වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අනූෂාගේ ගෙදර ලිප්ස්ටික් මොන්ටිසෝරියේ ළමයින් ගා ගෙන

අනූෂාගේ ගෙදර ලිප්ස්ටික් මොන්ටිසෝරියේ ළමයින් ගා ගෙන

‘දුවා, දුවා අනූෂා, දුවා කොහෙද ඔයා, අනේ ඔයාල අනූෂව එහෙම දැක්කද? . . . ඔය විදියට අපේ අම්මා මුළු ඩුබායි එයාර් පෝර්ට් එකම දෙවනත් වෙන්න කෑ ගහනවා.

අම්ම හිටියේ එහා ටිකට් පෝලිමේ. මම හිටියේ ඊට මෙහායින් තිබිච්ච පෝලිමේ. ඉතින් මම හිටිය තැනින් චුට්ටකට එහාට වුණේ මිනිත්තුවකට, වොෂ් රූම් එකට යන්න. ඒ ටිකට තමයි මාව දැක්කෙ නැති කොට අම්ම මේ මාව හොයන්නේ.

මේ ලතෝනිය මම හිටිය වොෂ් රූම් එකටත් ඇහුණා. මට වෙච්ච වැඩේ තේරුණා. ඒත් මට එක පාරටම එළියට එන්නත් ලැජ්ජයි. ඇයි දැන් මුළු එයාර් පෝර්ට් එකම හොයන්නේ අනූෂා දමයන්තිවනෙ. වෙන කරන්නත් දෙයක් නැති තැන මම එළියට ඇවිදින් හීනියට ‘මාව හෙව්වද අම්ම, මේ මම ඉන්නෙ’ කියල කිව්වම තමයි අම්මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.

එදා ඒ චාරිකාවට නදීක කරුණානායක, සුරේෂ් ගමගේ එහෙම තව පිටින් හතර දෙනෙකුත් ගිහින් හිටියා. ඒ අතරින් අපේ අම්මා එදා එයාගේ සෙරෙප්පු දෙකත් ගලවල අතට අරගෙන හැම තැනින්ම මාව දැක්කද කියල අහ අහ එයාර් පෝර්ට් එක පුරා දිව්ව විදිය ඇක්ට් කරලම පෙන්නන්නේ නම් නදීක තමයි.

අම්මට මාව මුණ ගැහුණට පස්සෙත් ආයෙමත් ටිකට් කවුන්ටරේට යනවට වඩා ලොකු වැඩක් තිබුණා. ඇයි එයා මාව හොයා දෙන්න කියල තිබිච්ච එයාර් පෝර්ට් එකේ දහ දොළොස් දෙනෙකු ළඟට මාව එක් කරගෙන ගිහින් කිව්වේ මේ ඉන්නේ මගේ දුව, එයාව හම්බ වුණා, දැන් හරි, අනේ සොරි කියලයි.

මෑත කාලෙදි රංගනයට ආවටත් පස්සෙදි ඔහොම වුණාට අම්මලට මම හින්ද අකරතැබ්බවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මම වැටි වැටි නැගිටින පුංචිම කාලෙ ඉඳන්මයි.

ඔන්න ඉතින් අම්මට, තාත්තට ගෙදරදි පිට අයට බොරුවක් එහෙම කරන්න බෑලු. ඒ බොරුවට කියපු එකේ ඇත්තම ඇත්ත අම්මල කියන බොරුව අහගෙන ඉන්න මම කියනවලු. ඉතින් සමහර වෙලාවට පිට මිනිස්සු ඉස්සරහදි අම්මලගෙ පටි රෝල්ලු.

කවුරු හරි ගෙදරට ආවම මම දුවගෙන ගිහින් අම්මට කිව්ව රහසක් තියෙනවලු. ඒ මට නටල පෙන්වන්න කියල ඒ අයටම ඇවිදින් මට කියන්නයි කියලලු. ඒත් ඉතින් ඒ අමුත්තෝ ඇවිදින් අපිට නටල පෙන්වන්නකෝ කිව්වම නම් මං බොරුවට අදි මදි කරනවලු. එත් ඒ බොරුවටලු. ටිකකින් ලස්සනට ඇඳගෙන ඇවිදින් නටනවලු.

