වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ

ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ

අමරසේන කංකානම්ගේ

ගීතයක සොඳුරු පදවැල් අතර සැරිසරන අයෙකුගේ සොඳුරු මතකය සිහිපත් කරන ‘මතක ගී පොත’ට මේ වන විට අතීතය හා බැඳුනු බොහෝ සිතුවිලි ලියැ වී හමාරය. ඒ සිතුවිලි මතක පෙළ ගෙනහැර පාන්නට මෙවර ‘මතක ගී පොත’ට සහභාගි වන්නේ ගේය පද රචක අමරසේන කංකානම්ගේය.

එකල පැවතුණු ගීත රචකයන්ගේ එකමුතුවෙන් සුසැඳුණු ගීත රචක සංසදයට කාරක සභිකයෙකු ලෙස ඇතුළත් වීමට මම ද වාසනාව ලදිමි. සංගමයෙහි යම් යම් තීන්දු තීරණ ගැනීමටත් ඉදිරි වැඩ පිළිවෙළ කුමක්දැයි සාකච්ඡා කිරීමටත් මසකට වරක් දෙවරක් රැස් වූ අප සියලු දෙනා අතර වූ විශේෂිත පුද්ගලයකු මගේ හදවතෙහි සටහන් වූයේ මටත් නොදැනීමය. ඒ ඔහු රන් බණ්ඩා සෙනෙවිරත්නය. සංගමයේ කාර්යශූර සභාපති නම් ප්‍රධාන සභිකයා වූ ඔහු සංගමයේ විවේකී සුවය ගෙවන මොහොතක කියූ කතාවක් මා හදවත සනිටුහන් වූයේ කිසි දිනෙක නොමැකෙන අයුරෙනි.

අනුරාධපුර ප්‍රදේශයේ විසූ රන් බණ්ඩා දිනක් නුවරට පැමිණියේ තම පෞද්ගලික කටයුත්තක් ඉටු කර ගැනීම පිණිසය. එය ඉටු කර ගැනීමෙන් අනතුරුව සිය මිතුරකු මුණ ගැසුණු ඔහු දළදා මාලිගාවට පිවිසියේ දළදා සමිඳු වැද පුදා ගනු සඳහාය. මිතුරා සමඟ සුහද කතාබහක යෙදෙමින් දළදා මාලිගාවට පිවිසි ඔහුගේ නෙත ගැටුණේ සොඳුරු ළඳකි. සුදෝ සුදුට බබළන නෙළුම් මල් වට්ටියක් දෑත දරා සිටි ඈ සුදු වතෙන් සැරැසී සිටියෙන් ඇගේ සොඳුරු බව තව තවත් ඔප් නැංවී පෙනිණි.

අනෙක් දෑත මත වූ හඳුන්කූරු පෙට්ටියත්, තෙල් හා පහන්තිර පැකැට්ටුවත් කියා පෑවේ ඈ දළදා හිමි වඳින්නට යන උවැසියක බවකි. ලැසි ගමනෙන් පාද තබා යන ඇගේ ශාන්ත වූ උවනෙහි නෙත් බිමට බර වී තිබිණි. ඇගේ උවනෙන් නැගුණු සැදැහැති බව රන් බන්ඩාගේ සිතට තදින් කා වැදිණි. මෙතෙක් කතාබහක නියැළී සිටි තම මිතුරා එක් වරම නිශ්ශබ්ද වූයේ මන්දැයි ඔහු හා පැමිණි මිතුරා රන් බණ්ඩාගේ උවන මතට නෙත් හෙලූවේ මෙවිටය. ඔහුගේ අවධානය යොමුව තිබූ දෙස සිය නෙත රැඳ වූ කළ ඔහුට ද ඒ සොඳුරු ළඳ දක්නට ලැබුනෙන් හේ රන් බණ්ඩ ඇමතීය.

‘රනේ දන්නවද ඔය යන කාන්තාව කවුද කියලා’

නොසිතූ මොහොතක සිය මිතුරාගේ ප්‍රශ්නයෙන් අන්ද මන්ද වූ රන් බණ්ඩා මිතුරා දෙස බැලුවේ විමතියෙනි.

