වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




Top Ten

Top Ten

වානරයෙක්ගේ ලෝකය මුල් තැනට

අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට පෙළෙහි මෙවර අංක එක දිනා සිටින්නේ මැට් රීව්ස් අධ්‍යක්ෂණය කළ Dawn of The Planet of The Apes චිත්‍රපටය යි. විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ගැරී ඕල්ඩ්මෑන්, කේරී රසෙල්, ඇන්ඩි සෙරකිස්, ටොබ්ලි කේබ්ල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ඩොලර් මිලියන 170ක පිරිවැයක් දරා නිපද වූ මෙම චිත්‍රපටය පසුගිය ජුලි 11 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ අතර පළමු සති අන්තය වන විට ඩොලර් මිලියන 73ක ආදායමක් උපයා තිබුණි.

අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට ලැයිස්තුවේ සති දෙකක් පුරා ප්‍රථම ස්ථානය හිමිකර ගෙන සිටි Transformers චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටය වන Transformers : Age of Extinction චිත්‍රපටය මෙවර දෙවැනි ස්ථානය හිමි වී තිබේ. මයිකල් බේ විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය සති අන්තයේදී 16.5ක ආදායමක් වාර්තා කළේය. පසුගිය ජූලි 2 වැනිදා අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ Tammy බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ මෙම සතියේ තෙවැනි ස්ථානය හිමිවී ඇත. හාස්‍යමය කතා තේමාවක් රැගත් මෙය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 12.9ක ආදායමක් වාර්තා කළේය. Tammy අධ්‍යක්ෂණය බෙන් ෆැල්කෝන් විසිනි.

පසුගිය සතියේ මෙන්ම මෙම සතියේත් සිව්වැනි ස්ථානය රැක ගැනීමට 22 Jump Streetසමත් විය. පිල්ලෝර්ඩ් සහ ක්‍රිස්ටෝපර් මිලර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 6.7කි. අමෙරිකානු ප්‍රදර්ශනයේ පස්වැනි සතියේ පසුවන පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වූ How to Train Your Dragon 2 චිත්‍රපටයට පස්වැනි ස්ථානය හිමිව තිබේ. පසුගිය සතියේ එය ලද ආදායම වූයේ ඩොලර් මිලියන 5.9කි. ඩේව් ග්‍රීන් අධ්‍යක්ෂණය කළ Earth to Echo  අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ හයවැනි ස්ථානය හිමිකර ගෙන සිටින්නේ සති අන්තයේදී ඩොලර් මිලියන 5.5ක ආදායමක් වාර්තා කරමිනි. පසුගිය සතියේ තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි  Deliver Us from Evil චිත්‍රපටයට හත්වැනි ස්ථානය හිමි වි තිබේ. ස්කොට් ඩෙරික්සන් අධ්‍යක්ෂණය කළ Deliver Us from Evilපසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 4.7ක ආදායමක් උපයා තිබුණි. සුරංගනා කතා පුවතක් ගෙන එන ක්‍රියාදාම චිත්‍රපටයක් වන Maleficent චිත්‍රපටයට හිමි වී තිබෙන්නේ අටවැනි ස්ථානය යි. හාස්‍යමය කතා තේමාවක් ගෙන එන සංගීතමය චිත්‍රපටයක් වන  Begin Again මෙවර දර්ශකයේ නමවැනි ස්ථානය දක්වා පැමිණ ඇති අතර පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 2.9ක ආදායමක් වාර්තා කළේය. දසවැනි ස්ථානය ක්ලින්ට් ඊස්ට්වුඩ් අධ්‍යක්ෂණය කළ  Jersey Boys චිත්‍රපටයට හිමිවී ඇත.