මම මොන්ටිසෝරි යන කාලෙදිම කළ දඩබ්බරකමකට ටීචර් අම්මව මොන්ටිසෝරියට ගෙන්නලා අවවාද කළේ පුංචි ළමයින්ට අහු නොවෙන තැන්වල කියුටෙක්ස් ලිප්ටික් එහෙම තියන්න මතක කියා ගන්න කියලලු. එදා මොන්ටිසෝරියට ගොඩ වදිද්දිම අපේ අම්මටත් හොඳටෝම හිනා. ඇයි මං ගෙදරින් ගෙනිච්ච අම්මගෙයි, අම්මගෙ අක්කල නංගිල හත් දෙනාගෙයි මේක්අප් බඩු ටික මුළු මොන්ටිසෝරියෙම ළමයි ඇඟ පුරාම ගාගෙන හිටිය විදිය දැකල. සමහර ළමයි මම ලස්සනට ඇඟිලිවල ගෑව ඒව මූණෙ කටෙත් ගාගෙන. ඒව සමහරුන්ගේ ඇඳුම්වලත් ගෑවිලා.

අපේ අම්මට හොඳම ළමා නිළියට සම්මානයක් ලැබිල තිබුණෙ එයාට වයස හතේදී. එදා ඇන්ද ඇඳුම අම්ම පරෙස්සම් කරලා තියොගෙන. රජ ඇඳුමක් වගේ ඒකම මට අන්දල ෆොටෝ ගැහුවෙත් මොන්ටිසෝරි කාලෙදි ඔය වයසෙදිමයි. මා ළඟත් තාමත් ඒ ඇඳුම පරෙස්සමට තියෙනවා.

මාව ඉස්කෝලෙ දැම්මම මම ආසම හවසට හැව්ලොක් පාර්ක් එකට වෙලා ළමයි එක්ක සෙල්ලම් කරන්න. මේ කියන්නේ එක ස්පොර්ට් මීට් කාලෙක සිද්ධියක්. එදා මම නියම වෙලාවට ස්කූල් වෑන් එක පාර්ක් කරන තැනට නොගිහින් සෙල්ලං කර කරම හිටියා. මම නැති විත්තිය දැකල වෑන් එකත් හරවං ගිහින්. ගෙදරට කියලා තියෙන්නේ දූ හිටියේ නෑ කියලා. ඔය කාලේ ගෝනි බිල්ලන්ගේ බයත් හොඳටෝම තිබිච්ච නිසා ගෙදරින් මාව කොළඹින් අස් කරල දැම්මෙ හෝමාගම ගමේ ඉස්කෝලෙකට.

මට හොඳට මතකයි. මම ගමේ අලුත් ඉස්කෝලෙට ඉස් ඉස්සෙල්ලම ගිය දවස. එදා මාව පිළිගන්න ගේට්ටුව ළඟට ඇවිත් හිටියේ තවත් අනූෂා කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, එච්චර සුහදව පිළිගෙන පන්ති කාමරේට මම ගිය ගමන් දඩබ්බර කොල්ලෙක් කළේ මහ නොසන්ඩාල වැඩක්. එයා හැංගිලා ඉඳගෙන මට දමල ගැහැව්වේ හුණු කොට්ටෙන්. ඒ කොට්ට පාරට මාව හුණුවලින් නෑවිලා මගේ ඇස් දෙකත් රතු වුණා.

ලොකු පන්තිවලට එද්දි පිරිමි ළමයි එක්කල මගේ තිබිච්ච කතා බහත් අඩු වුණා. ඒත් අම්මා මාව ඉස්කෝලෙට යැව්වේ අපේ ගෙවල් පැත්තේ හිටිය අක්කල කට්ටියක් එක්කල. බස් එකට ගොඩ වෙන්නත් අපි ටික දුරක් පයින් එනවා. සමහරදාට බස් එකේ එන්න ගෙදරින් දුන්න සල්ලි එකතු කරන් අයිස් පැකට් එහෙම කනවා.

එදත් එහෙම දවසක්. අක්කලා කට්ටියගෙත් සල්ලි එකතු කරන් අයිස් පැකට් ගේන්න කඩයට ගියේ මම. ගිහින් කැෂියර් එක ළඟට වෙලා බලන් හිටියේ මගෙ වාරෙ එනකල්. ඒත් මට ඉස්සරහ හිටිය කොල්ල මට බඩු ගන්න කවුන්ටරේ ළඟින් අයින් වෙන්නෙම නැතුව දුමකුත් දාගෙන ඔහේ ඉන්නවා. කවුන්ටරේ උඩින් තියල තිබිච්ච එයාගෙ සල්ලිත් ඔහේ තියෙනවා. ඒ අයිය ඒව ගන්නෙත් නෑ.