‘ඔය කාන්තාව අභිසරු ලියක්. ඒ වුණාට ඈ පන්සල් යනවා’

රන් බණ්ඩා සමඟ සිටි මිතුරා පැවසුවේ ඔහු කිසිදු දිනෙක නොඇසූ විරූ අපූරු කතාවකි. ඔහු නැවතත් ඒ ලැසි ගමනෙන් ගමනෙහි යෙදෙන සැදැහැවත් ළඳ දෙස විමසුම් දෙනෙත් හෙළුවේ සිය මිතුරා කියන්නේ සැබෑවක්දැයි සොයනු සඳහාය. එහෙත් ඒ කිසිදු ලකුණත් ඈ කෙරෙහි නොවීය. ඈ සාමාන්‍ය ළඳක මෙන් දළඳා හිමි වඳිනු පුදනු සඳහා එහි පිවිසියාය. ඒ අපූරු සිදුවීම සිය හදවත කොණක සංගා ගත් රන් බණ්ඩා නිවෙසට පිවිසියේ ශෝකී බර සිතුවිලි රැසක්ද සමඟ ඔහුගේ සුරතෙහි රැඳුණු පන්හිදට අපූරු ලෙස පද සටහන් ගලා ආවේ නිතැතිණි. එය මෙසේ විය.

ළඳුනේ
ළඳුනේ

ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
ළඳුනේ
දෙනෝ දාහක් අත ගත්තද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නොකියන
වීදි සරන ළඳුනේ

රන් බණ්ඩා සෙනෙවිරත්න

අමරසිරි පීරිස්

තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
ළඳුනේ

බුදුන් දැක නිවන් දැක්මැයි
දෙව්රම් යන පාර අසන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරැදිකාර ළඳුනේ
 

ගේය පද – රන් බණ්ඩා සෙනෙවිරත්න

සංගීතය - ප්‍රේමසිරි කේමදාස

ගායනය – අමරසිරි පීරිස්

එදා එලෙස ඔහුගේ හදවත කොණක රැඳුණු හදවත සසල කළ ඒ සිදුවීම රැගත් මේ ගීතය ඇසෙන වාරයක් වාරයක් පාසා ඒ හා බැඳුණු සිදුවීම සිහිපත් වන්නේ මා මිතුරා වූ රන් බණ්ඩා ද සිහිපත් කරමිනි. මේ ගීතයහි පද සංයෝජනය වඩාත් ළං වන්නේ ගීතයකට නොව නිසදැසකටය. 1988 වසරෙහි ‘පහන් තරුව’ කැසට් පටයට රචනා වී ඇති මේ ගීතයට අමරසිරි පීරිස්ගේ ස්වරයම තෝරා ගැනීම ගීතයට අපූර්වත්වයක් එක්කරයි.

ඊටම ගැළපෙන අයුරෙන් සංගීතය මුසුව තිබෙන්නා වූ මේ ගීතයට මගේ දෙසවන යොමු කරද්දී එහි වන අපූර්ව බවෙන් මම විමතියට පත් වෙමි. සරල අනුභූතියකින් හා සෑම කෙනෙකුටම තෝරා බේරා ගත හැකි පද මාලාවකින් රචිත ගීතය අභිසරු ලියක් පිළිබඳ ලියැවුණු ගීතයකි. ඒ පද ඔස්සේ අපූරු චිත්ත රූප පෙළක් අප මනසෙහි මවයි. රන් බණ්ඩා අභිසරු ලියක් ගැන වුව ද සානුකම්පිත මානුෂීය හැඟීමෙන් ඇය දෙස බලන අයුරු කදිමය. ඒ මානුෂීය හැඟීම අසන්නාගේ සිතෙහි වර්ධනය කිරීමේදී වඩාත් වැදගත් වන්නේ පදවල අර්ථයයි. අර්ථය මූලික පද මාලාවක් මඟින් එය අපූරුවට අප සිත්හි ධ්වනිත වෙයි. ඒ පද මාලාව ගයන ගායකයාගේ ස්වරය මඟින් ගේය පද රචකයා සමාජය පිළිබඳ කරන විවරණය අපූරුවට අප හදවතෙහි පතුළටම කිඳා බසියි.

