වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් මෙම චිත්‍රපටය ඉතාමත් සාර්ථක වෙනවා

දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් මෙම චිත්‍රපටය ඉතාමත් සාර්ථක වෙනවා

අපේ සිනමාවේ මහා දානපතිනිය ආචාර්ය සෝමා එදිරිසිංහ

වැහිබර ලකුණු විටන් විට මැවුණ ද තවමත් අහස පැහැබරය. ඉඳහිට හමන ආගන්තුක වියළි සුලං රැළි පැමිණීමට නියමිත වැස්සක ලකුණු කියාපායි. කාර්යාලය මායිමේ රට අඹ තුරු පෙළ මත ඔබ මොබ දුවන ලේන් රංචුවට වැස්සක පෙර නිමිති කලින්ම දැනී ඇති සැටියකි. තව සුළු මොහොතකින් කොළඹට වැහි වැටෙනා බව නියතය. ඊට පෙර අප ගමන පිටත්විය යුතුය. ප්‍රධාන කර්තෘතුමාත්, මමත් ආයතනයේ ප්‍රවාහන අංශය වෙතට යන අතරතුරදීත් කතාබහ කළේ ඇය ගැනය. ඒ සුන්දර හිතැත්තිය; දිරිය ලිය; ආදරණීය අම්මා තව මොහොතකින් අපට හමුවනු ඇත.

ආචාර්ය සෝමා එදිරිසිංහ . . .

ව්‍යාපාරික කාන්තාවක ලෙසටත්, චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසටත්, ප්‍රසිද්ධ සමාජ සේවිකාවක ලෙසටත් බහුචරිත දරමින් අප හමුවන ඇය අද අපේ කතා නායිකාවයි. සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කළ ඉතිහාසගත චරිතයක් වන ඒ සුන්දර හිතැත්තිය මේ දිනවල චිත්‍රපට ලෝකයේ කතාබහට ලක්වන්නේ සිරි දළදාගමනයෙහි සම නිෂ්පාදිකාව ලෙසටය.

ඇය ඉතාමත් සරල චාම් ගුණවත් දිවි පෙවෙතක හිමිකාරිණියකි. දැන් ඒ වග ස්ථිරය. ඉතාමත් සරල, පිළිවෙල කාර්යාල මේසයේ පුටු තුනකි. ඉන් එකක් කර්තෘතුමන්ට වෙන් වන අතර දෙවැන්න මටය.

‘ඉතිං . . . කොහොමද තොරතුරු?

කතාබහ ඇරැඹුවේ ඇයය.

කාර්යාල මේසයේ තෙවැනි පුටුව තවමත් හිස්ය. තව මොහොතකින් ඒ පුටුව පුරවන්නේ අප හිතවත් නිහාල් සංජයය.

‘හොඳින්. හුඟ කාලෙකින් මුණ ගැහුණේ . . .’

ප්‍රති උත්තරය කර්තෘතුමන්ගෙනි.

‘මේ චතුර . . .’

එතුමන් මා හඳුන්වා දෙන්නේ මේ කතාබහ අපට බාර දෙමිනි. පැහැබර වර්තමානයේ සිට ඇය ශක්තිමත් අතීතය වෙතට ගෙන යමින් මම කතාබහ ඇරැඹුවෙමි.

‘පුංචිම කාලේ ඉඳන් මං කලාවට ලැදියි. සින්දු අහන්න, නාට්‍යය බලන්න එහෙම හරිම ආසයි. නව යොවුන් වියේදී චිත්‍රපටවලට කොච්චර නම් ආදරය කළා ද කියනවා නම් නළු නිළියන්ගේ පින්තූර හොයාගෙන ඒව හරි ලස්සනට කපල අලවලා කොට්ටෙ යට තියාගෙන හිටිය කාලයක් මට තිබුණා. භේදයකින් තොරව හැම නළු නිළියන්ටම මං ඒ කාලේ පුදුම විදියට ආදරය කළා. චිත්‍රපට බලන්න අවස්ථාව අඩු වුණාට නිතරම හිටියේ චිත්‍රපට ලෝකේ.