මම අතමිට මොලවගෙන හිටිය කාසි ගොඩ අර කවුන්ටරේ උඩ තිබිච්ච කොල්ලගෙ ඉතුරු සල්ලි උඩින්ම දැම්මා. දාල ‘මේ සල්ලි ඔක්කොගෙම බීම පැකට් දෙන්න’ කියලා මුදලාලිට කිව්වා. එතකොට නම් වීදුරු වගේ ඔහේ හිටිය කොල්ල මගේ දිහෑ හොඳට රවල බැලුවා. ඒත් මුතුක් නොකියා හිටියා. එයා සල්ලි ගන්නෙත් නැතුව මට ඉඩත් නොදී හිටිය නිසා කේන්තියටමයි මම අර විදියට කළේ.

මම හිතුවේ නෑ ඒ සිද්ධියෙන් පස්සේ මේ කොල්ලා මගේ පස්සෙන් වැටේවියි කියලා. ඒත් මගේ පස්සෙන් ඇවිත් එයා බස් එකටත් ගොඩ වුණා විතරක් නෙවෙයි, එයාගේ ඇඩ්‍රස් එකත් බස් එකේ වාඩි වෙලා හිටිය මගේ ඔඩොක්කුවට දැම්මා. මේක මාත් එක්ක බස් එකේ යන අක්කල කට්ටිය දැක්කා. දැකලා ඔච්චමට වගේ ඒ ඇඩ්‍රස් එක ලියපු කොළ කෑල්ල එක එක්කෙනා ළගට පාස් කර කර හිටියා. එතකොට ඌරු ජුවල් නැග්ග වගේ පෙන්නුව ඒ කොල්ල එතනින් මාරු වුණා.

ආයෙමත් එන එකක් නැහැයි කියලා හිතුවත් මෙයා දිගටම ටවුමට වෙලා මං එනකල්ම කල් මර මර හිටියා. යාළු අක්කල ටිකට ඒක හොඳ පල්ලම. මේ කොල්ල මට දෙන්න කියලා යෝගට්, අයිස් ක්‍රීම්, චොක්ලට් එහෙම ගේනවා. ඉතින් යාළුවො මට දෙන්නම් කියලා ඒව අරගන්නවා. ඊට පස්සේ බස් එකේදි ඒව මටත් දෙන්නේ අර කොල්ලට හොරෙන්. එයාට නොපෙනෙන්න මමත් ඒව කනවා.

ඔහොම මාස ගාණක් ගියාම දවසක් දෙකක් පවුනෙ කියලා මාත් එයත් එක්ක කතා කළා. ඒත් එක්කම ආවෙ ඉස්කෝලෙ නිවාඩු මාසයක්. නිවාඩුවත් එක්කම කාලයක්ම මම එයා දැක්කෙත් නෑ. මේ අතරෙදි මටත් හොරෙන් එයා මගේ යාළුවන්ගෙන් අයිඩෙන්ටි කාඩ් එකට මම ගත්තු පින්තූරෙකුත් ඉල්ලගෙන. හමු නොවුණට හදවත පැළිල රෝස මල් එන විදියේ ලස්සනට ඇන්ද චිත්‍ර එහෙමත් මට දෙන්න කියලා එයා යාළුවන්ට දිලා තිබුණා. ඒත් විකාර කියලා මං එවත් ගණන් නොගෙන හිටියා. මේ බවක් නොදැන හිටිය අම්මත් එක්ක දවසක් මම ටවුමෙ පයින් යමින් හිටියා. එතකොට එක පාරටම අපේ ඉස්සරහට ඇවිත් නැවතුණේ අර කොල්ලා.

