අභිෂේකාගේ දෝණි අභිලාස්‍යා යොවුන් ගායන ශිල්පිනී අභිෂේකා මුල් වරට සරසවියට
කියන කතාව
අභිෂේකාගේ දෝණි
අභිලාස්‍යා
යොවුන් ගායන ශිල්පිනී
අභිෂේකා මුල් වරට
සරසවියට කියන කතාව
නිල් පැහැයත්, සුදු පැහැයත් කැටි වුණු වලාපෙළ තරගයට වගේ අහසේ පාවුණා. ඒත් අහස එක්
කොණක වලාපෙළේ පැහැය කළුම කළු පාටයි. ඒ වලාපෙළ අතරෙන් තාලයට පියාඹන වැහිලිහිනියන්
රංචුව දිහා අභිෂේකා විමලවීර බලාගෙන උන්නේ පුදුමයෙන්.
‘බොහොම අපූරුයි’
ඈ සිතෙන් මිමිනුවා. එක් වරම අඳුරු වුණු සඳළු තලයට සිය සිත යොමු කළ ඈ දුටුවේ වහලට බර
වුණු අඹ ගසේ අතු ඉතියි, කොළයි. ඒ අතු ඉති අතරින් මතු වුණු ලේනිච්චියක්. ඈ අත්තෙන්
අත්තට පනිමින් ටිං ටිං කියමින් දිව්වා.
‘කොහෙද ඈ දුවන්නේ?’
අභිෂේකා ඇහුවේ ඇගෙන්මයි. ලේනිච්චිගෙන් අහකට නොගත්ත ඇගේ දෙනෙත් ලේනිච්චිත් සමඟම
ගමනක. ඒ ගමන නතර වුණේ ලේනිච්චි නතර වුණ නිසා. අතු ඉති අතර තිබුණු කොළ අතර පෙනුණේ
ලේන් කූඩුවක්. ලේනිච්චි එතැනට ඇවිත් ටිං ටිං ගෑව විතරයි කූඩුව ඇතුළෙන් ඇහුණෙත් ටිං
ටිං හඬක්.
‘ලේන් පැටියෙක්’
ලේනිච්චි කූඩුවට ගියා නෙවෙයි, පැන්නා. ඒත් එක්කම අභිෂේකාට බැලුණේ කාමරය ඇතුළේ
තොටිල්ලේ නිදන දූ සිඟිත්ත දිහා. ඈ දුවගෙන ගියේ අභිලාස්‍යා දූ ළගට. නින්දෙන් ඇහැරුණු
අභිලාස්‍යා දූගේ උවන සිනහවෙන් හැඩ වෙලා. ඈ දූට අත් දෙක පෑවේ වඩා ගන්න හිතාගෙන.
‘මෙන්න පත්තරෙන් ඇවිත්’
අභිෂේකාගේ අප්පච්චි තමන්ගේ එකම දුවට කිව්වේ තරමක් වේගවත් හඬින්.
‘එනවා අප්පච්චි’
අභිලාස්‍යා දුව අතට ගත්ත අභිෂේකා විමලවීර සෙමෙන් සෙමෙන් පහළට බැස්සේ ඈ තමන්ගේ ළයට
තුරුලු කරගෙන.
‘සොඳුරු මව් සෙනෙහසේ අරුමය’
මගේ සිතට සිතුණේ ඉබේමයි. ඈ සිනා වුණා. මව් පදවිය ලැබුවත් ඈ වෙනදා වගේමයි.
මා ඈට කිව්වේ ඒ සිනහවට පිළිතුරු සිනහවකින් පිළිතුරු දෙන ගමන්.
‘මගේ ජීවිතයම දැන් ඉතිං මගේ අභිලාස්‍යා දූ තමයි’
ඈ අභිලාස්‍යා දූ අම්මාගේ අතට දෙන ගමන් කිව්වා.
‘යොවුන් වියේදීම මව් පදවිය ලැබීම ගැන මොකද සිතෙන්නේ? මා විමසුවේ විවාහ වන විටත්
යෞවන වියේ පසුවුණු මේ තරුණිය ඒ වයසේදීම අම්මා කෙනෙක් වුණු නිසා.
‘බොහොම දෙනෙක් ඔය කතාව මගෙන් අහනවා. මොකද මාව නිතරම වගේ සමහරු දැක්කේ ළමා
වැඩසටහන්වලින්. ඒ නිසාද කොහෙද විවාහ වෙන කාලයෙත් මගෙන් බොහෝ දෙනා ඔය කතාවම ඇහුවා.
කොහොම වුණත් මට දැන් ඒ ගැන සතුටුයි. ඒ ලෝකයේම උතුම්ම පදවියට මා උරුමකම් කී නිසයි.’
ඇගේ දෙනෙත්වල සතුට දෝර ගලන්නේ රෝස පැහැති කොපුල් තල තව තවත් රෝස පැහැයට හරවමින්.
මවක් වීම කරදරකාරී බවක් කියලා සිතුණේ නැද්ද?
මවක් වීමේදී විඳින්නට වන බොහෝ කරදර අදටත් පොදු නිසයි මා ඇසුවේ.
‘අම්මා කෙනෙක් වුණු කාලයේදී ඉඳලා මගේ ළඟම හිටියේ අම්මා. ඒ කාලයේ සියලු දුක් කරදර
දරා ගන්නට මට උදව් වුණේ ඈ තමයි. ඒ වගේම මම කැමැති කෑම හැමෝම වගේ ගෙනත් දුන්නා. බබා
ලැබිලා ටික දවසකින් ඈ අඬන්න පටන් ගත්තට පස්සේ නම් ඉක්මනට මවක් වීම පිළිබඳව දැනුණේ
කරදරයක් කියලයි. ඒත් මේ වන විට නම් මට එහෙම හිතෙන්නේ නැහැ. දැන් තරමක් ඈ වැඩී ඇති
නිසා බොහොම හුරතල්. ඒ හුරතලේ අතර කාලය ගෙවෙන විට නම් දවස් ගත වෙනවා නොදැනෙන තරම්.
මීට කලින් දවස ගත කරන්නේ කොහොමද කියලා හිතුණත් දැන් එහෙම නැහැ. දැන් මටත් නිරාන්ටත්
දවස ගත කරන්න කාරණයක් තිබෙනවා.
ඔවුන්ගේ ජීවිතවලට සතුට අරගෙන චූටි දූ මේ ලෝකයට ආවේ නවම් මාසේ 19 වැනිදා. ඒ ලංකා
රෝහලේදී. උණුසුමෙ ගුලි වුණු සුදුම සුදු දූ පැටියාගේ උවන අභිෂේකාගේ උවනට ළං කළා.
‘ඒ දවස මතකද?’
‘අපේ වෛද්‍යවරයා වුණේ විජිත් විද්‍යාභූෂණ. මුලින්ම සාමාන්‍ය විදියේ දරු උපතක් අප
බලාගෙන හිටියත් අවසානයේ ඒ අදහස වෙනස් වුණා. ඒ දරුවා ලොකු නිසා ශල්‍යකර්මයකට යන්නට
සිදු වන බව වෛද්‍යවරයා පැවසූ නිසයි. ඒ අනුවයි දුව මේ ලෝකයට එන්නේ. ඉපදුණ ගමන්ම
දුවව මගේ කම්මුලට තිබ්බා. ඉන් දැනුණු උණුසුමත් සමඟ ඇති වුණ හැඟීම ගැන කියන්නට වචන
නැති තරම්. ඒ ගැන දන්නේ මව් පදවිය ලැබුව කෙනෙක් පමණක් කියලයි මට නම් සිතෙන්නේ. ඊට
පස්සේ බබාව අරගෙන ගියා. නැවත බබාව ගෙනෙන තුරු මම හිටියේ නොඉවසිල්ලෙන්.
ඒත් එතන
හිටිය නර්ස් කෙනෙක් කිව්වේ වෙන අම්මලාට මහන්සියට නින්ද යනවා, මෙයා තවමත් ඇහැරිලා
කියලයි. කොයි තරම් මහන්සි වුණත් නැවතත් බබාව ලැබෙන තුරු මම ඇහැරගෙන සිටියේ බොහොම
කැමැත්තෙන්. ඒත් සමඟම වගේ අපේ වගේම නිරාන්ගේ අම්මත්, තාත්තත් එතැනට ආවා. ඊළඟ දවසේ
අපි ගෙදර ගියා. ඒ දවස මගේ ජීවිතයේ නොමැකෙන දවසක් විදියට සටහන් වී තියේවි.’
