වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහයෝ මුලින් දැනගෙන පස්සේ සැක කරනවා

සිංහයෝ මුලින් දැනගෙන පස්සේ සැක කරනවා

බුද්ධදාස ගලප්පත්ති ලියන මහාචාර්ය සරච්චන්ද්‍රයන් පිළිබඳ රස මතකය

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ජන්ම ශත සංවත්සරය යෙදී තිබුණේ ජූනි තුන්වැනිදා පෙරේදායි. පසුගිය දින කිහිපය තුළ එතුමාගේ ශාස්ත්‍රීය සේවාව, සිංහල නාට්‍ය වංශ කතාවෙහි එතුමා විසින් අරඹන ලද නව ගමන් මඟ එතුමාගේ සාහිත්‍ය නිර්මාණ හා විචාරය පිළිබඳ විමර්ශනය කෙරුණු විවාද සම්පන්න ශාස්ත්‍රීය ලිපි ලේඛන රැසක්ම පුවතපත් රැසක සාහිත්‍ය කලා අතිරේක තුළ පළ වී තිබෙනු මම දුටුවෙමි. ජන්ම ශත සංවත්සරය නිමා වුණ ද එතුමා වැනි විද්වතෙකුª පිළිබඳ සටහනක් සරසවියේ පළ කිරීම ජාතික යුතුකමක් සේ සැලකූ බැවින් දෝ කර්තෘතුමා ඒ සඳහා මගේ සහාය පැතීය.

ඔහුට මගේ පිළිතුර වූයේ පසුගිය දින කිහිපයෙහි එතුමා පිළිබඳ සටහන් කීපයක්ම ලියා ඇති බැවින්, සුදුසු වෙනත් පුද්ගලයෙකුගේ හෝ සහාය ලබා ගන්නා ලෙසයි. එහෙත් මට ගැලවීමක් නොවිණ. ඔහුගේ නාට්‍ය කණ්ඩායමෙහි දීර්ඝ කාලයක් සිටි සාමාජිකයෙකු ලෙස එතුමා සමඟ කටයුතු කිරීමේදී ලත් අත්දැකීම් පිළිබඳ එතුමා කෙබඳු චරිතයක් සතු පුද්ගලයෙක් ද යන්න පිළිබඳ හෝ ලිවීමට මා වඩාත් සුදුස්සකු යයි ඔහු තරයේ කියා සිටි බැවින් සරච්චන්ද්‍ර මහාචාර්යතුමා පිළිබඳ නොව එතුමා තුළ ජීවත් වූ සුන්දර මිනිසා, එතුමා ගත කළ සරල සාමාන්‍ය ජීවිතය, එතුමා සමඟ ඇසුරේදී මා විසින් නිරීක්ෂණය කරන ලද එතුමාගේ අපූරු චරිත ලක්ෂණ පිළිබඳ සිහිපත් කරමින් මේ සටහන ලියන්නට මම සිතූයෙමි.

මහාචාර්ය සරච්චන්ද්‍ර සමඟ මගේ සම්බන්ධතාව ඇරැඹෙන්නේ 1970 දශකයේ එතුමාගේ මනමේ නාටකයේ රංගභූමි පාලක ලෙස කටයුතු කිරීම සමඟය. ඉන් පසු සර්ච්චන්ද්‍ර මහැදුරුතුමාගේ ප්‍රමුඛ නාට්‍ය නිර්මාණ වූ සිංහබාහු, ප්‍රේමතො ජායතී සෝකො, මහාසාර, වෙස්සන්තර හා අනෙකුත් බොහෝ නාට්‍ය සඳහා අංග රචනා ශිල්පියෙකු ගේ භූමිකාවට අමතරව, එතුමාගේ නාට්‍ය හා නාට්‍ය උළෙල සඳහා සමරු කලාප සංස්කරණය, ප්‍රචාරණය, මාධ්‍ය සම්බන්ධීකරණය ආදී ක්ෂේත්‍ර තුළ එතුමා හා සමීපව කටයුතුª කළ කාලය දශක තුනකටත් වඩා වැඩි යයි සිතේ. නාට්‍ය කටයුතුවලට අමතරව එතුමාගේ සාහිත්‍ය කටයුතුවලදී ද, ඇතැම් නව කෘතියක සෝදුපත් බැලීමේ කර්යයන් ද ඉටු කරමින් ගෙවුණු කාලය සැබැවින්ම ප්‍රියජනකය. ආශ්වාදජනකය. බොහෝ දෙනා නොදුටු, නොදකින අපූරු මනුස්සයෙකු ඔහු තුළ ජීවත් වූ බව එම කාලය තුළ මට පසක් විණ. එතුමාගේ සමීප ඇසුර ලබන්නට ලද අවස්ථාව මගේ ජීවිතයේ මා ලද කෙතරම් දුලබ වාසනාවක්දැයි එදාටත් වඩා දැඩි ලෙස අද දැනෙන බව කිව මනාය. හෙතෙම විශ්වවිද්‍යාලයේදී මහාචාර්යවරයෙකු වුවත්, වියතුන් සබා මැද වියත් ශාස්ත්‍රවන්තයෙකු වුවත්, රඟහලක නේපථ්‍යාගාරයකදී හෝ නිවසේදී සාමාන්‍ය සරච්චන්ද්‍ර කෙනෙක් වූයේය.