මෙහෙම කාලයාගේ ඇවෑමෙන් ඊ. ඒ. පී. එදිරිසිංහයන් සමඟ මම විවාහ දිවියට පත්වුණා. ඒ කාලේ මගේ වැඩිමල් සහෝදරිය මට කිව්වේ ඔන්න දැන් රඟපාන්න පුළුවන් නිළියක් වෙන්න පුළුවන් කියලයි. විවාහයට පසුවත් කලාවට තිබුණු ළෙන්ගතු හිත ඈත් වුණේ නැහැ. ඒ කලේදි මං ආදරය කළ නිළියන්, නළුවන් සජීවීව හමුවන්නට මට වරම් ලැබුණා. මගේ මංගල උළෙලට ලංකාවේ සුප්‍රසිද්ධ නළු නිළියන් හැම දෙනාම පැමිණියා. එදා කවදාවත් සජීවීව නොදුටු මගේ ලෝකයේ තාරකා සමීපව ඇසුරු කරන්න ඉඩ ලැබුණා. මෙවැනි කාරණා කලාව වෙත මසිත ඇද බැඳ තබා ගැනීමට සෘජුව බලපෑවා.

එදිරිසිංහයන්ගේ අභාවයෙන් පසුව චිත්‍රපටයක් නිපදවන්නට ඒ බැඳීම මා ඉදිරියටම තල්ලු කළා. ඒ අනුව තමයි 1970 දී ධවල පුෂ්පය බිහිවුණේ. ධවල පුෂ්පයට ලැබුණු රසික ආකර්ෂණය චිත්‍රපට කර්මාන්තය තුළ ඉදිරි ගමනකට මාව පෙළඹෙව්වා කිව්වොත් නිවැරැදියි.

ඇය අපූරුවට අතීතයේ සැරිසරන්නීය. ඒ අතීතාවර්ජනය ඇය හිත සුව සදන කදිම භාවනාවක් වැනිය. දිරියෙන් විරියෙන් ඉදිරි පියවර තැබූ සහෘද අයකුට මෙනෙහි කොට සතුටු විය හැකි අතීතයක් ඇත්තේය. වර්තමානයක් ද ඇත්තේය. මම ඇය නැවත කැඳවන්නේ අද දිනටය.

අද සිරි දළදාගමනය චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු ඇරැඹෙනවා. ප්‍රථම වරට මෙම චිත්‍රපටයට සම නිෂ්පාදනයෙන් මා දායක වෙනවා. ඊට බලපෑ හේතු කාරණා කිහිපයක්ම තිබෙනවා. අපේ හාමුදුරුවෝ (පූජ්‍ය ශාස්ත්‍රපති අකරවිට සංඝානන්ද හිමි) මෙම චිත්‍රපටයට දායක වෙන්න මට ආරාධනා කළ වෙලාවේ දැනුණේ ලොකු සතුටක්. ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ අතීත කතාන්දරය සිනමාවට නැඟීමට යන සූදානම මට ඒ පෙළඹවීම ඇති කළා. ඉන් අනතුරුව සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසට අපි මේ කටයුත්ත ඇරැඹුවා. දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් මෙම චිත්‍රපටය ඉතාමත් සාර්ථක වෙනවා.

මං හිතනවා මේ චිත්‍රපටය ලංකාවේ හැමෝම නැරැඹිය යුතු චිත්‍රපටයක් කියලා. ඒ වගේම දරුවන්ට ඉතිහාසය ගැන මනාවට කියා දෙන කෘතියක් ලෙසටත් දළදාගමනය හැඳින්වූවාට වරදක් නැහැ. නේද සන්ජේ ...

ඇය අමතන්නේ තෙවැනි පිටුවෙහි ඈඳි ගත් සංජයටය. සංජේ ලෙස ඇය අමතන සංජය විසිපස් වසරක් ඊ. ඒ. පී. සමාගම සමග සම්බන්ධව සිටින හිතෛශිවන්තයෙකි. කතාන්දරය කෙටි වෙලාවකට වෙනතකට යොමුවුණේ සංජයගේ පැමිණීමත් සමගය.

