වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අධිවේගී පෙම්වතා

අධිවේගී පෙම්වතා

ආදිත්‍ය රෝයි කපූර් ‘ආශිඛි 2’ සිනමාපටයෙන් යුවතියන්ගේ හදවත් සෙනෙහසින් උමතු කළ තරුවයි. එහෙත් මේ විසි අට හැවිරිදි තරුණයාගේ නම් හදවත ආදරයෙන් උණුසුම් වන්නේ තරුණියන් දුටු විට දී නොවෙයි. යතුරු පැදි දුටු විටයි. අධිවේගී ක්‍රීඩා යතුරු පැදියකට දැනටමත් හිමිකම් කියන ඔහු පසුගිය දිනවල අන්තර් ජාලයෙන් සහ ප්‍රදර්ශන කුටිවල ඊටත් වඩා අධිවේගී යතුරු පැදියක් සෙව්වේය. අවසානයේදී සිත්ගත් යතුරු පැදිය මිල දී ගත්තේය. මේ දිනවල ඔහු බන්ද්‍රා පෙදෙසේ මිටින් හල කුරුල්ලකු සේ අලුත්ම යතුරු පැදියෙන් පියාඹයි. අලුත් යතුරු පැදියට කෙතරම් ආදරය කළත්, පැරැණි යතුරු පැදියට යන්න කියන්න නම් ඔහුට සිතක් නැත. ඊට ඔහු ප්‍රථම ප්‍රේමයට මෙන් ළෙන්ගතුය.

‘ආශිඛි 2’ තාරකාව ශ්‍රද්ධා සමඟ මෙන්ම පරිනීති චොප්රා සමඟ ද ආදිත්‍ය පෙමින් වෙලී සිටින බවට රාවයක් පවතී. ළඟදී ආදිත්‍ය, ශ්‍රද්ධා සමඟ අමෙරිකාවේ නිවාඩුවක් ගත කළ පුවත තවදුරටත් බොලිවුඩයට රහසක් නොවෙයි. මේ අතර ‘ඒක් විලයන්’ තරුව, සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ සිත එහි තාරකාව ශ්‍රද්ධා කෙරෙහි ඇදී යමින් පවතින බවට ද රාවයක් පවතී.

ආදිත්‍ය රෝයි කපූර්, පරිනීති චොප්රා සමඟ රඟන ‘දවාත් – ඊ – ඉෂ්ක්’ සිනමාපටයෙන් සහ චාල්ස් ඩිකන්ස්ගේ ‘ද ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්’ ඇසුරින් නිපද වූ ‘ෆිතූර්’ සිනමාපටයෙන් කත්‍රිනා කායිෆ් සමඟ ප්‍රේක්ෂකයන්ට සමීප වනු ඇත.