වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගලෙන් ගලට පැන්නා එක පාරට කකුල ලිස්සුවා අතත් කැඩිලා නහයත් කැඩිලා

ගලෙන් ගලට පැන්නා එක පාරට කකුල ලිස්සුවා අතත් කැඩිලා නහයත් කැඩිලා

තුෂාරි වේහැල්ල

තුෂාරි වේහැල්ල කියන්නෙ නව පරපුරේ සිටින සුරූපී රංගන ශිල්පිනියක්. සඳුන් රාජකරුණාගේ ‘රන්තරු’ ටෙලි සිතුවමේ නිශාන්තිගේ චරිතයට පණ පොවමින් වඩාත් ජනපි‍්‍රයත්වයට පත් වුණු ඇය මේ දිනවල නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට එනවා. තුෂාරි ගැන ටිකක් නරක ආරංචියක් අපට වාර්තා වුණා. ඒ තම හිතමිතුරන් කිහිපදෙනකු සමඟ විනෝද චාරිකාවක් ගොස් සිටින අතරතුර දී හදිසි අනතුරකට පත්වෙලා කියන එක. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමේ අරමුණෙන් අපි තුෂාරිට ඇමතුමක් ගත්තා. ඇය ඒ වෙලාවෙත් කතා කළේ තරමක අපහසුවෙන්. ඒත් ඇමතුමට මඟ නොහැර තුෂාරි තමන්ට මුහුණපාන්නට වුණු අකරතැබ්බය ගැන විස්තර කළේ මෙහෙමයි.

මගෙ ජීවිතේ හරිම කාර්යබහුලයි. රංගනය, නිරූපණය සහ වෙනත් කලා කටයුතුවලට රැයක් දවාලක් නැතිව දුවනවා ඉවරයක් නැහැ. මට හිතුණා මේ කාර්යබහුල ජීවිතයෙන් ටිකක් මිදෙන්න. ඒත් සතියක් දෙකක් විවේක ගන්නත් බැහැනේ. ඒක නිසා මගෙ යාළුවො එක්ක ළඟපාත කොහෙහරි ලස්සන තැනකට යමු කියලා යෝජනා කළා. ඒ හින්දා අත්තනගල්ලෙ අලවල ඔයට යන්න අපි තීරණය කළා. එතන හරිම ලස්සනයිලු. එච්චර ප්‍රසිද්ධත් නැති නිසා අලවලට වැඩිය සෙනඟ එන්නෙත් නැතිලු. කැලෑබද ප්‍රදේශයක් නිසා සොබාව සෞන්දර්යයත් හොඳට විඳ ගන්න හිතාගෙන අපි කට්ටිය එහෙට ගියා. ඔය දැක්කා විතරයි යාළුවො සේරම ඔයට බැස්සා. ඒත් මට නාන්න හිතුණෙම නෑ. දැන් යාළුවො ඔයට බැහැලා හොඳට විනෝද වෙනවා.

එකතැන ඉන්න කම්මැලි හින්දා මම ටිකක් ඒ අවට සිරි නරඹන්න හිතාගෙන කැලය ඇතුලට ගියා. මා සිටි තැනට ටිකක් එහායින් කන්දක් තිබුණා. ගලෙන් ගලට පැන පැන මම ඒකෙ උඩටම නැග්ගා. එකපාරටම කකුල ලිස්සුවා. මාව ගල් දෙබොක්කාවට ඇදගෙන වැටුණා. මගෙ කෑගැහිල්ල ඇහිලා එතනට දුවගෙන ආ යාළුවො මාව අරගෙන කෙළින්ම ආවෙ කොළඹ ජාතික රෝහලට. ඔය අතරෙ මට සිහියත් නැතිවුණා. මගෙ දකුණු අත හොලවන්නවත් බැහැ. ඔළුව උස්සලා මම අතදිහා බැලුවා. අතපුරාවටම ප්ලාස්ටර් ඔතලා. මම පොඩ්ඩක් අත උස්සන්න හැදුවා.

‘ඔයාගෙ අත කැඩිලා තියෙන්නෙ හොලවන්න එපා. තවත් අමාරුවෙයි’.

