වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අන්තිමට ට්‍රැක් මාරු වුණා
මුලින්ම දැක්කේ දිල්කාව

අන්තිමට ට්‍රැක් මාරු වුණා

දෙරණ එෆ්. එම්. නිවේදක අමිල රුවන් නන්දසේන

මහනුවර අංකුඹුර ගමේ හිටිය කොලු පැටියකුට පුංචි කාලේ පටන්ම තිබුණේ නිවේදන පිස්සුව. අංකුඹුර පරාක්‍රම මැද විදුහලේ උසස් පෙළ කරපු මේ කොල්ලා හීන දකින්නේ ජ් ර් නාලිකාවක නිවේදකයකු වෙන්න. මේ හීනය සැබෑ කර ගන්න හිතන කොල්ලා පත්තරේ ලුහුඬු දැන්වීමකට අයදුම්පතක් යොමු කරනවා. ඇබෑර්තුව තිබුණේ දුරකතන සම්බන්ධ සාමාන්‍ය දැනමක් ඇති අවුරුදු 18 – 25 කථනයට දක්ෂ තරුණයන් සඳහා අනගි අවස්ථාවක් කියලා. සතියකින් විතර මේ ඇබෑර්තුවට යොමු කළ ලිපියට පිළිතුරක් ලැබෙනවා.

හිතේ මලක් පිපුණා වගේ හීන ගොන්නක් පොදි බැඳගෙන කොලුවා කොළඹ එනවා. ඇබෑර්තුව සඳහා සම්මුඛ පරික්ෂණය තිබුණේ රත්මලානේ පුංචි කාමරයක. ප්‍රචාරක ව්‍යාපාරක ආයතනයක් කියපු මේ වැඩේ දුරකතන සිම් කාඩ් විකිණීමට. මොනවා කරන්නද . . . නිවේදකයකු වෙන්න හිතාගෙන ආපු ගමන අතඇරලා ආපසු යන්න ලැජ්ජා හිතුණ කොල්ලා සතියක් විතර මොරටුවේ ටවුමේ සිම් කාඩ් විකුණනවා. ටික දවසක් මේ වැඩේ කරගෙන යද්දී අමාරුකම තේරෙනවා. ඊටත් ගෙදරට නිවේදකයකු වෙනවා කියලා ඇවිත් ගමේ කවුරු හරි දැක්කොත් හරිම ලැජ්ජාව . . . මෙහෙම හිතන කොල්ලා ආපහු හිස් අතින්ම ගමට යනවා. ඒත් නිවේදකයකු වීමේ හීනය නම් ඔහු අත හැරියේම නැහැ. ගමේ නිවේදන වැඩක් තිබුණොත් ඔහු එතන. නිවේදන කලාව ගැන තිබුණු උනන්දුව නිසාම මේ කොල්ලාගේ හැකියාව රටටම දකින්න හැකි වෙන්නේ 2000 අවුරුද්දේ ‘තුරුණු ශක්ති’ අර්ධ අවසාන තරගයේ අවසාන වටය දක්වා ආපු මේ කොල්ලා තමයි අමිල රුවන් නන්දසේන.

සී රේඩියෝවෙන් නිවේදන කලාවේ කරළියට ආපු අමිල දැන් රටම දන්න ‘දෙරණ’ ජ්ර් නාලිකාව හැඩ කරන නව පරපුරේ නිවේදකයෙක්. ඒ විතරක් නොවෙයි. ඔහු දක්ෂ විරිදු ගීත රචනා ශිල්පියෙක්. එතැනින් නොනවතින අමිල ගීත රචනයට එක් වෙන්නේ ජනප්‍රිය ගායකයන් කිහිප දෙනකුටම ගීත රචනා කර දීමෙන්.

නව පරපුරේ නිවේදකයකු වුණු අමිල සරසවියේ පත්ඉරු අතර සම්මුඛ ;වන්න ලැබුණේ පසුගියදා ලේක්හවුස් ‘අමා දහර’ වේදිකාව හැඩකරද්දී.

* අමිල ඔබ කොහොමද ඇත්තටම නිවේදකයකු වුණේ?

