වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අනගාරික ධර්මපාලතුමන් ගැන තවත් චිත්‍රපටයක්

අනගාරික ධර්මපාලතුමන් ගැන තවත් චිත්‍රපටයක්

නිෂ්පාදනය – මහාබෝධි සමාගමෙන්

අනගාරික ධර්මපාලතුමන්ගේ සැබෑ තොරතුරු ඇසුරෙන් ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මහාබෝධි සමාගම තීරණයකට එළඹ තිබේ.

මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය සුමිත් ගල්හේන විසින් සිදු කරන අතර විධායක අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර සම්බන්ධිකාරකවරයා වශයෙන් සමන් විරමන් කටයුතු කරයි. ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂවරයාය. සංස්කරණය සහ ඩිජිටල් පරිඝණක කටයතු රවීන්ද්‍ර ගුරුගේගෙනි.

සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය වික්ටර් රත්නායක සිදු කරයි. වසන්ත විට්ටච්චි අංග රචනයෙන් ද, රංජිත් සිල්වා කලා අධ්‍යක්ෂණයෙන් ද, සිසිර හෙට්ටිආරච්චි සහ ෂෙහාන් ඉද්දමල්ගොඩ සහාය අධ්‍යක්ෂණයෙන් ද රුවන් නෙරංජන නිෂ්පාදන කළමනාකරණයෙන් ද මෙයට දායක වෙති.

මහාබෝධි සමාගම වෙනුවෙන් එහි සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමිපාණෝ ප්‍රමුඛ නිෂ්පාදක මඬුල්ලක් මෙය නිෂ්පාදනය කරයි. මෙය මෙරට සහ ඉන්දියාවේ රූ ගැන්වීමට නියමිතය.

ඇතැම් පුද්ගලයින් සාවද්‍ය තොරතුරු මත පදනම්ව අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ආශ්‍රයෙන් චිත්‍රපට කිරීමට උත්සාහ කිරීම නිසා ශ්‍රී ලංකාව, ඉන්දියාව, අමෙරිකාව, ජපානය, තායිලන්තය, ලාඕසය, සියම, චීනය ඇතුළු රටවල් ගණනාවක බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ එතුමාණන් හට සිදු වන අගෞරවය වලක්වා ගැනිමේ අරමුණින් ධර්මපාල තුමාගේ නිවැරැදි තොරතුරු ඇතුළත් කොට මෙම චිත්‍රපටය නිපදවීමට මහාබෝධි සමාගම තීරණය කොට ඇති වග මේ පිළිබඳ අධ්‍යක්ෂ සුමිත් ගල්හේන විසින් දන්වන ලද ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන්ව ඇත.