වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රාගේ සොඳුරු බිමට

චිත්‍රාගේ සොඳුරු බිමට

වැහි අඳුර පිසලමින් තරු එළිය වැටුණු හැටි සිහින් සිරිපොද මල් වැස්ස අනෝරාවක් බවට පත් වෙමින් තිබිණි. චමත්කාරජනක හැන්දෑව කළුවලාවකින් ගිල ගත්තේ අප බලා සිටියදීමය.

මගේ ජීවිතෙත් දැන් මේ අහස වගේ අන්ධකාරයෙන් පිරිලා.

ඇගේ වික්ෂෝප වචන ගිගුම් හඬ පරයමින් වාතලයට මුසු විය.

එහෙම කියන්න එපා. දැන් ඉතින් අසනීපෙත් හොඳ වෙච්ච එකේ ආයෙත් රඟපාන්න පටන් ගමු.

අපි ඇයව සැනසුවෙමු.

කෝ පුතේ අර එනවයි කියපු කට්ටිය. තවම පහළද? වැස්සට අහුවෙලා ද දන්නේ නැහැ.

මං හිතන්නේ තව කවුරු හරි එනකම් ඉන්නේ. එතකම් අක්කා මෙහෙන් වාඩි වෙමුකො.

අසුනෙහි ඈඳි ගත්ත ද ඇගේ දෙනෙත් ඇත්තේ දොරකඩය. එදෙස බලාගෙනම චිත්‍රා වාකිෂ්ඨ නම් වූ මේ රංගවේදිණිය තම අතීතයෙන් බිඳක් මෙනෙහි කිරීමට උත්සාහ කළේය.

මං චිත්‍රපට සියයකටත් වඩා රඟපාලා තියෙනවා. ටෙලි නාට්‍යයත් එහෙමයි. ළඟක් වෙනකම්ම කෝපි කඩේ රඟපෑවා. අනේ මට අඩුම ගානේ කෝපි කඩේ රඟපාන්න තියෙනවා නම් මට ඒ ඇති.

අන්න අරගොල්ලෝ එනවා ආච්චියේ.

චිත්‍රාගේ වැඩිමහල් මිනිපිරිය ගෙට දුව ආවාය.

ආ . . . මේ ඉන්නේ අපේ චිත්‍රා අක්කා කොහොමද ඉතින්?

මුව පුරා සිනහ පුරවාගෙන චිත්‍රාගේ නිවසට පළමුව ඇතුළු වූයේ අප නිළි රැජන මාලිනී ෆොන්සේකායි.

ඔන්න අක්කේ අපි වැස්සත් අරගෙනම ආව..

ඊළඟට රවීන්ද්‍ර රන්දෙණිය, සබීතා පෙරේරා, නදීකා ගුණසේකර,සංගීතා වීරරත්න, ෂෙරීන් කුමාරතුංග ක්‍රමයෙන් ගෙදරට පිවිසුණේ චිත්‍රව පුදුමයට පත් කරවමිනි.

මේ හැමෝම ආවේ මාව බලන්නද. මට සතුට වාවන්න බැහැ ළමයෝ.

චිත්‍රාගේ නෙතඟින් කඳුළැලි වැගිරෙයි.

හා හා අඬන්න එපා. ඔයාව අඬවන්න නෙවෙයි අපි ආවේ.

මාලිනී ඇගේ දෑසෙන් වැටෙන කඳුළු පිසදාලන්නට උත්සාහ කෙරුවාය.

අපි දෙන්නා කොච්චර නම් අම්මටයි දුවටයි රඟපාලා තියෙනවාද චිත්‍රා අක්කේ.

මාලිනී හැඟුම්බරව චිත්‍රා දෙස බලා සිටියේ අප්‍රමාණ සෙනෙහසකිනි.

ඔයාගේ විතරක් නෙවෙයි චිත්‍රා අක්කා මගේත් අම්මා හැටියට රඟපාලා තියෙනවා.

රවී නෝක්කාඩුවෙන් මෙන් පැවසීය.

