වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා සංරක්‍ෂණාගාරය අප්‍රේල් 5 වැනි දා ඉතිහාසයේ යුග අවශ්‍යතාව සපිරේ

සිනමා සංරක්‍ෂණාගාරය අප්‍රේල් 5 වැනි දා ඉතිහාසයේ යුග අවශ්‍යතාව සපිරේ

නිළි රැජන මාලිනී ගේ උත්සාහයේ ප්‍රතිඵලයක්

දේශීය සිනමාවට ඉතාම අත්‍යවශ්‍යව තිබුණු සිනමා සංරක්‍ෂණාගාරයක් ලබන අප්‍රේල් මස පස්වැනි දා නිල වශයෙන් ආරම්භ කරන බැව් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය මාලිනී ෆොන්සේකා ‘සරසවිය’ ට විශේෂ හෙළිදරව්වක් කළාය.

ඇය මේ පිළිබඳ පැවසුවේ දහසයවන ඩොව්ලි ඒෂියා සිනමා උළෙලට පිටත්ව යාමට ද ප්‍රථමයෙනි. අතිගරු ජනාධිපතිතුමන් ගේ ආශීර්වාදය යටතේ කොළඹ ජාතික ලේඛණාරක්‍ෂණාගාර පරිශ්‍රයේ දී ඇරැඹෙන මෙම සංරක්‍ෂණාගාරය අප්‍රේල් 05 වැනි දාටම ඇරැඹීමට තීරණය කොට ඇත්තේ 1958 වර්ශයේ සිට සංරක්‍ෂණාගාරයක අවශ්‍යතාව දැඩිව පෙන්නා දුන් මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ට ගෞරවයක් ලෙසටය. ආචාර්ය ලෙස්ටර් ගේ අනූපස්වැනි ජන්ම දිනය එදිනට යෙදේ.

දීර්ඝ කාලයක් මුළුල්ලේ විවිධ පාර්ශ්වයන් ගේ කඹ ඇදීම්වලට ලක්ව එක තැන නතර වී වචනවලට පමණක් සීමා වූ සිනමා සංරක්‍ෂණාගාරය ගොඩනැගීම සඳහා ජාතික උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා බෙහෙවින් සහාය වූ බව මාලිනී සරසවියට පැවසීය.

මෙරටට සිනමා සංරක්‍ෂණාගාරයක ඕනෑකම මැනවින් තේරුම් ගත් මාලිනී පසුගිය කාලයේ ඒ වෙනුවෙන් දැඩි උනන්දුවකින් කටයුතු කළ අතර ඒ සඳහා එම අමාත්‍යාංශය සමඟ කළ සාකච්ඡාවේදී සංරක්‍ෂණාගාරයේ අධ්‍යක්‍ෂවරියක වන ආචාර්ය සරෝජා වෙත්තසිංහ කැපවීමෙන් ක්‍රියා කළ බැව් මාලිනී වැඩිදුරටත් පැවසීය. එමෙන්ම දළුගම සරසවි චිත්‍රාගාරයේ රණවන මහතා ද මෙම ජාතික කර්තව්‍යයේ දී දැඩි කැපවීමකින් කටයුතු කළේය.