ඒ නිසාම මෙහි පදමාලාවත්, සංගීතයත්, ගායනයටත් මම බෙහෙවින් ප්‍රිය කරමි. එමෙන්ම ‘කේමදාස නම් වූ ඔහු’ කියන කෘතියෙහි රන් බණ්ඩා ලියූ ලිපියෙහි කාරණා කිහිපයක් මා සිතට පිවිසේ. එනම් ‘ළඳුනේ ගීය මුලින්ම ගැයෙන කොටස වූ ළඳුනේ ළඳුනේ යන්න මා ලියා තිබුණේ නැත. මා ගීතය ආරම්භ කළේ ‘දෙනෝ දාහක් දෙන අත ගත්ත ද’ යන පදයෙහි සංගීතයේ අවශ්‍යතාවය පරිදි නැවත පද එකතු විය. එපමණක් පමණක් නොව ‘ඊයේ හවස ළඳුනේ’ යෙදූ යෙදුම සඳහා යෙදුම් සොළොසක් ඉදිරිපත් කළේ ගීතයට අවශ්‍ය පරිද්දෙනි. ඉන් එක් යෙදුමක් වූ ‘සැඳෑ කලෙක ළඳුනේ’ එහි යෙදෙන්නේ ද එලෙසිනි.

මගේ හදවත රැඳුණු මේ ගීතයට ද මම බෙහෙවින් ප්‍රිය කරමි.

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා
අසා සිටිනවා

කුලරත්න ආරියවංශ

විශාරද
ඩබ්ලිව්. ඩී. අමරදේව

කඳුළු බිඳු හලා සදේ
තුරුලතා පුරා
සියොළඟම සැළී මගේ
නොනිමි සීතලේ
ඔබේ නෙත යදි
මහද වියරුවෙන්

කියඹු වැල් ලිහී ඔබේ
මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ
සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසිලසින්
 

ගේය පද – කුලරත්න ආරියවංශ

සංගීතය - ප්‍රේමසිරි කේමදාස

ගායනය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව

යොවුන් වියේ බැඳුණු සොඳුරු ප්‍රේමයේ මතක අතරට සිත රැගෙන යන මේ ගීතය මගේ සිත අතීත ආවර්ජනයක යෙදෙයි. සොඳුරිය නුඹගේ හමුවීම සනිටුහන් වන ඒ අතීතය ඔබගේ හදවතේද සැඟව ඇති වග මම දනිමි. ඔබගේ දැක්ම මා හදවත සනිටුහන් වන්නේ පාසල් සමයේය. එකල මා කොළඹ 05 කතෝලික ලංකා සභාව පාසලෙහි ශිෂ්‍යයෙකු විය. දිගු කරල් දෙකකට ගෙතූ වරලස මුදා හරිමින් ඔබ යෙහෙළියන් අතර දඟකාරියක වී සිටි අයුරු මට අද මෙන් මතකය. එහා මෙහා දුව පනිමින් සිටි නුඹ එක් නිමේෂයක ඒ අසල හුන් මා දෙස නෙත් විසල් කර බැලූ බැල්ම, මට පෑ සිනහවත් හදවත පතුළෙහි තැන්පත් වූයේ නොමැකෙන අයුරෙනි.