නිවේදකයකු වීමේ ආසාව මට තිබුණේ පුංචි කාලේ පටන්ම. ඒත් අංකුඹුර වගේ ගමක ඉපදුණු මට නිවේදකයකු වෙන්න පුළුවන් වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. නමුත් මට ඒ හැකියාව තියෙන බව අපේ අම්මයි, තාත්තයි දැනගෙන හිටියා. ඒ ආශිර්වාදයෙන් තමයි මේ ගමන ආවේ. මට මතකයි මම මුලින්ම නුවර තිබුණු කථික තරගයකට ගිය අවස්ථාව. අපේ වගේ ගමේ ඉස්කෝලෙකින් මේ වගේ තරගයකට යනවා කිව්වාම විදුහල්පතිතුමා පවා දැක්කේ මේක අමාරු වැඩක් විදිහට. ධර්මරාජ, කිංස්වුඩ් වගේ පාසල්වල ඉන්නේ අති දක්ෂයෝ. ඒ අයත් එක්ක තරග කරලා දිනන එක ඒ තරම් ලෙහෙසි පහසු නැහැ කියලා තමයි මාව තරගයකට යැව්වේ. ඇත්තටම ‘මීඩියා ක්ලබ්’ එකක් තියා ජ්ර් මයික් එකක්වත් නැති අපේ වගේ ගමේ ඉස්කෝලෙකට ඒක විශාල අභියෝගයක්. නමුත් මේ කඩඉම පනින්න ඕනේ කියලා මගේ හිතේ තිබුණු අධිෂ්ඨානය මම අත්හැරියේම නැහැ.

මට මතකයි මුලින්ම දෙරණ නාලිකාවේ සේවක රැස්වීමක් තිබුණා. සභාපතිතුමා මගෙන් ඇහැව්වා අමිල මොකක්ද ඉස්කෝලේ කියලා. එක පාරටම මම කිව්වා ‘සර් මගේ ඉස්කෝලේ සිතියමේවත් නැතුව ඇති’ කියපුවහම හැමෝම හිනා වුණා. ඒත් ඒ දේ මම කිව්වේ ආඩම්බරයෙන්.

සිම් කාඩ් විකුණපු කතාව වගේම සිද්ධියක් මට වුණා. දවසක් මගේ හිතවත් අයියා කෙනෙක් කතා කළා චැනල් එකක වැඩට එන්න. මම කොළඹ ආවා. මට එන්න කිව්වේ ඉබ්බන්වල හංදියේ තියෙන චැනල් එකකට එතනට ඇවිත් කීප දෙනෙක්ගෙන්ම ඇහැව්වා ඒ කියපු චැනල් එකේ ඔෆිස් එක තියෙන තැන. ඒක තිබුණේ කොල්ලුපිටියේ. මම ආයෙමත් රැවටුණා කියලා හිතලා වැඩේට කතා කරපු අයියාට කොල් කළා. ආ . . . මල්ලි මම කියපු වැඩේ තමයි. එතන තියෙන්නේ පිටිකිරි ආයතනයක්. ඒක මම කියපු චැනල් එකේ පොඩි ප්‍රචාරක වැඩක් කියලා. මොනවා කරන්නද වැඩේට ගියා. තිබුණේ රට වටේ යන ‘රෝඩ් ෂෝ’ එකක්. අන්තිමට මාස කිහිපයක් ඒ වැඩේ කළා. ඔය වගේ ගමනක් ඇවිත් තමයි මම දෙරණ නාලිකාවේ නිවේදකයකු වුණේ. කට්ටක් කාලා ආපු ගමනක් නිසා සතුටක් දැනෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ දුර යන්න තියෙනවා කියලා දැන් තේරෙනවා.

* ඔබ ඒ කියන්නේ නිවේදන කලාවෙන් වෙනත් මාවතකට පිවිසෙනවා කියලාද?

නැහැ . . . නැහැ . . . මම මාධ්‍ය ක්ෂේත්‍රයේ මුලින්ම පුහුණුවක් ලැබුවේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ. ඒ ලැබූ දැනුම හා එහිදී හඳුනා ගත් පිරිස හරහා මම ලොකු දෙයක් ලබා ගත්තා. මාධ්‍ය කියන්නේ නිවේදනය පමණක් නෙවෙයි තව දේ තියෙන බව ඉගෙන ගත්තේ එතැනින්.

