වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




දැඩි සත්කාර ඒකකයේ හිටියේ මම මැරිල වගේ

දැඩි සත්කාර ඒකකයේ හිටියේ මම මැරිල වගේ

බිහිසුණු රිය අනතුරකින් පසු නෙල්සන් වාස් කතා කරයි

මමත් අමිත් අයියාත් දැන් සිටින්නේ නාරාහේන්පිට ලංකා රෝහලේ අටවැනි තට්ටුවේය.

නීල් අයියා කියපු විදිහට විසි හතරෙන් හය කාමරයේ තමයි එයා ඉන්න ඕනෑ.

අමිත් ඔළුව කසමින් කීය.

විසි හතරෙන් තුන. විසි හතරෙන් පහ, විසි හතරෙන් හය, මේ තියෙන්නේ.

නීල් අයියා කියලා ඇතිනේ අපි එනවා කියලා. ඒක හින්දා තට්ටු කරන්න ඕනෑ නැහැ. කෙළින්ම යමු ඇතුළට.

කවුද ඔයාලා?

ඇඳ මත සිටින තැනැත්තා කලබල වූ සෙයකි. ඔහුට එහායින් සිටින කාන්තාව ඔහුගේ බිරිය විය හැකිය.

අපි ‘සරසවියෙන්’

සරසවියෙන්? මොන සරසවියෙන්ද, පේරාදෙණිය සරසවියෙන්ද, කොළඹ සරසවියෙන්ද?

මමත් අමිත් අයියාත් මුහුණට මුහුණ බලා ගත්තෙමු.

නීල් අයියා කිව්වේ නැද්ද අපි එන වගක්?

නීල් අයියා? කවුද නීල් අයියා කිව්වේ . . .?

සන්ෆ්ලවර් නිල්. නීල් වර්ණකුලසූරිය.

එහෙමද . . . ඉතින් ඔයාලා කාවද හොයන්නේ?

අප තවත් තුෂ්නිම්භූත වීමු.

ෂුවර් එකට අපි ඇවිත් ඉන්නේ වැරැදි කාමරයකට. මටත් මේ එයාමද කියලා අඳුනගන්න බැහැ. මොකද සිංදු කියද්දී තියෙන රූපෙ නෙෙයිනෙ තියෙන්නේ.

මම කිව්වේ අමිත්ට ඇසෙන්න වුව ද එය ඔහුගේ ද කන වැටිණ.

ඇත්තටම කාවද ඔයාලා හොයන්නේ?

ඔහු පෙර පැනයම යළිත් විමසුවේ අපෙන් පිළිතුරක් නැති බැවිනි.

අපි හොයන්නේ නෙල්සන් වාස්ව.

නෙල්සන් වාස්ව? ඉතිං ඒ මමනේ. හැබැයි කොණ්ඩෙයි රැවුලයි නැහැ. ඔයාලා බය වුණා නේද? මං විහිළුවක් කළේ.

අප සැනසුම් සුසුමක් හෙළුවෙමු.

ඇත්තෙන්ම ඔහු දුටු විට අප හට ඇති වූයේ මහත් සංවේගයකි. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නිල සංකේතය බඳු වූ නෙල්සන් අද රෝහලක ඇඳක් මතට වී කල් ගෙවයි.

මල්ලිලට ඉතින් අමතුවෙන් කියන්න ඕනෑ නැහැනේ මට වුණු දේ ගැන.

ඒ වුණාට අයියේ ඔයාට මේ මොකද වුණේ කියලා පත්තරේ බලන අයට තේරුම් ගන්න බැරුව ඇති. ඒක නිසා අමාරු නැත්නම් වෙච්ච දේ කියමු.

නෙල්සන් ජනේලයෙන් පිටත පෙනෙන අහස දෙස මොහොතක් බලා සිටියේය.

හරියටම වැලන්ටයින් දවස. එදා මම හිටියේ මාතලේ. විශේෂ දේව මෙහෙයකට සහභාගි වුණා. ඒ පල්ලියේ ඩිලාන් ෆාදර් දේශනාව අතරතුරදී මං ගැනත් කිව්වා. එතුමාණන් උදාහරණයට ගත්තේ මං කියන වෙරි මට හොඳටම වෙරි සහ බෝතලේ ගීත දෙක. නෙල්සන් බීලා වෙරි වෙලා වගේ අපූරුවට රඟපාමින් ගීත කිව්වට සැබෑ ජීවිතයේදී සිගරට් එකක්වත් බොන්නේ නැති කෙනෙක් කිව්වා. එතැන සිටි ඔක්කොම ඒකට සාක්ෂි. මං ඒ කතාව කිව්වේ මේ වන විට දරුණු කට කතාවක් පැතිරෙන නිසා. මම බීලා වාහනේ එලවද්දිලු මෙහෙම ඇක්සිඩන්ට් වුණේ.

නෙල්සන් මඳක් ගිමන් හැරියේය.

අයියට එක දිගට කතා කරන්න අමාරුයි වගේ?

