වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි ගීත රචනා කර තිබේද?

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

ඔව්. බඹරු ඇවිත් චිත්‍රපටයේ ‘උදුම්බරා හිනැහෙනවා’, ‘හඳුනා ගත්තොත් ඔබ මා’ සහ චිට්ටි චිත්‍රපටයේ ‘ලොරෙන්සෝ ද අල්මේදා’ යන ගීත ඔහු රචනා කළ ගීත අතර ජනප්‍රියයි.

සිනමාවේ දැනට සිටින ජනප්‍රිය විකට ශිල්පීන් දෙදෙනා ටෙනිිසන් කුරේ සහ බන්දු සමරසිංහයි. මේ දෙදෙනාගෙන් මුලින්ම සිනමාවට පැමිණියේ කව්ද? රඟපෑ චිත්‍රපටය කුමක්ද?

දයානන්ද සිල්වා

හික්කඩුව

මුලින්ම සිනමාවට පිවිසියේ බන්දු සමරසිංහ. ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය ඔහුගේ මුල්ම රංගනයයි.

තනුජා මුකර්ජි රඟපෑ සිංහල චිත්‍රපට මොනවාද?

පී. වයි. අනුලාවතී

අවිස්සාවේල්ල

පෙරළිකාරයෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඇයයි.

අපි පොඩි කාලයේ නම් සිනමාපට ගොන් කරත්තයේ හෝ අත් කරත්තයේ දමා ගෙන ගෙස් සිනමා ශාලාවට භාර දෙනවා දැක තිබෙනවා. දැන් නම් ඩී. වී. ඩී. පටයක් ගිහින් භාර දෙනවා. මේ වෙනස ගැන අයියාගෙන් යමක් දැනගන්න කැමැතියි.

කමලා සෙනවිරත්න

හෝකන්දර දකුණ

ඩී. වී. ඩී වලින් තවම සිනමා ශාලාවල චිත්‍රපට පෙන්වන්නේ නැහැ. හැබැයි රීල් අරගෙන හෝල් එකට යනකොට ගෙදරට වෙලා චිත්‍රපට බලන්න කාලයක් ඒවි කියලා හිතුවේ නැහැ. මේ වෙනසට මුහුණ දෙන්න බැරි නම් කරන්න දෙයක් නැහැ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමා ජීවිතය ගැන අර්ජුන් දරන අදහස අපට කියන්න.

එල්. එම්. ප්‍රේමසේන පෙරේරා

කළුබෝවිල

එතුමන්ගේ ජීවිතය යනු සිනමාවයි.

උදයකාන්ත වර්ණසූරියගේ කොස්තාපල් පුඤ්ඤසෝම චාලි චැප්ලින්ගේ අනුකරණයක් නේද?

ලක්ෂ්මන් රණසිංහ

වත්තල

චැප්ලින්ගේ වෙනත් චිත්‍රපට බැලුවත් චැප්ලින්ගේ පුඤ්ඤසෝම චිත්‍රපටය නම් බැලුවෙ නැහැ.

70 දශකයේදී පමණ ප්‍රදර්ශනය කරන ලද හින්දි චිත්‍රපටයක් වූ ‘ගුන්ජි ඌති ෂෙහෙනායි’ හි රඟපෑ ප්‍රධාන නළු නිළි යුවළ සහ එහි ‘ෂෙනායි’ වාදනය කළ ෂෙනායි වාදකයාගේ නම කුමක්ද?

මැණිකේ විල්වල

කෑගල්ල

රාජේන්ද්‍ර කුමාර් සහ අමිතා එහි ප්‍රධාන චරිත නිරූපණය කළා. ෂෙනායි වාදනය කළේ උස්තාද් බිස්මිල්ලා ඛාන් විසින්.

බර්සාත් චිත්‍රපටය ගැන හැඳින්වීමක් කරන්න.

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

සුනිල් ඔබට මේ උත්තර ලියන වෙලාවේ චිත්‍රපටයේ නම සිහිපත් වෙනවා. මොකද අදත් වැහි දවසක්. මේ නමින් චිත්‍රපට තුනක් තිරගත වුණා. පළමුවැන්න 1949 දීත්, දෙවැන්න 1995 දීත්, තෙවැන්න 2005 වසරේදීත් තිරගත වුණා. මේ අතරින් වඩා ජනප්‍රිය වුණේ 1949 වසරේ තිරගත වූ රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයයි. එහි රාජ් කපූර්, නාගීස්, ප්‍රේම්නාත් සහ නිම්මි ප්‍රධාන චරිත නිරූපණය කළා.

අප අතරින් වෙන්ව ගිය ගීත කෝකිලාවිය මුල්ම නිළි රැජන රුක්මණී දේවිය අවසන් වරට රඟපෑවේ ‘ සක්විති සුවය’ චිත්‍රපටයේ ද? නැත්නම් ඇර සොයිසා චිත්‍රපටයේද?

ජානක ඉලුක්කුඹුර

කඩවත

සක්විති සුවය චිත්‍රපටයේ.