මහාචාර්ය සරච්චන්ද්‍ර තම ගෝල බාලයන් හෝ මිතුරන්ට අපූරු නම් පටබැඳ තිබූ බව එතුමා ළඟින් අසුරු කළෝ දනිති. ඒ අය අතර මහාචාර්යවරු, පරිපාලන නිලධාරීහු මෙන්ම නාට්‍ය කලා ක්ෂේත්‍රයේ ප්‍රබලයෝ ද වූහ. එක්තරා අවධියක ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ සභාපතිව සිටියේ මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නය. එකල සම්මාන සඳහා කෘති තෝරා ගැනිම පිළිබඳව දැඩි විරෝධතා එල්ල වී තිබූ අතර, සති අන්ත මෙන්ම දිනපතා පුවත්පත් මඟින් සාහිත්‍ය මණ්ඩල සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබිණ. ඉරිදා දිවයින සංග්‍රහය මෙහිදී පෙරමුණ ගත් බව මට මතකය. එවකට විශේෂාංග කර්තෘ හා නියෝජ්‍ය කර්තෘව සිටියේ සරච්චන්ද්‍රයන්ගේ සමීපතම පේරාදෙණි ශිෂ්‍යයෙක් වූ ගාමිණී සුමනසේකරය. මහාචාර්යතුමා දිනක් තම ගෝලයා අමතා ඉල්ලීමක් කරයි. ‘මොකද ගාමිණී ඔයගොල්ලො මේ අපේ මිනිරන් ට දිගටම පහර දෙනවා කියන්නේ අනේ ඔන්න ඕක නවත්තල දාලා ඒ මනුස්සයට කරදර නොකර ඉන්න’ මිණිවන් පී. තිලකරත්න මහැදුරුතුමා ඔහු ගුරුවර මහැදුරු සරච්චන්ද්‍රගේ පිහිට පතා තිබුණේ දිවයින ප්‍රහාරය නතර කර ගැනීමටය.

ඒ ඉල්ලීමට කන් දෙමින්ම තම ගෝලයාට අපූරු නමක් පටබැඳ තිබූ පුවත මිත්‍ර ගාමිණී අප සමඟ පැවසූයේ ඔහු ද සරච්චන්ද්‍රයන්ගේ එවන් අහිංසක සතුටක් ලබන පුරුදු කියමන් පිළිබඳ දත් බැවිනි. මහාචාර්යතුමා උපහාසාත්මක කතා බිණීමෙහි සූරයෙකි. සදය උපහාසය විනා සිත් රිදවීම් එවන් කතා තුළ නොවන බවයි අපගේ හැඟීම. එතුමන් විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය නාට්‍ය කලා සංගමය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද නාට්‍ය රැසක ප්‍රධාන භූමිකා රඟපාන වර්තමාන සිංහල වේදිකාවේ මිණක් බදු නළුවා වන ජයලත් මනෝරත්න තම ගුරුවරයා පිළිබඳ සැමරුමකදී නිතර සිහිපත් කරන එක් කතාවක් මෙසේය.