මම කතා නොකර නොදන්නවා වගේ ඉඳිද්දි එයා මගේ අත අරගෙන හොඳටෝම පොඩි කරලා තිබිච්ච මගේම ෆොටෝ එක මගේ අතින් තිබ්බා. අම්මත් මේ මොන විගඩමක්ද කියලා බලාගෙන හිටියා. ‘නෑ අම්මේ මේ මගේ යාළුවන්ගෙන් එයා අරගත්ත පින්තූරයක්. මෙයා මගේ පස්සෙන් ආව කියලා’ මම හෙමිහිට කිව්වා. ඒත් එක්කම ‘අවුලක් නෑ මම අම්මගෙන් අහන්නම්’ කියලා ඒ කොල්ලා කිව්වා. ඒත් ‘අවුලක් නෑ’ කියන වචනෙ ඇහිච්ච ගමන්ම අම්මට කේන්ති ආවා. අම්මගෙන් නැහැදිච්ච කොල්ල එනව මෙතන කියලා හොඳවැයින් ටිකක් අහගෙන තමයි කොල්ල යන්න ගියේ.

එදායින් කාලයක් ගත වෙද්දි මෝටර් බයික් එකකින් ඇවිත් තව අනංගයෙක් මගේ පස්සෙන් වැටුණා. දවසක් මම යන පාර හරස් කරලා නම ඇහුවම මම නටාෂා කියලා කිව්ව. ඒ ඇත්තටම නටාෂා නමට මම ආස නිසා.

දවසක් අවුරුද්දක් විතර මට වඩා වැඩිමල් මේ කොල්ලා නටාෂා නම හොයාගෙන අපේ ගෙවල් කිට්ටුවටම ඇවිත්. අහල පහළින් එහෙමත් නටාෂලගේ ගේ අහගෙන අහගෙන ඇවිත් අන්තිමේදී නැවතිලා තිබුණේ අපේ ගේ දොරකඩමයි. ගේ ළඟ හිටිය අපේ අම්මගෙනුත් එයා නටාෂව අහලා.

‘එහෙම කෙනෙක් නම් මම දන්නේ නෑ. ඉන්න දූගෙන්වත් අහල බලමු’ කියලා අම්ම ගෙට ඇවිත් මට කතා කළා. ඒ පාර දොරකඩට ගියාමයි මටත් වැඩේ තේරුණේ. හොරේ අහු වුණාම ඒ කොල්ලට ‘ආ . . .’ කියවුණා. ‘නටාෂා කෙනෙක් මෙහෙ නෑ’ කියාගෙන මම ගෙට දිව්වේ ලැජ්ජාවට.

රඟපාන්න අදහසක් තිබුණෙම නැති මම දවසක් පන්තියකට ගිහින් එද්දී අපි දෙන්නගෙ පස්සෙන් සුදු වෑන් එකක් එන්න ගත්තා. පිරිමි අය කීප දෙනෙක්ම ඒකෙ ඉන්නව දැකලා අම්ම අඩියට දෙකට මාවත් ඇදගෙන ගිහින් බස් එකට නැග්ගා. එතකොට වෑන් එකේ හිටිය කෙනකුත් දුවගෙන ඇවිදින් බස් එකේ එල්ලුණා.

ඒකෙන් තවත් බය වෙච්ච අම්මා අපේ ගේ දැනගනීවියි කියලා බස් එකෙන් බැස්සෙත් හෝල්ට් එකක් මෙහායින්. එතකොටත් අපේ පස්සෙන්ම වැටිච්ච බස් එකටත් ගොඩ වෙච්ච කෙනා ‘බය වෙන්න එපා මං නිමල් පල්ලෙවත්ත. මේ කුමාරසිරි අබේකෝන් අර අපේ ප්‍රොඩියුසර්’. එහෙම කිය කියා වෑන් එකේ ආව කට්ටියව හඳුන්වලා දීලා මට කතා කළේ රඟපාන්න. ඒත් තාම දූ ඉස්කෝලේ යනවා. ඒ නිසා බැහැයි කියලා අම්මා කිව්වා. ඔය විදියට පාරේ යද්දි දැකලා තමයි මට රංගනේට ආරාධනා ආවේ.

කෝරස් කියන්න කෙනෙක් අඩු නිසා ඒකට විතරක් එවන්න කීවම තමයි මාව රෝයි - සුමනා දෙන්න ළඟටත් ගෙදරින් යැව්වේ. එතැනදි මට නටලත් පෙන්වන්න කීවම මං නටනවා දැකලා තමයි සිනමාවෙන් මට මුලින්ම ඉඩක් ලැබුණේ.’