නිවෙසට පැමිණි අමුත්තියගේ සියලු කටයුතු කෙරුණේ අභිෂේකාගේ සුරතෙන්. ඈ තම කුළුඳුල් දූ
නෑව්වා.
‘දුවගේ කටයුතු කරන්නට අපහසු වුණාද?’
‘බබෙක් ඉපදුණාට පස්සේ කරන්න ඕනෑ හැම චාරිත්‍රයක්ම මම කළේ බොහොම සතුටෙන්. මුල් දවස්
කිහිපයේ තරමක් අපහසු වුණත් ටිකෙන් ටිත ඒවා මා ඉගෙන ගත්තා. හිල් පොල් කටුවකින් නාවන
හැටි, රත කල්කය දෙන්න මේ වගේ බොහෝ දේවල් ඒ අතර තිබුණා. දුවව කාමරයට රැගෙන ඒමට පෙර
බාලගිරියා අද නෙවෙයි හෙටයි කියලා ලියන්නත් අපි අමතක කළේ නැහැ.’
මුලදී තිබුණු කරදර ටිකෙන් ටික දුරු වුණා. සුදු දූ හිනැහෙන්න ගත්තේ මේ අතර. ඒ හිනාව
බලාගෙන ගෙදර දුවගෙන ආවේ සුදු දූගේ අප්පච්චි නිරාන්.
‘සුදු දූගේ අප්පච්චි කන්තෝරු ඇරුණ විගසම ගෙදර දුවගෙන එන්නේ දූගේ හිනාවක් දකින්නයි.
දූ අප්පච්චිට පණ ඇරැලා. අපූරුවට හිනා වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහුත් ඉතිං මට ළමයෙක්
වගේ. දුවගේ කටයුතු අතර ඔහුගේ කටයුතු කරන්නත් මම අමතක කරන්නේ නැහැ.
මේ හැම දෙයකටම
අම්මගෙන් අප්පච්චිගෙන් ලැබෙන සහයෝගයත් මතකයට නැඟිය යුතුමයි. එ වගේම නිරාන්ගේ අම්මත්
තාත්තත් අපට බොහොම උදව් කරනවා. සුදු දූ ටිකක් ලොකු වුණාට පස්සේ මම සුපුරුදු විදියට
මගේ කලා කටයුතු ආරම්භ කරන්නත් හිතාගෙන ඉන්නවා.’
අභිලාස්‍යා දූට නම තිබ්බේ බොහොම අපූරු විදියට. ඒ අභිෂේකාගේත්, නිරාන්ගෙත් මංගල
උත්සවයේ තීම් එක වුණු ෆෙයාරි, (සුරංගනාවිය යන්නයි) සුදු දූගේ එක නමක්. ෆේරිගේ සීයා
සුනිල් විමලවීරත් තමන්ගේ මිනිබිරියට අභිලාස්‍යා කියලා තවත් නමක් දුන්නා.
‘ඒ නම් දෙකේම එකතුවෙන් ෆෙයාරි අභිලාස්‍යා අලහකෝන් කියලා අපි දුවට නම තිබ්දා. ඈ අපට
ඇත්තටම සුරංගනාවියක් වගේ.
නිරාන්ගේ අතේ සිටිය අභිලාස්‍යා දූ අම්මාගේ අතට පැන්නා. ඈ දුවට හාදුවක් දුන්නේ
‘මේ දෝණිව මම දැන් නම් අත හරින්නේ නෑ කියලා වගේ’
ඒ අතරම ඔවුන්ගේ දරු සුරතල් කැමරා කාචයේ සටහන් කර ගන්න මාලන් අයියා අමතක කළේ නැහැ.
සිනා වෙවී හිටිය අභිලාස්‍යා දූ එක පාරටම අඬන්න ගත්තා. අත්තම්මාත්, සීයත් මිනිබිරියව
නළවන්න එක එක දේ කරන්නේ තරගයට වගේ. ඒ සොඳුරු කැදැල්ලේ දරු සුරතල්වලට සමු දුන්න අපි
මිදුලට පිය මං කළේ වැහි වලාවට කලින් පය ඉක්මන් කරන්නට හිතාගෙන.
තිලානි ශානිකා විතානාච්චි
සේයාරූ -
මාලන් කරුණාරත්න
|