පෙමතො ජායතී සොකො නාට්‍යයේ රැ¼ගුමට නළු නිළියන් තෝරා ගැනීමේ හඬ පරීක්ෂණයට සරසවි සිසු සිසුවියෝ විශාල උනන්දුවක් දැක්වූයේ මහාචාර්යතුමාගේ නාට්‍යයක අත්වැල් ගායකයෙකු වීම පවා විශාල භාග්‍යයක් සේ සැලකූ බැවිනි. එවන් පරීක්ෂණයකට පැමිණ මහාචාර්යතුමා ඉදිරියේ ගීයක් ගයමින් සිටි මානවකයකුගෙන් එතුමා විමසා සිටියේ ‘කවුද කිව්වේ සින්දු කියන්න පුළුවන් කියලා. ඔහොම තව කාලයක් කියාගෙන යන කොට සමහර වෙලාවට ගායකයෙක් වෙන්න පුලුවන් වේවි’. ශිෂ්‍යයා නිහඬව පරීක්ෂණයෙන් ඉවත් වන්නේ ගුරුතුමා පිළිබඳ අහිතකින් නොවේ. ගායනයෙහි, රංගනයෙහි හපනා නිශ්චය කර ගැනීමේ ශ්‍රව්‍ය ඥානයක් මෙන්ම ඉවක් ද එතුමා සතු විය. බෝගම්බර ඇසළ මේලා සැණකෙළියේ ගී ගැයූ එඩ්මන්ඩ් විජේසිංහ ගේ ගායන, රංගන පෞරුෂය හඳුනා ගත් හෙතෙම මනමේ නාටකයේ වැදි රජුගේ භූමිකාවට ඔහු තෝරා ගන්නේ එබැවිනි. 1956 සිට අද දක්වා මනමේ නාටකයේ වැදි රජුන්ගේ භූමිකා කොතෙක් දැක තිබුණ ද ගායන හා රංගන පෞරුෂය විශිෂ්ට වූ එවන් වැදි රජෙකු මා දැක නොමැති බව සඳහන් කරනුයේ සරච්චන්ද්‍රගේ නළු නිළියන් තෝරා ගැනීම පිළිබඳ දැනුම පළපුරුද්දට මෙන්ම එඩ්මන්ඩ් විජේසිංහ වැනි නළුවෙකුගේ රංග ප්‍රාතිහාර්යයට ද ගරු කිරීමක් ලෙසය.

සරච්චන්ද්‍ර මහැදුරුතුමා මිත්‍ර සමාගමයට ළැදිය. ඇතැම් දිනෙක ඔහු ඇලුම් කරන මිතුරෙකුට රාත්‍රී භෝජනයට ඇරැයුම් කරයි. රාත්‍රී අටට එන්නැයි කීවොත් මිතුරා පැමිණිය ද නැත ද ඔහු කෑම මේසයට එයි. රාත්‍රී කාලයේදී සැර මත්පැනක් පාවිච්චි කළ ද දිවා කාලයේදී ඔහු සීත කළ බීර බීමට දැඩි ආසාවක් දැක් වීය. රාත්‍රී කෑමකට ඇරැයුම් ලැබ සිටින මිතුරා කැමැති පානය කුමක්දැයි ඔහු විමසයි. අරක්කු යයි කීවොත් සෝඩා, අයිස් අවශ්‍ය ද කියාත් විමසයි. සාලයේ කෙළවරක ඇති මත්පැන් ට්‍රොලිය වෙත යන ඔහු මිතුරාගේ පානය ද තමාගේ පානය ද සකස් කොට මිතුරා ළඟට ගෙනැවිත් දී සව්දිය පුරයි. මිතුරන්ට එලෙස ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමෙන් ඔහු මහත් තෘප්තියක් ලැබූ බව දනිමි.

