වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගයේෂාගේ මංගල ඡායාරූපය ටජ් මහල අබියස

ගයේෂාගේ මංගල ඡායාරූපය ටජ් මහල අබියස

ලංකාවේ කලාව ඇසුරු කරන්නන් හට ගයේෂා පෙරේරා ආගන්තුක චරිතයක් නොවෙයි. නිරූපිකාවක ලෙස තම සහජ හැකියාව ප්‍රකට කළ ගයේෂා ලංකාවට විවධ විශ්වීය ජයග්‍රහණ රැගෙන ආ දක්‍ෂ නිරූපිකාවක්. චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක වන ඇය දේශපාලන කරළියේද තම නම සටහන් කළ තරුණියකි.

ගයේෂා ගේ මනාලයා වන්නේ හසංජිත් චතුරංගය. ‘ඔබයි මගෙ ජීවිතේ’ ගීතය ගයමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි ඔහු දක්‍ෂ ගායකයකු වෙයි. ආනයන අපනයන ව්‍යාපාරයකට හිමිකම් කියන හසංජිත් විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන නිලධාරියකු ලෙසද නම් දැරුවෙකි.

ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය පැවැත්වෙන්නේ අද දිනයේය.

ගගන තලය පුරාවටම වෙසක් සඳෙහි පින්බර ශ්වේත වර්ණ රැස් දහර ගලා යමින් තිබුණි. හමන මඳ නලක පවා තැවරී තිබුණේ පින්බර බවකි. ඒ මඳ නලින් තාලයකට ළෙලෙන තුරු වියළ සුපෙම්වත් කතාවකය. සීත සළු පොරවා ගත් ගිරි මුදුන්වල සිට රටාවකට ගලන නීල දිය දහරා පවා මේ පින්බර සඳ මඬලෙහි සිසිලස විඳීමිනි.

සැබෑවටම මේ රාත්‍රිය ස්වභාව දහම ඔවුන් වෙනුවෙන්ම මැවූ සුන්දර රාත්‍රියයි. ඔවුන්ගේ සිත් එක් කරන්නටම මැවූ සුපෙම්වත් රාත්‍රියයි.

ගයේෂාත්, හසංජිතුත් මේ වෙසක් සඳ කිරණ යට හමුවන්නේ දෛවෝපගතවය. මේ ඔවුන්ගේ ප්‍රේම කතාවයි.

හසංජිත් පළමු හමුවීමේ අසිරිමත් පින්බර රාත්‍රියට තමයි මං ඔබව ගෙන යන්නේ?

හසංජිත්

ඒ රාත්‍රිය මගේ ජීවිතයට මෙච්චර නං සුන්දර මතක ගොඩක් ගෙනේවි කියලා එදා නිකමටවත් හිතුණේ නැහැ. මීට වසර හතරකට පෙර වෙසක් පෝය දා තමයි ගයේෂත් මමත් මුලින්ම හමුවුණේ. ඇත්තටම ඒක හරිම අහම්බයක්. මගේ මිතුªරන් පිරිසකගේ ඉල්ලීමකට අනුව එදා වෙසක් බලන්න යන්න තීරණය කළා. උදේ ආගමික වතාවත් ඉටු කරලා හවස මං වෙසක් බලන්න යන්න මිතුරාගේ ගෙදරට ගියා. මම යන කොටත් එතන කිහිප දෙනෙක් වෙසක් බලන්න යන්න සූදානම් වෙලා හිටියා. අපි කළුවරත් අතට අරගෙන සුන්දර ගමන පටන් ගත්තා. මුලින්ම කිරි කෝපි දන්සැලක් ළඟ නතර වෙලා හැමෝම කෝපි බිව්වා. එතනදි තමයි ගයේෂයි මමයි හඳුනා ගත්තේ.

ගයේෂා ඒ සුන්දර ගමනට එතනින් පස්සේ මොකද වුණේ. කට කොනක හිනාව තවරා ගත්තු ගයේෂාවත් මම කතාබහට එකතු කර ගත්තා.

