වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




T o p T e n

T o p T e n

මේල්ෆිෂන්ට් මෙවර මුලට

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි මෙම සතියේ ඉදිරියට පැමිණීමට සමත්වී ඇත්තේ රොබට් ස්ට්‍රෝම්බර්ග් අධ්‍යක්ෂණය කළ Maleficent චිත්‍රපටය යි. ක්‍රියාදාම ජවනිකා රැගත් පවුලේ චිත්‍රපටයක් වන Maleficent අමෙරිකානු ප්‍රදර්ශනය පසුගිය මැයි 30 වැනිදා සිට ආරම්භ කරන ලදී. ඇන්ජලීනා ජොලී, එලී ෆැනින්ග්, ෂාර්ල්ටෝ කොප්ලේ, ලෙස්ලි මැන්විල් රංගනයෙන් දායක වන මෙය පසුගිය සති අන්තය වන විටදී ඩොලර් මිලියන 70ක ආදායමක් උපයා තිබුණි.

 X – Men : Days of Future Past චිත්‍රපටය 32.6ක ආදායමක් ලබමින් බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ දෙවැනි ස්ථානයට පත් විය. හාස්‍යමය කතා තේමාවක් රැගත් ඒ Million Ways to Die in the West චිත්‍රපටය සිටින්නේ තෙවැනි ස්ථානයට යි. පසුගිය සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 17.1කි. සීත් මැක්ෆාලන් අධ්‍යක්ෂණය කළ මෙහි සීත් මැක්ෆාලන් සමගින් චාල්ස් ටෙරෝන්, ලියන් නීසන්, අමන්ඩා සෙෆීල්ඩ් ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබා දෙති. විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Godzilla චිත්‍රපටය මෙම සතියේ සිව්වැනි ස්ථානය හිමිකරගෙන සිටින චිත්‍රපටය යි. එය සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 12.2කි. ෆ‍්‍රෑන්ක් කොරාසි අධ්‍යක්ෂණය කළ හාස්‍යමය චිත්‍රපටයක් වන Blended සති අන්තයේදී ඩොලර් මිලියන 8.4ක ආදායමක් ලබමින් පස්වැනි ස්ථානයට පත් විය.

අමෙරිකානු ප්‍රදර්ශනයේ සිව්වැනි සතිය ගත කරන Neighbors චිත්‍රපටයට හිමි වී ඇත්තේ හයවැනි ස්ථානය යි. හාස්‍යමය කතා පුවතක් ගෙන එන එය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 7.7කි. මාර්ක් වෙබ් අධ්‍යක්ෂණය කළ The Amazing Spider – Man 2 චිත්‍රපටයට හිම වන්නේ හත්වැනි ස්ථානය යි. ඉන්දීය බේස්බෝල් ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ ජීවිත කතා ඇසුරින් නිර්මාණය වූ Million Dollar Arm චිත්‍රපටයට හිමි වන්නේ අටවැනි ස්ථානය යි. ජෝන් ෆෙව්රෝ අධ්‍යක්ෂණය කළ Chef  චිත්‍රපටය නමවැනි ස්ථානයටත් නික් කැසවේට්ස් අධ්‍යක්ෂණය කළ  The Other Woman දසවැනි ස්ථානයටත් පැමිණ සිටියි.