ප්‍රේමසිරි කේමදාස

ලංකා සභාවට සමු දුන් මම අ. පො. ස. උසස් පෙළ විභාගයට මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත් වීමි. ඉන් කැලණිය විශ්ව විද්‍යාලයට පිවිසි මම ලංකා සභාව පාසල සමඟ වූ බැඳියාව අමතක නොකිරීමට පරිස්සම් වීමි. වරෙක එහි තිබූ පිරිත් පිංකම් උත්සවයකදී මුණ ගැසුණු නුඹ මා හා කුළුපඟ වූයේ කලකට පෙර හදවතෙහි සැඟව තිබූ ස්නේහය නමැති බීජ අංකුරය දලුලා වැඩෙන විලසිනි. දිනෙන් දින වැඩී අතුපතර විහිද යන විසල් නුග රුකක් සේ නුඹ පිළිබඳ වූ සෙනෙහස හදවත පෙරැළි කරමින් බලා උන්නේය. ඒ පැතුම සඵල වූයේත්, දිනක් මා තිඹිරිගස්යායේ පිහිටි නුඹගේ නිවෙසට පිවිසියේ ගැහෙන හදවතෙනි. හදවතෙහි ස්පන්ධනය ඩිග් ඩිග් හඬින් මොර දෙන්නේ පිටතට ඇසෙනා ලෙසිනි.

නුඹ මා එනතුරු බලා උන්නාය. පිට දිගට විදහා වැටුණු දිගු වරලස විදහා පාමින් මල් මල් වැටුණු චීත්ත ගවුමකින් සැරැසී සිටි නුඹගේ දසුන දැනුදු මට සිහිපත් වෙයි. එක් නිමේෂයක අප අවට වූ පරිසරයෙහි රජ කළේ නිශ්ශබ්දතාවයයි. ඒ නිශ්ශබ්දතාවය අතරෙන් මම නුඹ දෙස බැලීමි. නුඹගේ නෙත නතරව තිබුණේ ඈත ඉමකය. මදනල හා ගැටුණු නුඹේ කෙස් රෙදක් මා මුහුණත හැපුණේ සැනෙකිනි. මම එය අල්ල ගැනීමට මෙන් දෑත එසැවීමි. නුඹගේත් මගේත් දෙනෙත ගැටුණේ එක් වරමය. මඳක් මා නෙත දෙසම බලා සිටි නුඹගේ ලැජ්ජාශීලී නෙත් බිමට බර වූයේ සැණෙනි. අතීතයේ මතක රාශියක් ඇසුරෙන් හදවත රැඳුනු ඒ සිදුවීම මතකයට පිවිසෙන සෑම විටෙකම අද ද මම නුඹ සොයා යමි.

‘ඇයි මහත්තයා තේ එකක් ඕනෑ නෑ ද?’

නුඹ අසන්නේ හුරු පුරුදු ඒ සුපුරුදු සෙනෙහසෙනි. ඒ සොඳුරු ස්නේහයේ තරම සිහිපත් කරන මේ ගීතය ලියා ඇත්තේ මීට වසර තිස් තුනකට පමණ පෙරය. එනමුදු එහි සොඳුරු බව අප අතරම සැරි සරන්නේ කිසිදු දිනෙක අප අතැර නොයන විලසිනි.

ගීතය යනු සංගීතඥයා අතර, තිබෙන නාද මූලික ආමන්ත්‍රණය යන්නට අපූරු නිදසුනක් ලෙස මා ගෙනහැර පාන්නේ මේ ගීතයයි. සරල ගී අතර ඉතා විශිෂ්ට ගීතයක් ලෙස ගැනෙන මෙම ගීතය සංගීතමය ප්‍රකාශයකි. ගීතය යන්න භාවමය ප්‍රයෝග මාධ්‍යයකි. ජීවිතයෙහි අංශු මාත්‍රයක් පිළිබඳ කියැවෙන මෙම ගීතයෙහි පද සරලය. සීමිත වචන සංඛ්‍යාවක් තෝරා ගැනීම නිසා ගායනා කිරීමේ පහසුව මෙන්ම සුගයනීය බව ද ඒ පදවල අන්තර්ගතව ඇත. එක් වදනක් අනෙක් වදනක් හා සම්බන්ධ වන්නේ එකිනෙකා වැලඳ ගැනුමක් ලෙසිනි. ඒ නිසා මේ ගීතයට මම බෙහෙවින් ආදරය කරමි.