ඒ ගමන ඇත්තටම හරිම සුන්දර ගමනක්. අපි පළමුවෙන්ම හඳුනා ගත්තේ එදා. හසංජිත්ගේ වාහනේ තමයි හැමෝම වෙසක් බලන්න ගියේ. ඔහු ඉතාමත් මිත්‍රශීලී කෙනෙක් කියලා මට එදා දැනුණ. ඒ වගේම ක්ෂේත්‍රයේදී නම්වලින් අපි දෙන්නව හොඳින් හඳුනාගෙන හිටියා.

ටිකෙන් ටික රෑ වුණා. කූඹි පෙළක් වගේ ඉදිරියට ඇදෙන රථ පෙළ අතරේ අපිත් ඉදිරියට ඇදුණා. එකම තැන පැය ගාණක්. ඒත් ගමන හරිම සුන්දරයි. අපේ වාහනේ ඇතුළේ රස කතා, ගීත, විරිදු, කාලීන සාකච්ඡා, ව්‍යාපාරික කටයුතු නැති මාතෘකාවක් නැහැ. ඒ හැම කතාවකට මූලිකයා වුණේ හසංජිත්. ඔහු සෑම ක්ෂේත්‍රයකම ගවේශණශීලී දැනුමින් පිරිපුන්වෙලා හිටියා කියලා එදා මට දැනුණා. වාහනේ ඇතුළේ හිටිය හැමෝම එක පැත්තක් අරගෙන ගෙනා තර්ක හසංජිත් බිඳලා දැමුවා. ඒ රාත්‍රිය මා ගත කළ සුන්දරව දිගුම රාත්‍රිය කියලත් දැන් හිතෙනවා. කොහොම හරි එදා එළිය වැටෙන කල්ම අපි තොරන් බැලුවා.

ඊට පස්සේ මොකද වුණේ හසංජිත්?

ගයේෂා මිතුරු මිතුරියො එක්ක වාහනෙන් බැහැලා මගෙන් සමු ගත්තා. ඒක එදා සාමාන්‍ය සුහද හමුවක් වුණා. නමුත් ගයේෂා පෙරේරා සහ මං අතර හොඳ මිත්‍රත්වයක් ගොඩ නැ¼ගුණා. ඒ මිත්‍රත්වය අපි දිගටම අරගෙන ගියා. මෙහෙම කාලයක් ගත වුණා. අපේ මිත්‍රත්වය අතරේ මං ඇයව හොයන්න පටන් ගත්තා. ඒක හරිම සුන්දර මතක ගොඩක්. මේ සෙවීම තුළ මගේ ජීවිතයට අතිශය සමීප කෙනා ගයේෂා කියලා මට හැඟුණා. ඒත් කාලයට ඉඩ දීලා මං මිත්‍රත්වය තවත් වැඩි දියුණු කර ගත්තා.

ගයේෂා කියන්නේ ගොඩක් දුක් විඳලා මෙතැනට ආපු කෙනෙක්. ඒ නිසා ඇයට ඉතාමත් ශක්තිමත් පදනමක් තිබුණා. ඒ වගේම පුළුල් අත්දැකීම් තිබුණා. මටත් එහෙමයි. අපි නිරතුරුවම ඒ දේවල් බෙදා ගන්න තමයි හමු වුණේ. මෙහෙම ටික කලක් යද්දි මං ගයේෂාට ආදරේ කරනවා නේද කියලා දැනෙන්න පටන් ගත්තා.

එයාට කතා නොකළොත් මට දවස පාළුයි වගේ දැනුණේ. ඒත් එක පාරටම කියන්න ගියේ නැහැ. කොහොම හරි නොදැනිම අපි ළං වුණා. ප්‍රේමවන්තයින් බවට පත් වුණා.

ගයේෂා නොපැකිලී ඒ ආදරය බාර ගත්තද?