මම පුංචි කාලේ පටන්ම නිවේදනයට වගේම ගීතවලටත් ආසයි. ඒ හැකියාවටත් මට ඉඩ අවකාශ උදා වුණේ දෙරණ නාලිකාවෙන්. ‘අබුද්දස්ස කාලේ විරුදු සුරල්’ ඒ වැඩසටහන පසුගිය කාලේ වඩාත් ජනප්‍රිය වුණා. අභිරහස් කතා විරුදුවෙන් ඉදිරිපත් කරපු ඒ වැඩසටහන ශ්‍රාවකයන්ගෙන් විශාල ප්‍රතිචාර තිබුණා. ඒ වගේම වැඩසටහනක් තමයි ‘මම කැමැතියි නෑණට නෑණ කැමැති නැහැ මට’ කියන විරුදු වැඩසටහනින් දෙවැනි කොටස ‘මම කැමැතියි නෑණට නෑණ කැමැති දෙරණට’ කාලීන විරුදු වැඩසටහන.

ඒ වගේම මගේ පුංචි ආසාවක් තිබුණා අජිත් මුතුකුමාරණගේ ගායකයකු කරන්න. ඒ දේ කරන්නටත් මට ඉඩ අවකාශ ලැබුණා. මාස කිහිපයකින් ඒ ගීතය අහන්නත් අවකාශය ලැබෙයි. කසුන් කල්හාරගේ ගීතයකුත් තියෙනවා. දමිත් අසංක, මාරියෝ ආනන්ද, දුෂ්ෂන්ත වීරමන්ටත් ගීත ලියලා තියෙනවා.

* ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියාට පසු ලැබුණේ මොන වගේ අත්දකීම්ද?

ඇත්තටම සමහරක් දේ මිහිරියි. ඇතැම් දේ කටුකයි. තවත් සමහරක් ජීවිතයට අමතක නොවෙන අත්දැකීම්. මම දවසක් අනරාධපුරේ වැඩසටහනකට ගියා. මට සංවිධායක මණ්ඩලය කිව්වා එන්නේ දුමින්ද දිසානායක ඇමැතිතුමා බව. මම හොඳට ලැහැස්ති වෙලා ඉඳලා ආපු ගමන් කියවුණේ දුමින්ද සිල්වා මැතිතුමා දැන් මෙම අවස්ථාවට සහභාගි වෙනවා කියලා. මට වැරැදුණු බව තේරුණු ගමන්ම කතාව ටිකක් බර කළා. පිළිගැනීම ටිකක් දිග්ගස්සලා වැරැද්ද නිවැරැදි කර ගත්තා. ඒ වගේම තමයි මුලින්ම ප්‍රවෘත්ති කියපු දවස. එදා මුලින්ම දැක්කේ දිල්කා සමන්මලීව. වැඩේ හොඳටම කරන්න හිතාගෙන මම වැඩේට බැස්සා. නමුත් අන්තිමට තිබුණා ට්‍රැක් එක මාරු කරලා ගැහැව්වා. ඔක්කොම ඉවරයි. නමුත් මුල්ම වැඩසටහන නිසා සමාව ලැබුණා.

* අමිල ඔබට නාලිකාවෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

ඇත්තටම දෙරණ මාධ්‍ය ජාලයම පුදුම සහයෝගයක් තිබෙන්නේ. අපේ සභාපතිතුමා, එතුමා හරිම නිහතමානී චරිතයක්. ඔහු හැම මොහොතකම දක්ෂායාට අවස්ථාව ලබා දෙනවා. මාව දෙරණ නාලිකාවේ විරුදු ලියන්න යොමු කළේ ලහිරු ජයවර්ධන, චරිත් හසන්ත විශේෂයෙන් මතක් කළ යුතුයි. ඒ වගේම වැඩසටහන් කළමනාකර මංගල බණ්ඩාර, නිෂ්පාදන කළමනාකාර තරින්ද ජයවර්ධන, දිල්රුක්ෂි සෙනෙවිරත්න වගේම රුවන් රංගන, මගේ සමකාලීන මිතුරු ගයාන් සංදීප ඇතුළු සියලු දෙනා විශාල මඟ පෙන්වීමක් මට දෙනවා.