් අපේ ඒ වීරෝධාර සෙබළුන්ට එල්ල වූ චෝදනා බොහෝයි. ජාත්‍යන්තරයේ අවධානය ඒ විදියට අපේ රටට එල්ල වන විට ජයවඩනි කියූ දේ අපේ රටට සහනයක්. ඇය හෙළි කළේ ඇය අත්විඳී ඉරණමයි. තමන්ගේ අය වෙනුවෙන් කෙතරම් කැපකිරීම් කළද අවසානයේදී ඔවුන් තමාට කෲරත්වයෙන් සැලකූ අන්දමත් තමා සතුරන් සේ සිතා සිටි අය සාමයේ හස්තය දිගු කළ අන්දමත් ඇය හෙළි කළා. අපට චෝදනා කළ අයට ඇය දුන්නේ හොඳම පිළිතුරයි. ඒ නිසා මෙවැනි දෙයකින් හෝ අපිටත් ඒ සඳහා දායක වෙන්න ලැබීම සතුටක්.

මෙම වාර්තාමය චිත්‍රපටයේදී ඇයත් රංගන ශිල්පිනියක් ?

ජයවඩනි අතීතයේදී එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකාවක සිටි අයෙක්. එල්ටීටී්ඊ කඳවුරුවලදී ඔවුන්ට චිත්‍රපට නරඹන්න අවස්ථාව ලබා දුන් බවත් ඒ අතර විරාගය වැනි චිත්‍රපට ආසාවෙන් නැරඹු බවත් ඇය සඳහන් කළා.

දැන් ඇය පුනරුත්ථාපනය වී සිටිනවා. ඒ වගේම සිය සැමියා හා දරුවන් සිව් දෙනොද සමගින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් බොහොම සතුටින් ජීවත් වෙන්නේ. ඒ වගේම ඇය ‘ද ලාස්ට් පේස්’ හි ප්‍රධාන නිළිය යි. ඇය රඟපෑවේ ඇයගේම සත්‍ය ජීවිත කතාවයි. ඇය මුහුණු දුන් සිදුවීම්. රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට එවැනි අත්දැකීම් ලැබෙන්නේ නැහැ. මේ සිදුවීම මේක්අප් දාගෙන වෙනත් කෙනෙතුගේ චරිතයක් රඟ දක්වනවා වගේ නෙවෙයි.ඒ නිසා ජයවඩනී සුවිශේෂ රංගන ශිල්පිණියක් ලෙසින් මම දකිනවා. යුද්ධයේ කුරිරුකම නිසාම ඇයට එක් ඇසක් පවා අහිමි වී තියෙනවා. ඇයගේ ඒ සංව්දි කතාව හැමෝම ඇසිය යුතු එකක්.

මේ අතර ඔබට විරුද්ධව තවත් චෝදනාවක් නැඟි තිබෙන බව දැන් මාධ්‍යයෙන් ලොකු ප්‍රචාරයක් ගෙන යනවා නේද?

ඇත්තටම ඒ ප්‍රශ්නය පුද්ගලික ප්‍රශ්නයක් නොවෙයි. ඒක වාණිජමය ප්‍රශ්නයක්. උපාලිගේ සභාපතීත්වයෙන් යුතු ඩී.පී.ජයසිංහ සාමාගම සහ තවත් සමාගමක් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක් හදන්න ගිවිසුමකට එළැඹියා. එහි සිදුවී ඇති වැරදි හෙළිවීම හේතුවෙන් අපි නිකුත් කළ චෙක් පතක මුදල් නොගෙවන්න තීරණය කළා. එම හේතුවෙන් අනෙක් සමාගම නඩු මඟට පිවිසිලා තියෙනවා.

ඒ වුනත් එහි ඔබ ගැනයි කියවෙන්නේ?

මමත් ඩී.පී.ජයසිංහ ටුවර්ස් ට්‍රාන්ස්පෝට් කම්පැණි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිනවා. ඒ නිසා බොහෝ මාධ්‍ය මගේ නම සමගිනුයි මේ ප්‍රවෘත්තිය ගෙන යන්නේ. අපේ සමාගම මිලියන ගණනින් ගනු දෙනු කරන සමාගමක්. මේ විදියට ලක්ෂ ගණනක මුදලක් නොගෙවා සිටින්න අපට වුවමනා නැහැ. යම් යම් වැරදි නිසා තමයි ඒ මුදල නොගෙවන්න තීරණ වෙලා තියෙන්නේ. ඔවුන්ගේ රාජකාරිය හරියට කරලා නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ.

මෙම නඩුව සම්බන්ධව තරම් ඔබ නිවසක් පරිත්‍යාග කිරීම ගැන බොහෝ දෙනා කතා කරන්නේ නැහැ නේද ?

අපි දෙයක් කරන්නේ ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් නෙවෙයි. එදා ජයවඩනී කියලා තිබුණේ ඇයට නිවසක් නොමැති බව. ඇය අතීතයේදී එල්ටීටීඊ සමාජිකාවක් වුණත් අවසානයේදී ඇය සත්‍ය. වටහා ගෙන ඒ සත්‍ය ලෝකයටම හෙළි කළා. ලොවම එල්ල කළ චෝදනාවලට ඇය උත්තර දුන්නා. ඇය වෙනුවෙන් යමක් කිරීමට එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළුව නිලධාරින් කළ සාකච්ඡාවේදි මගේ මහත්තයා ඒ වගකීම භාර ගත්තා. ඒ දෙය කළේ රට වෙනුවෙන්. ප්‍රසිද්ධිය බලාගෙන නෙවෙයි.