හසංජිත් කියන්නේ ඉතාමත් බුද්ධිමත් ගුණගරුක මිත්‍රශීලී කඩවසම් තරුණයෙක් කියලා ඒ වෙද්දී මං අවබෝධ කරගෙන හිටියා. ඔහු නිකරුණේ කාලය කා දමන හරසුන් කතාවලට අප්‍රිය කෙනෙක්. ඔහුගේ හැම ගුණාංගයම මා සෙවූ ගුණ අතර තිබුණා. ඒ නිසාම ඒ ආදරේ මට මහ මෙරක් වගේ දැනුණා. ඒ වගේ උත්තරීතර ආදරයක් කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? ඒ සුන්දර පවිත්‍ර ආදරය මං හදවතින්ම බාර ගත්තා.

හසංජිත් ගල්කිස්ස වෙරළේ සුන්දර අවන්හලක මොහොතක් නතර වෙමු?(සිනාසෙයි)

අපි ආදරවන්තයින් වෙලා හමුවුණ පළමුවන දවස ගල්කිස්සේ වෙරළ තීරයේ තිබෙන සුන්දර අවන්හලක රාත්‍රී කෑම වේලකට යමු කියලා අපි තීරණය කළා. ගයේෂාට තමයි මං කිව්වේ කැමැති හැම දේම ඇණවුම් කරන්න කියලා. ගයේෂා පොඩි කෑම එකක් ඕඩර් කළා. අපි ජීවිතේ ගැන කතා කරමින් විනෝද වුණා. විනාඩි කිහිපයයි ගත වුණේ. ගයේෂාගේ මාමයි නැන්දයි එහා පැත්තේ මේසේ. ඊළඟට අපි ඒ දෙන්නටත් අපේ මේසයට ආරාධනා කළා. හැමෝම එක්ක රෑ කෑම කාල සතුටින් විසිර ගියා. පළමු හමුවීමේදී අපට වැඩිය කතා කරන්න හම්බු වුණේ නැහැ.

ගයේෂා පෙරේරා

එදා විශේෂ විස්මිත දෙයක් සිදු වුණා.

මං කෑම ඕඩර් කළා. ටික වෙලාවකින් ඕඩර් නොකළ කෑම පිඟානක් මේසයට ආවා. ඒක පියනකින් වහලයි තිබුණේ. මං වේටර්ට කිව්වා මෙහෙම කෑම පිඟානක් මං ඉල්ලුවේ නෑ කියලා. ඔහු එකහෙලාම කිව්වේ මං මේ කෑම ඉල්ලුව කියලමයි. අන්තිමේදී ඔහු කිව්වා බලන්න මේ කෑම මොකක්ද කියලා. මං පිඟාන ඇරල බැලුවම ඒකේ තිබුණේ ලස්සනම ලස්සන ෆෝන් එකක්. ඒක තමයි හසංජිත්ගෙන් මට ලැබුණු මුල්ම තෑග්ග. ඒක මට හිතාගන්නත් බැරි වුණා. ඒ තරමටම ලස්සනට හසංජිත් ඒ කටයුත්ත ප්ලෑන් කරලා තිබුණා. ඒ ෆෝන් එක මං කවදාවත් පාවිච්චි කළේ නැහැ. මගේ ජිවිතේ හා සමානව ඒ ෆෝන් එක මං රකිනවා.

හසංජිත් කැමති වුණේ ගයේෂාගේ මොන ගුණාංගවලටද?

ඇය බොහොම කාර්යය ශූර, බුද්ධිමත් තරුණියක්. ඒ වගේම රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. ගයේෂාගේ ඒ අපරිමිත ජවයට මං හරිම කැමැතියි. ඒ වගේම ගයේෂා තීීන්දු තීරණ ගන්න බුද්ධිත්භාවයට මං ගරු කරනවා. ඒ සියල්ලටම වඩා ඇය හරිම ප්‍රේමණීය චරිතයක්. ඒ නිසා තමයි මං ගයේෂාට ආදරේ කරන්න පටන් ගත්තේ.

ගයේෂා ඇයි හසංජිත්ට කැමැති වුණේ?

හසංජිත්ට ඕනෑම ක්ෂේත්‍රයක් ගැන දැනුමක් තිබෙනවා. ඒ දැනුම ප්‍රයෝගිකව හසුරුවන ආකාරයට මං කැමැතියි. ඒ වගේම ඔහු කඩවසම් තරුණයෙක්. හොඳ මිත්‍රයෙක් වගේම අද ඉඳන් මට හොද සැමියෙක්.