ආහාර ගැනීමෙහිදී ද ඔහුටම ආවේණික වූ පුරුදු වේ. ඔහු තම පිඟානට භෝජනය සඳහා සකසා ඇති ව්‍යංජන පළමුව බෙදා ගනී. ඒවා එකින් එක රස බලා අවසන ඊට බත් ද එක්කොට ගෙන ආහාර ගැනීම එතුමාගේ පුරුද්දය. ව්‍යංජන බත් සමඟ මුසු නොකොට කෑමේදී ඒවායේ නියම රසය විඳ ගත හැකි බව ඔහු පවසයි. තම නාට්‍ය කණ්ඩායමේ ශිල්පියෙකුගේ අලුත උපන් දරුවෙකුට නමක් අවශ්‍ය වූ කළ ඔහු ඒ කටයුත්ත භාර ගනී. ඇතැම් අවස්ථාවක ජයවර්ධන පුර සරසවියේ පුස්තකාලයට ගොස් අවශ්‍ය පොත පතක් බලා සුදුසු නමක් යෝජනා කිරීම ඔහුගේ සිරිතය. වංගීස, වාගීෂ, මනුජ වැනි නම් ගම් ඔහුගේය. මේ නම ඇත්තෝ අද වැඩිහිටි තරුණයෝය. තම සමීපතමයන්ගේ දූ දරුවන්ගේ උපන් දින සාද, ඔවුන්ගේ අකුරු කියවීම් සඳහා වන ඇරැයුමක් ඔහුගෙන් ප්‍රතික්ෂේප වන්නේ, මඟ හරින්නට නොහැකි වැදගත්ම කටයුත්තක් යෙදී තිබුණහොත් පමණි. ඇතැම් උපන් දින සාදයකට සහභාගි වන එතුමා, එතුමාගේ අධ්‍යාපන මට්ටමට නොගැලපෙන ද දේශපාලන වශයෙන් පරස්පර මත දරන්නකුª සමඟ වුණ ද කිසිදු වෙනසකින් තොරව කතා බහ කරන්නට පුරුදුව සිටි චරිතයක් විය.

මහාචාර්ය තනතුර ඉවත් කොට එතුමාගේ ගති ගුණ හුරු පුරුදු ආදිය පිළිබඳ ලියන්නට මෙවැනි සටහනක ඉඩක් ලබා නොදුන්න ද තවත් එක් සිදුවීමක් පිළිබඳ ලියා මෙයට තිතක් තබන්නට සිදු වේ. එක්තරා රාත්‍රි කාලයක මහාචාර්යතුමා හා සැඳෑ සාමිචියක යෙදී සිටියේ කලා රසික තවත් මහාචාර්යවරයෙකු වූ කාලෝ ෆොන්සේකාය. දෙදෙනා අතර පැවති කතාබහ අතරතුර කාලෝ මහැදුරුතුමාට තිබූ ප්‍රශ්නයක් සරච්චන්ද්‍ර මහාචාර්යතුමාට ඉදිරිපත් කළේ මෙසේය. ‘ඩොක්ටර් සිංහබාහුවල සිංහබාහු අම්මත්, නංගිත් එක්ක ගල් ලෙනෙන් පිට වෙලා ගිය අවස්ථාවේ සිංහයගෙ සංවාදවල ප්‍රශ්නයක් තියෙනවා නේද? මොකක්ද කාලෝ ප්‍රශ්නෙ? සරච්චන්ද්‍රයන් විමසන්නේ සන්සුන්වය. ‘ඔබතුමා සිංහයා ලවා කියවන්නේ ගල්ලෙන බිඳලා සින්දුවෙදි මම දැන ගතිමි මම සැක කළෙමි - සිංහබා සිංහබා කියලා. ඒ්ක වැරැදියි නේද?’ ‘කොහොමද වැරැදි වෙන්නේ?’ සරච්චන්ද්‍රයෝ විමසති. ‘ඇයි ඩොක්ටර් සාමාන්‍යයෙන් මිනිස්සු ඉස්සර වෙලා සැක කරලානේ දැන ගන්නේ? දැනගෙන සැක කරන්නේ නෑනේ’ සරච්චන්ද්‍රයෝ සුපුරුදු සන්සුන් වෘතයෙන් කාලෝ මහැදුරුතුමාට මෙසේ පිළිතුරු දෙයි. ‘වෙන්න පුළුවන්, මිනිස්සු එහෙම වුණාට සිංහයෝ මුලින් දැනගෙන පස්සේ සැක කරනව ඇති කාලෝ’. මහාචාර්ය කාලේ ෆොන්සේකා නිරුත්තර වූ මොහොතේ මහාචාර්ය සරච්චන්ද්‍ර සුපුරුදු සන්සුන් ඉරියව්වෙහිම රැඳී සිටියේය.