වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




නර්තනයේ විස්මය ‘කුවේණි සහ විජය’ 08 වැනිදා

නර්තනයේ විස්මය ‘කුවේණි සහ විජය’ 08 වැනිදා

නිලාන් මලිගැස්පේ විසින් නිර්මාණය කර එළි දක්වන ‘කුවේණි සහ විජය’ බැලේ රංගනය සහ විවිධ නර්තන අංග ඇතුළත් නර්තනයේ විශ්මය (Power of Dance II)  මේ මස 08 වැනිදා මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගත කෙරේ.

නිලාන් මලිගැස්පේ ආර්පෙජියෝ නර්තන ඇකඩමියට විසි වසරක් සපිරීම නිමිතෙන් මෙය සංවිධානය කර ඇත.

කුවේණි සහ විජය බැලේ රංගනය මීට පෙර 2012 වසරේ ඉන්දියාවේ දී වේදිකා ගතකර ඇති අතර එය ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශයේ පැවැත්වූ මුල්ම දේශීය නැටුම් සංදර්ශනය වීමද සුවිශේෂී වේ. මෙම නර්තන නිර්මාණය, පිටපත සහ ඇඳුම් නිර්මාණය නිලාන් මලිගැස්පෙ විසිනි.

සංගීත නිර්මාණය සංජීව පරණමාන ගෙනි. ප්‍රදීප් ගුණරත්න, ඉරෝෂනා පෙරේරා මුද්‍රා නාට්‍ය හා බටහිර නර්තනයෙන් සහාය වෙති.

කුවේණි සහ විජය බැලේ රංගනය සඳහා ආර්පෙජියෝ ඇකඩමියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැත්තෑවක පමණ පිරිසක් දායක වීමට නියමිතය.

නිලාන් මලිගැස්පේ විසින් ආර්පෙජියෝ නර්තන ඇකඩමිය හරහා අඩු ආදායම් ලාභී පවුලවල දරුවන්ට තම කලා කුසලතා එළි දැක්වීමට අවස්ථාව ලබා දී තිබේ.

වසරක් පාසා ළමුන් බඳවා ගනිමින් නොමිලයේ ඔවුන් හට නර්තන පුහුණුව ලබාදෙන අතර අධ්‍යාපන කටයුතු සඳහා ද ගෙවීම් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

පාසල් සහ සරසවි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ රැකියාවන් හි නියුතු වූවෝද මේ හරහා නර්තනයට දායකත්වය ලබා දෙති. සෑම වසර එකහමාරක් පාසා පැවැත්වෙන නිෂ්පාදන අතරේ මෙවර සිදු කෙරෙන්නේ දසවැනි නිර්මාණයයි.