වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




දිරිය කතගේ චරිතයට විද්‍යා

දිරිය කතගේ චරිතයට විද්‍යා

ඉන්දියාවේ පළමුවැනි වෛද්‍යවරිය ‘රක්මාබායි’ගේ ජීවිත කථාව සිනමාවට නැෙඟන අලුත්ම ජීවන අන්දරයයි. ඊට පණ පෙවීම සඳහා තෝරා ගෙන ඇත්තේ අභියෝගයට ද අභියෝගයක් වූ විද්‍යා බාලන්ය. වයස අවුරුදු එකොළහේදී දහ අට හැවිරිදි දාදාජී භිකාජි සමඟ විවාහ වී දහසක් දුක් කම්කටොලුවලට මුහුණ දුන් රක්මාබායි පඹ ගාලක පැටලුණේ දස වසරකට පසු ඇයට විරුද්ධව සැමියා විවාහ අයිතිවාසිකම් ගැන නඩු පැවරීම නිසයි.

උසාවිය ඇයට මාර්ග දෙකක් තෝරා ගැනීමට ඉඩ ලබා දුනි. සැමියාගේ නිවෙස හෝ සිරගෙය ඇයට තෝරා ගැනීමට තිබූ විකල්ප දෙකයි. 1888 දී දෙදෙනා එකඟත්වයකට පැමිණි නිසා රක්මාබායිට සිරබත් කෑමට සිදු නොවිණි.

ඇය එංගලන්තයට ගොස් වෛද්‍ය විද්‍යාව හැදෑරුවාය. 1894 දී ඉන්දියාවට රක්මාබායි පැමිණියේ ඉන්දියාවේ පළමුවැනි වෛද්‍යවරිය ලෙස ඉතිහාසයට එක් වෙමිනි. ඇයගේ නමින් බොලිවුඩයේ තැනෙන චිත්‍රපටය ‘රක්මාබායි : දි ඔඩිසි’ය. විද්‍යා, රක්මාබායිට සැබැවින්ම සාධාරණත්වයක් ඉටු කරනු ඇත. එය සම්මානනීය සාධාරණත්වයක් වනු නොඅනුමානය.