හසංජිත් මේ සබඳතාවය ඇතුළේ ප්‍රශ්න ඇති වෙලා නැද්ද?

එහෙම නෑ කිව්වොත් ඒක බොරුවක්. අපි දෙන්නටම විවිධ කාලවලදී සම්බන්ධතා තිබිල තියෙනවා. ඒත් ඒ නොගැළපීම් නිසා අපි ඒවට සමු දුන්නා. මේ සබඳතාවයේදිත් ප්‍රශ්න ඇති නොවුණා නෙවෙයි. නමුත් අපි දෙන්නම බුද්ධිත්ව ඒ ප්‍රශ්න විසඳුවා. ඒ නිසා මං හිතනවා බුද්ධිමත් දෙදෙනෙකුගේ අතරට ප්‍රශ්න ආවම එවා නිරවුල්ව විසඳා ගන්න හරිම පහසුයි කියලා.

ගයේෂාගේ හමුවීම සමඟ හසංජිත් සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා?

ඒක මගේ බලපෑමකින් වුණු දෙයෙක් නෙවෙයි. හසංජිත් ව්‍යාපාර කටයුතු සමඟ කාර්යය බහුල චරිතයක් වුණා. ඒ නිසා ඔහුම තීරණය කළා ටික කලකට සංගීත ක්ෂේත්‍රයට සමු දෙනවා කියලා. නමුත් අද අපේ විවාහ උත්සවය සමඟ හසංජිත් නැවත නව ගීතයක් සමඟ රසික රසිකාවන් අතරට යන්න සූදානමින් ඉන්නවා. ඔහු ගායකයකු විදියට ඉදිරියට යනවට මං කැමැතියි. මගේ පූර්ණ ආශිර්වාදය ඒ කටයුත්තට ඔහුට හිමි වෙනවා.

වැඩියෙන්ම ප්‍රශ්න ඇති කර ගන්නේ ගයේෂාද ඔබද?

දෙදෙනෙක් අතිශය සමීප වුණාම ඇති වන ප්‍රශ්න ප්‍රමාණයත් අසීමිතයි. අපි දෙන්න අතරත් ප්‍රශ්න ඇති වෙනවා. නමුත් තාවකාලිකයි. එහෙම වුණාම අපි කෑමකට එළියට යනවා. ප්‍රශ්නය එතනින් ඉවරයි.

ගයේෂා ඉන්දියා ගමන ගැන කතා කරමු?

අපේ පෙර ඡායාරූප ගත කිරීම් සිදු වුණේ ඉන්දියාවේ. ටජ්මහල්වල ලාංකීය පාරම්පරික ඇඳුමින් ඡායාරූප ගත කිරීමක් කළ පළමුවැනි ලාංකික යුවළ අපි වෙන්න ඇති. ඉන්දියාවේ සුවිශේෂ ස්ථාන රැසක අපි ඡායාරූප ලබා ගත්තා. එය ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. ස්වදේශිකයන්ටත් ඡායාරූප ගත කිරීමට අවස්ථාව නොලැබෙන ස්ථාන අපට ඡායාරූප ගත කිරීමට ලැබුණා. ඒක වාසනාවක්.

මේ ගමනේදී අපට දිරියක් වුණු දීපාල් ප්‍රනාන්දු, චම්පි සිරිවර්ධන, රුවන් විදානගේ, නාමල් බාලචන්ද්‍ර වගේම මෙම අවස්ථා ඉතා මනාව ඡායාරූපයට නැඟූ ඉන්දික මල්ලවාරච්චිවත් මතක් කළ යුතුමයි.

ගෙවුණු අතීතය සුන්දරයි. අනාගතය කොහොම වෙයිද?

අතීතයේ අත්දැකීම් අනුව අනාගතය ඉතාමත් සුබදායක කර ගන්න අපට හැකි වේවි කියලා හිතෙනවා. අප දෙදෙනාට දෙදෙනා උදව් කර ගනිමින් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ සඳහා රසික රසිකාවන් අපට නොමඳව ආශිර්වාද කරාවි.