එතන හිටපු නර්ස් කෙනෙක් කිව්වා. මට ගොඩක් දුක හිතුණා. ඒත් එක්කම නහයෙන් ලොකු වේදනාවක් එනවා. මම වම් අතින් නහය ඇල්ලුවා. නාහය එහෙම්පිටින්ම බිඳීලා. මුහුණෙත් තුවාල. මගෙ දුක දෙගුණ තෙගුණ වුණා. වෘත්තිමය රංගන ශිල්පිනියක් වූ මට මුහුණෙහි ලස්සන අත්‍යවශ්‍යයි. නහයට ෆ්ලාස්ටික් සැත්කමක් කළ යුතු යැයි වෛද්‍යවරු කිව්වා. ඒකත් කළා. තවම යොදපු ප්ලාස්ටර් අලවපු ගමන්ම තියෙනවා. ඒ ටික ඉවත් කරලා තත්ත්වෙ බලලා ඊළඟ ප්‍රතිකාරය කරමු කිව්වා ඩොක්ටර්ස්ලා. මම රෝහලෙන් ටිකට් කපාගෙන ගෙදර ආවා. මේ දවස්වල හොඳට රෙස්ට් කරනවා. කෙනෙකුට අනතුරක් වුණාම ඒකෙන් වාසි ගන්න බලාගෙන ඉන්න අය වැඩියි. ඇතැමෙක් මට ආයෙ රඟපාන්න බැහැ කියලා කතාවකුත් හදලලු.

අතපසුවීමකින් ගලෙන් වැටුණට මම මානසිකව නම් වැටෙන්නෙ නැහැ. වට්ටන්නත් බැහැ. මම හැකිතාක් ඉක්මනට රඟපාන්න එනවා එනවාමයි. මට තවකාරණාවක් ගැන දුකයි. ඒ මම බාරගත්ත වැඩවලට යන්න බැරිවෙන එකට. මා හින්දා ඔවුන් අමාරුවේ වැටෙයි කියලා බයයි. හැබැයි මම හැමදාම මෙහෙම ඉන්නෙ නැහැනේ. ඒක හින්දා මේ කෙටි කාලයේදි මා නිසා යම් කෙනෙකුට කරදරයක්, අපහසුතාවකට පත්වෙනවා නම් මම සමාව ඉල්ලන්නවා. ගෙදරට වෙලා හුදෙකලාව ඉන්නකොට මට පුංචි තනිකමකුත් දැණුනා. ආදරවන්තයෙක් හිටියානම් හොඳයි කියලත් හිතුණා. එතකොට ඔහු මේ වගේ වෙලාවකදී මා ළඟටම වෙලා හිඳීවි.

මාව ඉස්පිරිතාලෙට ඇතුළු කළායින් පසු එතන පොඩි කතාබහක් ඇති වුණා. ඒ සිද්ධිය ගැන කතාකරන්න මම ආසා නැහැ. මිනිස්සු හැමෝම එක වගේ නැහැනේ. ඒක නිසා මම ඉසපිරිතාලෙ වුණු සිත්රිදීම ඊට සුළු මොහොතකට පසු අමතක කළා. මට මතක විදිහට අපේ සේනක විජේසිංහ අයියටත් මේ වගේම මුහුණට අනතුරක් වුණා. මම ඔහුව බලන්නත් ගියා. සේනක අයියා ප්ලාස්ටික් සැත්කමකින් පසු තමන්ගෙ මුහුණ යථා තත්ත්වයට පත්කර ගත්තා. ඒ නිසා මගේ බයත් දුරු වුණා. මම විශ්වාස කරනවා මගෙ මූණත් තිබුණා වගේම හදාගන්න පුළුවන් වේවි කියලා. මාව කරදරයට පත්වුණු වෙලාවෙ ඉඳන් මගෙ රසික රසිකාවන් ගොඩක් දෙනෙක් මාව ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථණා කළා. මම ඔවුන්ට නිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ අය වෙනුවෙන් ඉතා ඉක්මනින් මම නැවතත් රඟපාන්න එනවා කියලා කියන්න කැමැතියි.