හරි හරි දැන් ඔය දෙන්නා චිත්‍රා අක්කව බෙදා ගන්න බැරුව රණ්ඩු කරන්න එපා. චිත්‍රා අක්කා අපිව එලවලා දාවි.

නදීකා, මාලිනී සහ රවීගේ විහිළුවලට විහිළුවකින්ම පිළිතුරු බැන්දාය.

ඉතින් චිත්‍රා අක්කේ ඔයාට දැන් කොහොමද?

මෙතෙක් වෙලා නිහඬව සිටි සබීතා හඬ අවදි කළාය.

ගොඩක් හොඳයි. දැන් පපුව ඔපරේෂන් කරපු තැන්වල තුවාල තමයි තියෙන්නේ. ඒවා වේලෙන්නේ නැහැ. මට දැන් වයස හැත්තෑ අටක්නෙ. වයසත් එක්ක වෙන්න ඇති.

චිත්‍රා අක්කට හොඳට හඬ කවන්න පුළුවන්නෙ?

මොකෝ බැරි. ඒත් රඟපාන්න තමයි ආස.

අපි ඉතින් චිත්‍රා අක්කගේ කොණ්ඩෙ ටිකක් කළු කරලා රඟපාන්න යවමු.

මාලිනීගේ කතාව එතැන සිටි හැමෝම අනුමත කෙරුවාය.

ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයෝ?

ඒ මොකක්ද?

මට දැන් බස්වල යන්න අමාරුයි. කාගෙන් හරි ත්‍රීවිල් එකක් ලැබුණොත් පින්. මගේ පොඩි පුතාට ත්‍රිවිල් එලවන්න පුළුවන්.

පේ රටේ පිනට දහමට ළැදි මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ඒ අයගෙන් එක් කෙනෙක්වත් චිත්‍රා අක්කා වෙනුවෙන් ත්‍රීවිල් එකක් අරන් දෙනවා නම් ඒක ලොකු පිනක් වේවි.

මට සිතුණේ ඉබේටමය.

චිත්‍රා අක්කගේ ඉල්ලීමට මං ඉක්මනින් සහනයක් ලබා දෙන්නම්.

මාලිනීගේ වදනින් චිත්‍රා සැනසුම් සුසුමක් හෙළීය.

ඊළඟට උදා වූයේ තවත් සොඳුරු මොහොතකි. චිත්‍රා වෙනුවෙන් මූල්‍යමය වශයෙන් ත්‍යාග පෞද්ගලිකව සියලු දෙනාම ගෙනත් තිබිණ. එය චිත්‍රාට ලබා දෙද්දී ඇය ලැබූ සොම්නසේ තරම වචනයෙන් විස්තර කරන්නට බැරිය. මාලිනී, රවී, සංගීතා, නදීකා, සබීතා සහ ෂෙරීන් මේ පැමිණි ගමන එක්තරා අයුරකින් තම මවගේ දුක සැප බලන්නට පැමිණි ගමනක් වැනිය. චිත්‍රා අද ලැබූ සතුට ඇයව තව තවත් නිරෝගී කරන්නට සමත් වන්නට ඇතැයි නිසැකය.

චිත්‍රා අක්කේ ජීවිතේ අඳුර ටිකක් හරි අඩු වුණා නේද?

ඔව් දරුවෝ. මට හිතෙනවා ආයේ මට නැගිටින්න පුළුවන් කියලා. මං වෙනුවෙන් අපේ සහෝදර කලාකරුවන්ගෙන් අතලොස්සක් හරි ඉන්නවා. ඒක අද මට දැනුණා.

පිරිස පිටත්ව ගිය පසු ඔවුන්ගේ කළ ගුණ සැලකීම පිළිබඳ චිත්‍රා වාකිෂ්ඨ සෑහෙන වෙලාවක් පවසමින් සිටියේය.

මාලිනී, රවී, නදීකා, සබීතා, සංගීතා, ෂෙරීන්.

ඔබලා කළ මේ උතුම් කාර්ය ගැන සරසවිය අප අගයන්නේ ඉතාම ඉහළින් බව නොකියාම බැරිය.