වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මා එක්ක ආයේ ඔබ එයි ද නෑනේ

මා එක්ක ආයේ ඔබ එයි ද නෑනේ

රංජු ප්‍රනාන්දු

අලුත් දෙයක් ඉදිරිපත් කරමින් ඉදිරියට යනවා

මා එක්ක ආයේ
ඔබ එයිද නෑනේ
සමනල්ලු දෑලේ තනි වුණා
රොන් සුවඳ අගේ විසිරෙයි ද නෑනේ
ඔබ එන්න පහසේ දැවටිලා

පොපියනා දෑසේ නැවතිලා
දුර ගියා මාගේ හිත සොයා . . .

මේ ගීතය මේ දිනවල යෞවන යෞවනියන් අතර නිතර මිමිණෙන ගීතයක්. ඒ විතරක් නෙවෙයි ‘සිහින සින්ඩරෙල්ලා’ ටෙලි නාට්‍යය නැරඹූ හැමෝම අතරත් ඉතාම ජනප්‍රිය ගීතයක්. උදාරා නදීශානි ගාල්ලගේ ගේ පද රචනයෙන් හා චතුරංග ද සිල්වාගේ සංගීතයෙන් හැඩ ගැන්වෙන මේ ගීතයට මියුරු හඬ ලබා දෙන්නේ යොවුන් ගායකයෙක්. ඔහු තමයි රංජු ප්‍රනාන්දු.

රංජු ඔයාට ලැබුණු මේ අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. තනි සිංදුවකට වඩා ටෙලි නාට්‍යකට හෝ චිත්‍රපටයකට ගීත ගායනා කරන්න ලැබීම හීනයක්. ක්ෂේත්‍රයට පැමිණිලා ටික කාලයකින් මෙවැනි අවස්ථාවක් ලැබීම මට ලොකු සතුටක්. මේ ගීතයට අමතරව සිහින සින්ඩරෙල්ලා ටෙලි නාට්‍යයේ තව ගීත කිහිපයක්ම මම ගායනා කරනවා.

ක්ෂේත්‍රයට පැමිණි ගමනේ ආරම්භයත් සිහිපත් කරමු?

උසස් පෙළ විභාගය අවසන් වුණාම ඇඩ්වටයිසින් කම්පැනි එකක රෙකෝඩ් ඉංජිනියරින් ඇසිස්ටන් කෙනෙක් විදියට සේවයට එක්වෙන්න අවස්ථාව ලැබුණා. එහි සේවය කරන ගමන්ම තමයි සංගීත කටයුතුවල නිරත වෙලා ඉන්නේ. මගේ පළමු ගීතය ‘නීල නුවන් ඇගේ’ ප්‍රසංග තිසේරා සමඟින් කළා. ඒ 2006 වසරේදී. ඊට පසුව ‘මා වෙනුවෙන්’ ගීතය එළි දැක්වූවා. මං පුංචි කාලේ ඉඳලාම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. එය තමයි මේ ගමනට මූලික අඩිතාලම වුණේ. ඒ වගේම ඉස්සර මගේ සීයාට සංගීත කණ්ඩායමක් තිබුණා. මගේ අම්මත් එයට සම්බන්ධ වෙලා කටයුතු කළා. ඇය එහි එකෝඩියන් එක වාදනය කළා. අම්මාගෙයි සීයාගෙයි සංගීත හැකියාවන් මටත් පිහිටලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

රංජු ඔයාගේ ඉදිරි සංගීත කටයුතු කොහොමද සැළසුම් කරලා තියෙන්නේ?

අලුත් දෙයක් ඉදිරිපත් කරමින් ඉදිරියට යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. දැනට මම සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ වගේම මට තව ටෙලි නාට්‍ය දෙකක ගීත ගායනයට ආරාධනා ලැබුණා. ඒ අතරින් එකක තේමා ගීතය සහ අනෙක් ටෙලි නාට්‍යයේ ගීත කිහිපයක් ඇතුළත්. ඊට අමතරව මගේම ගීතයකුත් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. නව රෙකෝඩ් ඉංජිනේරු අංශය ගැන තවදුරටත් හදාරන්නත් සූදානම් වෙනවා.