නෑ කමක් නැහැ. මං ඉතුරු ටිකත් කියන්නම්කෝ. එදා මාත් එක්ක හිටියේ අපේ බෑන්ඩ් එකේ කීබෝඩ් ගහන මල්ලි අකලංක. පල්ලියේදී ගීතයක් දෙකක් ගයලා ඔහුත් එක්ක කොළඹ ආවේ හොරණ ෂෝ එකක් තියෙන නිසා. එතෙන්දි මං මහන්සි වෙලා හිටපු බව දුටුව අමල් පෙරේරා ඔහුගේ වාරය මට දීලා ගයලා ඉක්මනට ගෙදර යන්න කිව්වා. මම තමා ඩ‍්‍රයිව් කරගෙන ආවේ. පෑලියගොඩ හයිවේ එන්ට්‍රන්ස් එක ළඟදී හයිවේ එකට දාන්න හදලත් නොදැම්මෙ තිබුණු නිදිමත සහ ගෙදර යන්න ලොකු හදිස්සියක් තිබුණේ නැති නිසා. ජාඇල පමුණුවගම හරියෙදි මට හොඳටම නිදිමත දැනුණා. මගේ මුහුණ දැකපු අකලංක වාහනේ ඩ‍්‍රයිව් කරන්න ඉල්ලා ගත්තා. එහෙම ටික දුරක් ගියා මතකයි. ලොකු සද්දයක් ආවා. එතකොටම මට සිහිය නැති වුණා. එච්චරයි මතක.

ඒ මූසල රාත්‍රිය ගැන නෙල්සන් කතා කරද්දී ඔහුගේ දෑසින් කඳුලක් වැටුණේ නොදැනවත්වමය. මේ අනතුරෙන් දරුණු ලෙසට අභ්‍යන්තර වශයෙන් තුවාල ලද නෙල්සන් මීගමුව ජාතික රෝහලට ඇතුළත් කෙරිණ. ඔහුගේ අක්මාවට, වකුගඩුවලට සහ පෙනනහැල්ලට දැඩිව හානි වී තිබිණ.

මල්ලි වෙලාවට මං සිට් බෙල්ට් දාගෙන හිටියේ. ඒක හින්දා තමයි බේරුණේ. මම මැරිලා වගේලු මීගමුව හොස්පිටල් එකේ දැඩි සත්කාර ඒකකයේ හිටියේ. එතැනින් මෙහාට ගෙනාවා. අද උදෙයි රැවුලයි කොණ්ඩෙයි කැපුවේ. මේ වෙලාවෙ වෛද්‍ය රොහාන් සිරිවර්ධන, වෛද්‍ය හඳගල යන වෛද්‍ය දෙවිවරුන් සහ නෝනා ශ්‍රියාණි වාස්, දුව ක්‍රිස්ටිනා ඇතුළු මට උදව් කළ හැමෝටම පිං.

නෙල්සන් වාස් නම් කණ්ඩායම් සංගීතයේ වෙනමම පිටුවක තමන්ගේම අනන්‍යතාවයක් යුතුව නවමු පරිච්ඡේදයක් සනිටුහන් කළ අපේ කාලයේ වීරයා නැවතත් මොහොතකට නිහඬ විය. දශක තුන හමාරකට ආසන්න කාලයක් සන්ෆ්ලවර්ස් සමඟ අත්වැල් බැඳගෙන අප පින වූ හෙතෙම මොන යම් හෝ මත ගැටුම් ඇති වුව ද සන්ෆ්ලවර්ස්ලාගේ නික්ම නොගියේය. ඔහු වේදිකාව මතට නැග මයික්‍රෆෝනය අතට ගනිද්දී අපි දෑස දල්වා බලා සිටියෙමු. කවුරුන් කෙසේ කීවත් නෙල්සන් ගැයූ සමහර ගීතයන්හී අවසානය සමාජයට වැදගත් පණිවුඩයක් දායාද කළේය. කුමන තරාතිරක සංගීත ලෝලියකු වුව ද ගීතය භාවිතයෙන් ඔවුන්ව සැනහීමට නෙල්සන් සමත් වූයේය.

නෙල්සන් අයියේ?

ඔව් මල්ලි.

ඔයා මෙහෙම ඇක්සිඩන්ට් වුණා කියලා දැනගත්තට පස්සේ ඔයාගේ රසික රසිකාවන් කිව්වේ මොනවද දන්නවද?

මට හිතාගන්න පුළුවන්. මාව ආයෙත් ඉක්මනට ප්‍රසංග වේදිකාවේ දකින්න ආසයි කියන්න ඇති. මෑතකාලිනව මං ටිකක් වැඩිපුරම තනිව ප්‍රසංගවලට සහභාගි වූණා. සමහර ඒවායින් මුදල්වත් ලැබුණේ නැහැ. මං මුදල් ඉල්ලන්න ගියෙත් නැහැ. මොකද දන්නවද රසික රසිකාවන් හින්දා තමයි අපි මෙතන ඉන්නේ. ඔවුන්ගේ ආශිර්වාදය හින්දා වෙන්න ඇති මං මෙතරම් ඉක්මනින් මේ විදිහට හරි කතා කරගන්න පුළුවන් වුණේ. මේ වගේම ඉක්මනින් ආයෙත් මම ගී කියන්න එනවා එනවාමයි.

නෙල්සන් අයියේ ඇත්තටම අපේ ප්‍රාර්ථනාවත් එයයි!