වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




දෙබස් කටේ රැවුල අතේ

දෙබස් කටේ රැවුල අතේ

දවසක් අපි චිත්‍රපටයක් රූපගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගියා. එහිදී හරි අපූරු සිද්ධියකට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් ඉතිං අපට අවශ්‍ය මේකප් එහෙම දාලා ඉවර වුණාට පස්සේ දෙබස් එහෙම හොඳට පාඩම් කරලා තිබුණ නිසා දර්ශනය ගන්න සියල්ල සූදානම් වුණා. කැමරාව ඔන් වුණා. ආලෝක දහරාවක් අපේ දෙසට යොමු කළා. රංගනයට මුල පුරන්න අධ්‍යක්ෂක ඇක්ෂන් කියලා විධානයක් දුන්නා. ඒ සමඟම මගේ ඉදිරියෙන් සිටි සැමුවෙල් රුද්‍රිගූ එයාගේ කොටස ආරම්භ කරමින් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. පිටපතේ හැටියට ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනෑ ආකාරයට මම බොහොම ගාම්භීරව ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඉදිරියට පියවර කීපයක් තියලා එක් අතක් එහෙම පිටුපසට තියාගෙන අනෙක් අතින් මගේ රැවුල අතගාන්නට පටන් ගත්තා.

රැවුල අතගාලා අත පහළට ගන්න කොටම පොල් මුඩ්ඩක් වගේ දෙයක් මගේ අතේ ගුලි වෙනවා වගේ මට දැනුණා. මම හෙමින්ම අත දිහා බලන කොට තමයි මට තේරුණේ සිද්ධ වෙලා තියෙන වැඩේ මොකක්ද කියලා. පිටතින් අලවලා තිබුණ රැවුල අතගාන කොට ඒ රැවුල ගැලවිලා මගේ අතට ඇවිත්. දැන් ඉතින් මොනවා කරන්නද? අතට ඇවිත් තියෙන රැවුල ආයේ අලව ගන්නද? ලයිට් එහෙමත් දාල කැමරාව ඔන් එකේ. අපේ වැඩ රෙකෝඩ් වෙනවා. ඔන්න ඉතිං මට ගණ දෙවි නුවණ පහළ වෙන්න පටන් ගත්තා. ඕනෑ දෙයක් කියලා මම තීරණයකට ආවා. පිටපතේ නැති දෙබසකට පිටතින් යමක් එකතු කරලා සිදු වෙච්ච දේ වහ ගන්නයි මගේ උත්සාහය.

අතට ගැලවිලා ආපු රැවුල එහෙම්මම අතේ ගුලි කරගෙන මට කරදරයක් වුණ ඇඟේ අවයවයක් ගලවා ඉවත් කිරීමට තරම් හැකියාවක් ඇති වීරයෙක් වගේ,

මට මේ රැවුල හරි කරදරයක්. මම මේක ගලවලා දැම්මා. කෝ දැන් කියමු බලන්න. අර කියපු දේ ආයෙත් කියලා සැමුවෙල්ට කියමින් පිටපතේ තිබුණ දෙබස ඉදිරියට කරගෙන ගියා. මේ සිදුවීම ප්‍රේක්ෂකයා තුළ මහත් කුතුහලයක් ඇති කළා පමණක් නොවෙයි, හාස්‍යජනක සිදුවීමකුත් නිර්මාණය වුණා. චිත්‍රපටයේ පිටපතේ තිබූ දෙබස්වලට වඩා ඒ වෙලාවේ මම අතින් දාල කිව්ව දෙබස් ඊටත් වඩා සුදුසුයි කියලා අධ්‍යක්ෂවරයාත් පිළිගත්තා.

ඒ හින්දම මේ දර්ශනයට පෙර රැවුල දාල රූපගත කිරීම් කරලා තිබුණ දර්ශන වෙනුවට රැවුල නැතුව ආයෙත් රූපගත කරන්න චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම තීරණය කළා. මගෙන් බලාපොරොත්තු වුණු රංගනයටත් වඩා මට වැරැදුණ දෙයින් හොඳ නිර්මාණයක් රසවත්ව ඉදිරිපත් කරන්න ඒ මොහොතේ මම කල්පනා කළ නිසා කවුරුත් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳ රංගනයක් මගෙන් ඉදිරිපත් වී තිබුණා.
 

චන්දන දයාසිරිවර්ධන

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල