වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




කවුරුවත් නැති වෙලාවට ඒක වැදුණොත් නොට් ඇට් හෝම් කියපං’

කවුරුවත් නැති වෙලාවට ඒක වැදුණොත් නොට් ඇට් හෝම් කියපං’

03 වැනි කොටස

සිරිරත්න, විල්බට් සමඟ කුස්සියට ගියේය. එයට යන්නට තිබුණේ ලොකු සාලයක් දිගේය. එහි දෙපස අලංකාර චිත්‍ර එල්ලා තිබිණි. සිරිරත්න එදෙස බලන්නට තැත් කළ ද එයට වේලාවක් නොවුණේ විල්බට් ඔහුව ඉක්මනින් කුස්සියට කැඳවා ගෙන ගිය හෙයිනි. කුස්සිය දුටු ඔහුට එය තම නිවසට වඩා ලොකු බව දැනිණ. මැදි වියේ ගැහැනියක් එහි එළවළු ශුද්ධ කරමින් උන්නාය.

විල්බට්ගේ හඬ ඇසුණු සැනින් ඇය ඔහු දෙස හැරී බැලුවේ නොරුස්නා විලාසයකිනි.

‘ඔන්න උඹට උදව්වට කොලුවෙන් අරං ආවා’

විල්බට් පැවසුවේය. නන්දාවතීගේ මුහුණේ වෙනසක් වූයේ නැත. ඇය යළි ආපසු හැරී තම කටයුත්තේ යෙදුණි.

‘දැන්වත් උඹේ නාහෙන් ඇඬිල්ල නවත්ත ගනිං’

විල්බට් මාමා පැවසුවේය. අනතුරුව විල්බට් යන්නට ගියේය. ඔහු හවසට එන්නේ නිවසේ හා වත්තේ මුරකාරකමටය. නන්දවතී ආපසු හැරී බලද්දීත් සිරිරත්න උන් තැනම හිටගෙන හිටියේය.

‘ඔහොම හිටං ඉඳලා බෑ. වැඩ තියෙනවා’

එවර නන්දාවතී අණ කරමින් කියා සිටියාය. සිරිරත්න හෙවත් සෑම් වැඩ පටන්ගත්තේ කුස්සිය අතුගාමිනි. රෑ ආහාරයට බත් එකක් බෙදා කුස්සියේ මේසය මත තැබිණ. බත් පත අතට ගත් සිරිරත්නට අම්මා සිහිවිය. එහෙත් ඔහු කිසිවක් පැවසුවේ නැත. කරබාගත් වනම බත්පත ගිල දැම්මේය.

සිරිරත්න සෑම් වූයේය. අවසන ඔහු සැමී බවට පත් විය. සැමීට එදා රෑ නිදන්නට ඇඳක් ලැබුණේය. එය ලණු ඇඳකි. ජීවිතයේ මුල්වරට ඔහු නිදා ගන්නට ඇඳකට ගොඩ වැදුණේ එදාය. එහෙත් නින්ද ඔහු අසලකටවත් නොආයේය. ඔහු ඇඳේ හැම පැත්තටම පෙරලුණේය. බැරිම තැන ඇඳට දමා තිබූ පැදුර සමඟ ඔහු බිමට ගියේය. එහෙත් වැඩි වේලාවක් ගත වූයේ නැත. කවුදෝ කතා කරනු ඔහුට ඇසිණ. ඔහු පැදුර මත වාඩි වී ටික වේලාවක් කල්පනා කළේය. ඔහුට උන්හිටි දිසාව නිනව් නැති විය.

එහෙත් එසැනෙන් තමා ජීවත් වනුයේ වෙනින් පෙදෙසක බැව් ඔහු වටහා ගත්තේය. ඔහු වහා නැගිට කාමරයෙන් එළියට බටුයේය. නන්දාවතී එළවළු සේදීම සැමීට බාර කළේය. ඔහු එළවළු ගෙන කුස්සියේ තිබූ ටැප් එක ළඟට ගියේය. තද නිදිමත ඔහුට බාධාවක් විය. ඔහු කැරට් අලය වතුරට අල්ලා ගෙන එහෙම්ම නිදි කිරා වැටිණි. ටික වේලාවකින් එතැනට නන්දාවතී කඩාගෙන පැන්නාය.

‘උඹ හිතන්නේ මං උඹේ අම්මා කියලද? නැගිටපං ගිහින් තේ අල්ලාපිය’

ඇය කෑගෑවාය. නන්දාවතී බන්දේසියක දමා දුන් තේ කෝප්ප දෙක රැගෙන සැමී ගෙතුළට ගියේය. සුදු මහත්තයා ඔහු දෙස නොබලාම එළියට ගියේය. මහත්තයා තම අතැති බන්දේසියෙන් තේ කෝප්පය අතට ගනීවි යැයි සිතූ සැමී එතැනම නැවතී හැරී බැලුවේය. එහෙත් කලබලයෙන් කාමරයෙන් එළියට බට නෝනා සැමීගේ ඇගේ වැදිණ. සැමී අතැති බන්දේසිය විසි වී තේ කොප්ප දෙක කෑලිවලට බිඳිනි. නෝනා නෙතේරෙන භාෂාවකින් යමක් කියා යන්නට ගියේය.

සැමී බිම වාඩි වී බිඳුණු කොප්ප කැබලි අහුලන්නට පටන් ගත්තේය. දුරකතනය නාද වන්නට පටන් ගත්තේ ද එවිටය. නන්දාවතී දුව විත් රිසීවරය කනේ තබා ගත්තාය. කුමක්දෝ උත්තරයක් දුන් ඇය අනතුරුව සැමී ළඟට කඩාපාත් වූවාය.

‘අරහේ ටෙලිෆෝන් එක වදිනවා බූරුවෝ. කවුරුවත් නැති වෙලාවට ඒක වැදුණොත් නොට් ඇට් හෝම් කියපං’.

සැමී බිඳ වැටුණු කෝප්ප කැබලි එකතු කරගෙන ගියේය. මාසයක්ම එක දිගට ගෙවී ගියේය. සැමී මුල් වරට වැටුපක් ලබා ගත්තේය. මාසයක් ගෙවුණ තැන විල්බට් මාමා පැමිණියේය. එදා හවස මාමා සමඟ නගරයට ගිය සැමී අම්මාට චීත්තයකුත්, මල්ලීට ටී ෂර්ට් එකකුත් ගත්තේය. ඔහු ඉතිරි මුදල් විල්බට් අතට දුන්නේය. පහුවදා දුරකතනය නාද විණි. එය අතට ගත්තේ නෝනාය.

‘සෑම් කෝල් එකක්’

වහා දුව ගිය සෑම්ට තමාට හුරු පුරුදු වචනය පැවසුවේය.

‘නොට් ඇට් හෝම්’

එහෙත් එයින් ඇසුණේ වෙනස් හඬකි. ඒ අම්මාගේය.

‘අම්මේ’

සැමී වෙනදාටත් වඩා අම්මාට ආදරයෙන් කතා කළේය. අම්මා ගම ගැන බොහෝ තොරතුරු පැවසුවාය. විල්බට් මාමා ඈ අතට මුදල් දීම සැමීගේ සිතට සහනයක් විය. එහෙත් මල්ලී හමුදාවට යෑමේ ආරංචිය ඔහු සසළ කළේය.

‘මගේ අම්මා තනියෙන් නේ’

සැමී පැවසුවේ හැඬුම් ස්වරයෙනි. අම්මා ඔහු අස්වැසූවේය. ඈ දුරකතන ඇමතුම ලබා ගත්තත් නගරයට පැමිණි පසුය.

කුස්සියේ වැඩට අමරතව මිදුල අතුගෑමත්, එය පිරිසුදු කිරීමත් පැවරුණේ සැමීටය. ඔහු ඒ කිසිවක් මුවින් නොබැණ අවසන් කළේය. එයින් නන්දාවතීට ලැබුණු විවේකය ඉමහත් විය.

වෙනදා මෙන් දහවල් නන්දාවතී පෙනෙන්නට නොසිටියෙන් සෑම් ඇය සොයා ගියේය. ඈ උන්නේ තද නින්දකය. ඔහු ආපසු කුස්සියට ගියේය. එහි කිසිදු පිළිවෙළක් නොවීය. උයන්නට ගත් බඩු බාහිරාදිය සෑම තැනමය. සැමී මොහොතක් කල්පනා කළේය. අනතුරුව ඔහු එය අස්පස් කරන්නට පටන් ගත්තේය.

නන්දාවතී එහි ආවේ ටික වේලාවකට පසුවය. මේ කොලුවා ඇයට සියලු කටයුතු පහසු කර දී තිබිණි. ඈ කතාබහෙන් තොරව තේ කෝප්පයක් සාදා සැමීට දුන්නාය.

‘මගේ ලේලි කැමැති නෑ මම ඉන්නවට’

නන්දාවතී මුල්වරට සැමීට සිය ජීවිතය ගැන පැවසුවාය. සැමී කට බලියගෙන එය අසා සිටියේය. ඔහු හූමිටි තියන්නට ගියේ නැත. රාත්‍රියේ සැමී නින්දට ගියේය. ඔහු එකවරම පිබිදිණ. නන්දාවතී ඔහුගේ කට වසා ඔහු ළඟින් වැතිරිණ.

පසුවදා උදෑසනින් පිබිදුණු ඈ සැමීට බිත්තර දෙකක් තම්බා දීමට අමතක නොකළාය. සැමී නන්දාවතී දෙස යටසින් බලා බත් පිඟාන අතට ගත්තේය.

තවත් ටික දිනක් ගෙවී ගියේය. එය නිවාඩු දිනයකි. සුදු මහත්තයාත්, නෝනාත් ගෙදර රැඳී උන්හ. සැමී වත්තේ වූ මල් පැළවලට පෝර දමමින් උන්නේය. නෝනා කලබලයෙන් පැමිණ සැමීට කතා කළාය.

‘සැමී උඹට ගෙදරින් කෝල් එකක්’

නෝනා පැවසුවාය. ඇය කතා කළේ ඉංග්‍රීසියෙනි. ‘නෝ ඇයි?’

දැන් සැමීට ඇයගේ වචන තේරුම් ගත හැක්කේය.

‘මං දන්නේ නෑ. උඹට ගමට යන්න වෙනවා’

පණිවිඩය ලත් සැනින් සැමී ගමට ගියේය. ගේ ඉදිරිපිට මිනිස්සු පිරී සිටියහ. අම්මා ඔහු දුටු සැනින් දිව ආවාය.

‘අනේ පුතේ උඹේ මල්ලී’

ලබන සතියේ තව කොටසක්