වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




වේදිකාවේ සරම කැඩුණු සහය අධ්‍යක්ෂ

වේදිකාවේ සරම කැඩුණු සහය අධ්‍යක්ෂ

වේගයෙන් ආපු බෝලේ කෙළින්ම වැඳුනේ විකට් එකේ.අවුට් වෙලා මම කෙළින්ම ගියේ ග්‍රවුන්ඩ් එකෙන් එළියට . එතකොටම ඈතින් ආපු සිරිල් මහත්තය මට කතා කළා.

ක්‍රිකට් සෙල්ලම් කරල කාලේ නාස්ති කරන එකේ ,මගෙ නාට්‍යය බලන්න එන්න කියල ආරාධනාවකුත් කළා .

ඒ ආරාධනාව මාව මෙච්චර දුරක් ගෙන එයි කියල කවදාවත් හිතුවෙ නැහැ .

කොහොමෙන් කොහොම හරි දෛවය අනුව වැඩේ සිද්ධ වුණා .

අද මං රංඟන ශිල්පියෙක් වගේම සහාය අධ්‍යක්ෂවරයෙක් .

අතීතාවර්ජනයත් සමඟ Behind The Scene තුළින් මෙවර එක්වන්නේ අත්දැකීමෙන් පරිපූර්ණ සහාය අධ්‍යක්ෂවරයෙක් වන රොෂාන් ජයසුන්දරයි.

* ඉතින් ඊට පස්සෙ මොකද වුණේ ?

සිරිල් ගජවීර මහත්තය කියන්නේ අපේ පවුලේ හැමෝම සමඟ ඇසුරු කරන හොද අසල් වැසියෙක් . මහත්තයගෙ පෙරැත්තය නිසාම එතුමාගෙ නාට්‍යය බලන්න මම ගියා . මේ නාට්‍යයෙ නම අපේ දරුවො හොඳයි . මේක එදා පෙන්නුවෙ පුවක් අරම මෙතෝදිස්ත උසස් පාසලේ . නාට්‍ය ආරම්භ කරන්න වෙලාව ලංවෙනකම් මම හොල් එකෙන් එළියට වෙලාහිටියා . සිරිල් මහත්තය හරි කලබලෙන් මගේ ලඟට ඇවිත් කිව්ව කතාවෙන් මගේ ඇඟ පණ නැතිව ගියා වගේ වුණා . දහම් පාසලේ නාට්‍යයවල රඟපාල තිබුණා . ඒත් කිසිම පුහුණුවක් නැතිව නාට්‍යයක රඟපාන්න පුලුවන්ද කියල මේ මහත්තයට තේරෙන්නේ නැද්ද කියල අහන්න තරන් හිතුනත් මම එහෙම ඇහැව්වෙ නැත්තේ අමාරුවෙ වැටිල ඉන්න වෙලාවෙ මගෙන් ඉල්ලුවෙත් උදව්වක් නිසයි .

සිරිල් මහත්තය මොකද්ද දන්නවද මට කිව්වේ ? මේ නාට්‍යයෙ ප්‍රධාන චරිතය කරන ළමයට එන්න විදිහක් නැති නිසා , මට ඒ චරිතය කරන්නලු . මම ඇදගෙන හිටිය පාට ඇදුම ළමයෙකුට දීල එයාගෙ සුදු ඇදුම ඇදගෙන රඟපෑව . සිරිල් මහත්තයගෙ බලකිරීම නිසාම නාට්‍ය බලන්න ආපු මම ඓදා ගෙදර ගියෙ බලන්න ආපු නාට්‍යයෙ රඟපාලයි . ඊට පස්සෙ පාසල් දර්ශන 200 ක විතර මම ඒ චරිතය කළා . මේ සිදුවීමෙන් තමයි මම කලාව පැත්තට යොමු වුණේ . මෙතුමාගෙම වේදිකා නාට්‍ය කිහිපයකත් , ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය 25 ක පමණකත් රඟපෑවා . මේ අහඹු සිදුවීම වුණේ 2001 වර්ෂයේදී . එදා සිට අද දක්වා මම කලා ක්ෂේත්‍රයේ නියැලී සිටිනවා .

* අහඹු සිදුවීමකින් රංගනයට පිවිසෙන රොෂාන් , ටෙලිනාට්‍ය හා චිත්‍රපට සඳහාත් අද දායක වී සිටිනවා . හැබැයි ඒ රඟපෑමෙන් පමණක් ම නොවෙයි නේද ?

ඒක හරි. රංගන ශිල්පියෙක් වගේම සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කරනවා . රඟපෑමෙන් දායක වූ පළමු ටෙලිය වුණේ බර්මින්ලයිලි මහත්මයා අධ්‍යක්ෂනය කළ ස්වරූපා ටෙලියයි . මේ ගෙවුණු වසර 13 ක කාලය තුළ ටෙලිනාට්‍ය 22 ක වැඩ කළා . එයින් 20 කම රංගනයෙන් හා සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණා . පළමුවෙන් සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේ මොහාන් නියාස් මහතා අධ්‍යක්ෂනය කළ සිහිනයක් පාට පාටින් ටෙලියෙයි . චිත්‍රපට ගත්තොත් හයකට දායක වී තිබෙනවා . සහාය අධ්‍යක්ෂනය ඇරැඹෙන්නේ අපි මැරෙන්නෑ චිත්‍රපටයෙන් .අනෙක් චිත්‍රපට වන්නේ එක මලක පෙති , වන්ෂොට් 1 , සක්විති දඩයම , මායාවි , යළිත් ඔබ එන්න .

* අධ්‍යක්ෂකවරු කීදෙනෙක් යටතේ වැඩ කර තිබෙනවා ද ? වැඩියෙන්ම වැඩකර ඇති අධ්‍යක්ෂවරයා කවුරුන් ද ?

මේ කාල සීමාව තුළ අට දෙනෙක් යටතේ වැඩ කළා . වැඩියෙන් වැඩ කළේ මොහාන් නියාස් මහත්මයත් සමඟයි .

* රොෂාන් , ඔබ ක්ෂේත්‍රයේ වඩා ප්‍රසිද්ධියක් උසුලන්නේ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස නේද ?

ඔව්

* ඒ නිසා අපි ඒ පිළිබඳව කතා කරමු.ඉතින් අපට පැහැදිලි කරන්න සහාය අධ්‍යක්ෂවරයෙක් ගේ භූමිකාව කුමක්ද කියා ?

යම් නිර්මාණයක් කිරීමේදී අධ්‍යක්ෂවරයා එහි නිර්මාණාත්මක පැත්තට පමණයි හිත යොමුකරන්නේ . ඒ නිසා මේ නිර්මාණය සාර්ථක කරගැනීමට අවශ්‍ය අනෙක් සියලුම කටයුතු පිළිබඳ සොයාබලා සැලසුම් කිරීමේ වගකීම මා සතුයි .

* මොන අධ්‍යක්ෂවරයා යටතේද වැඩ කරන්න වඩාත් කැමති ?

මොහාන් නියාස් මහතා සමඟ .

* මේ වගකීම එපා වු අවස්ථා එහෙම නැද්ද ?

ඇත්තටම නැහැ. බොහොමයක් දෙනා කරගෙන ගිහින් අතර මඟ දාල ගිය නිර්මාණ කිහිපයක් සතුටින් බාර ගෙන සාර්ථකව කරදී තිබෙනවා . වැඩ කරන්න අමාරුයි කියන රංඟන ශිල්පීන් එක්ක වැඩ කරල තියෙනවා . මේ ක්ෂේත්‍රයෙ කවුරුත් අද වෙනකන් මාත්එක්ක තරහා වෙලා නැහැ . මේ රැකියාව තෘප්තිමත්ව , අවංකව කළේ නැත්නම් මේ තාක් දුර එන්නට අමාරුයි .

* අමතක නොවන සිදුවීම් කිහිපයක් මතක් කරමු ?

සිරිල් ගජවීර මහත්තයගෙ වේදිකා නාට්‍යය බලන්න ගිහින් ඒ නාට්‍යයේ රඟපාන්නත් සිදුවුණු එක කවදාවත් අමතක වෙන්නෙ නැහැ . සුනාමි වේදිකා නාට්‍යයයේ සංවේදී අවස්ථාවක් තියෙනවා , ගමටම උදව් කළ කෙනා මැරෙනවා . ඒ මෘත ශරීරය කරගහගෙන යන්න මමත් උදව් වෙනවා ,මගෙ පසුපසින් එන කෙනාගෙ කකුලට මගෙ සරම පෑගිල සරම කැඩිල බිමට වැටුනා . දුක් මුසුව බලාසිටි ප්‍රේක්ෂකයො හිනාවෙන්න ගත්තා , අධ්‍යක්ෂවරයාට තරහා ගිහින් සරම පාගපු කෙනාට හොඳටම දොස් කිව්වා .

* අනාගත බලාපොරොත්තුව ?

හොඳ අධ්‍යක්ෂවරයෙක් වෙන්න .

* මේ ක්ෂේත්‍රයට එන්නට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට උදව් කරන්නට ඔබ සූදානම්ද ?

දැනට දොළොස් දෙනෙකු පුහුණු කරල තියෙනවා . ඒ අය දැනටත් සහාය අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනවා . මේ ක්ෂේත්‍රයට එන්නට කැමතිනම් මගෙ දුරකථන අංක 0777986153 ට කතා කරන්න .

* ඔබේ පවුල් පසුබිම ගැන කියමු ?

තවම අවිවාහකයි .අම්මා , තාත්තා , මම පවුලෙ වැඩිමලා ,මට නංගියි ,මල්ලියි ඉන්නවා .

* ඉදිරි වැඩ කටයුතු මොනවාද ?

සුමිත් ගල්හේන මහතාගෙ චිත්‍රපටයක් , මොහාන් නියාස් මහතාගේ, ටෙලි දෙකක් ,ප්‍රියා රණසිංහ මහත්මියගේ ටෙලියක් හා හම්ෆී විජේසූරිය මහතාගේ ටෙලියක් ඉදිරියේදී කරන්න බාරගෙන තිබෙනවා .

* රොෂාන් අපේ කතා බහ අවසන් කරන්නට මත්තෙන් ඔබට මේ ගමන එන්නට අතදුන් අයත් සිහිකළොත් හොදයි නේද ?

සිරිල් ගජවීර , දර්ශන පිගේරා , කීර්ති රත්නායක ,රූපා ගෝමස් , ජයතිලක හේරත් ,උපාලි කීර්ති සේන , මොහාන් නියාස් , බර්මින් ලයිලි ප්‍රනාන්දු යන මහත්වරුන් හා මගේ පවුලේ සැමට ස්තූති කරන්නට මෙය අවස්තාවක් කර ගන්නවා .