වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ලක්ෂ දොළහක රත් කෙසෙල්

ලක්ෂ දොළහක රත් කෙසෙල්

පහුගිය කාලයේ නිර්මාණය කෙරුණු එක්තරා චිත්‍රපටයක දර්ශනයක් සඳහා රත් කෙසෙල් අවශ්‍ය වෙලා තිබුණා. කතාවේ හැටියට රත් කෙසෙල් ගසකින් ප්‍රධාන නළුවා රත් කෙසෙල් ගෙඩියක් කඩාගෙන කන දර්ශනයක් තමයි ගන්න තිබුණේ. මේ චිත්‍රපටය රූගත කළේ අනුරාධපුරයේ. ඉතින් අනුරාධපුරයේ රත් කෙසෙල් වැවෙන්නේ නැහැනේ. රත් කෙසෙල් ගොඩක්ම තියෙන්නේ ඇඹිලිපිටියේ.

ඔන්න ඉතින් දැන් මේ වෙනුවෙන් ඇඹිලිපිටියෙන් රත් කෙසෙල් ගස් ගේන්න තීරණය වුණා. හැබැයි රත් කෙසෙල් ගස් මේ තරම් දුරක් ගේන එකත් ලෙහෙසි නැහැ. ගස් වලට හානි වෙන්නේ නැතුව ගේන්නත් ඕනි. ඒ වගේම රත් කෙසෙල් ගස් උසත් වැඩියි. ඒ නිසා මේ වෙනුවෙන් වායු සමීකරණය කරන ලද කන්ටේනරයක් තමයි යොදා ගත්තේ.

කෙහොම හරි හයර් එකට ගත්ත මේ කන්ටේනරයෙන් කෙසෙල් ගස් අනුරාධපුරයට ගෙනාවත් දර්ශන තලය තියෙන තැනට කන්ටේනරය ගෙනියන්න බැහැ. ඒක තවත් ප්‍රශ්නයක් වුණා. ඔන්න දැන් නිෂ්පාදන කළමනාකරු ඒකටත් විසඳුමක් හොයා ගත්තා. ට්‍රැක්ටරයකට ටේලර් දෙකක්ම සවි කරලා කෙසෙල් ගස් තොගය දර්ශන තලයට ගෙනාවා.

සෑහෙන පිරිසකුත් එකතු වෙලා ගස් ටික එතැන හිටෙව්වට පස්සේ ඊළඟට තවත් ප්‍රශ්නයක්. කෙසෙල් ගහෙන් ගෙඩියක් කඩාගන්න තරමට ප්‍රධාන නළුවා උස නැහැ. කට්ටියට එකතු වෙලා ගස් කපලා ආයෙමත් හිටෙව්වා. ඔන්න දැන් වැඩේ හරි. දර්ශනයේ හැටියට ඔහු ගහෙනුත් ගෙඩියක් කඩාගෙන කෑවා. ඊට පස්සෙ තවත් රත් කෙසෙල් පිරි පිඟානකුත් මේ දර්ශනයට යොදා ගෙන තිබුණා. ඒ අසීරු කාර්යය අවසානයේ රූගත කිරීම්මෙන් පසුව දැන් අවස්ථාව සංස්කරණ කටයුත්ත ආරම්භ කරන්නයි සූදානම.

සංස්කරණ ශිල්පියාට මේ දර්ශනය තරමක් දිගු බවක් දැණුනා. ටිකක් කල්පනා කළ ඔහු කාල වේලාවට ගැළපෙන පරිදි මේ රත් කෙසෙල් දර්ශනයත් සංස්කරණය කළා. කිසිම ලෝබකමක් නැතුව ප්‍රධාන නළුවා පිඟානෙන් රත් කෙසෙල් ගෙඩියක් අරගෙන කන දර්ශනය විතරක් ඉතිරිව තියෙද්දි අනෙකුත් සියලුම දර්ශන ඔහු කපලා දැම්මා. ඒ වුනාට එදා මේ රත් කෙසෙල් දර්ශනය වෙනුවෙන් විතරක් රුපියල් ලක්ෂ දෙළහක් වැය කරලා අවසන්.

කොහොම වුනත් ලක්ෂ දොළහක රත් කෙසෙල් ගැන නම් ක්ෂේත්‍රය පුරා කතාවක් යනවා.