ඇත්තටම අපි කරන දේ හරියට කරනවා. අපේ හෝල් වුණත් මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒකයි. මං කෙළින් හරියට වැඩ කරන කෙනෙක්. සංජය අපිත් එක්ක අවුරුදු විසි පහක් වැඩ කරනවා. ඔහු ඉතාම කැපවීමෙන් අවංකව තමන්ගේ කටයුතු කරන පුද්ගලයෙක්.

ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම චිත්‍රපටයක් නිපදවන්නේ වසර පහකට පසුවයි. ඒ පිළිබඳව කතා කිරීම වටිනා කටයුත්තකි.

‘අපේ හෝල්වලට චිත්‍රපට දාගන්න පුදුම පෝලිමක් තියෙනවා. ඉතිං ඒ නිසා ටික කාලයක් යනකල් චිත්‍රපටයක් නොකර ඉන්න අපි තීරණය කළා. මොකද අනෙක් නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු චිත්‍රපට නිර්මාණයට සෘජුව මෙන්ම වක්‍රව දායක වන පිරිස් රැකුණොත් තමයි දේශීය සිනමාවක් ඉතිරි වෙන්නේ. අපි චිත්‍රපට සමාගමක් විදියටත්, සිනමා ශාලා හිමිකාරිත්වය දරන ඉහළම සමාගමක් ලෙසටත් මේ කරුණු පිළිබඳ සැලකිලිමත් වෙනවා.

ඇය මේසය මත වූ පෑන ගෙන යමක් කොළයක් මත සටහන් කරයි. තත්පර කිහිපයක නිහඬතාවක්.

‘මගේ දේවල් කරගන්නේ මමමයි. එහෙම නොවුණේ නං මෙච්චර දුර එන්න ලැබෙන්නේ නැහැ. මගේ මහත්තයා නැති වුණහම බොහෝ යෝජනා මට ආවා. ඒ වගේම අප සතුව තිබුණු ඉඩම්වලට බාහිර වෙළෙඳ පොලේ ලොකු ඉල්ලුමක් තිබුණා. අපේ ඉඩම් මිලට ගන්න දවසට දෙතුන් දෙනා ආවා. බිං අඟළක් විකුනන්නේ නෑ කියලා මං හිතා ගත්තා. දරුවෝ තුන්දෙනා ඇස් වගේ බලාගෙන ඔවුන්ව යහ මඟ යවමින් තමයි මේ ව්‍යාපාර දියුණු කළේ. මං කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. තත්ත්පරයකින් අපේ ජීවිතේ බොහෝ පෙරළි වෙන්නට පුළුවන්. ඒ නිසා කාලය තමයි මගේ ජීවිතේ වටිනාම දෙය. මං මගේ දේවල් තනියම කර ගන්නවා.

‘මං දැක්ක ඔබතුමිය දවසක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තෝරනවා.’ කර්තෘතුමන් පවසන්නේ ඇයට මුව පුරා සිනා කැන්දවමිනි.

‘ඔව්’ මං තමයි ගෙදරට යන එළවළු ටික තවමත් ගේන්නේ. මොකද වැඩ කරන අය ගියහම ගේන්නේ මොනව හරි එළවලු. වට්ටක්ක කෑල්ල රහ නැහැ. මුරුංග ටික මෝරලා. පොලොස් ගේන්න කිව්වම ගේන්නේ කොස්. ඉතිං මට ඕනෑ දේවල් මං තෝර ගත්තම කාටවත් දොස් කියන්න ඕනැත් නෑ. කාගෙවත් හිත රිද්දන්න ඕනැත් නෑ. එතකොට හිත පිරිසුදුයි. මං කන්නේ මං ගෙනාපු එළවලු. අරපිරිමැස්මත් ඒ කටයුතු අතරට එකතු වෙනවා.

මාධ්‍ය ලෝකයේද ඊ. එ. පී. දැවන්තයින්ය. ඊට මං පෙත විවර වූ අයුරු ද දැනගත යුතුමය.

ලොකු පුතා තමයි රේඩියෝ එකක් පටන් ගනිමු කියලා යෝජනාව ගෙනාවේ. ඒ වෙලාවේ මමත් කෙළින්ම උත්තරේ දුන්න පටන් ගනිමු කියලා. ඒ අනුව ගුවන් විදුලි ක්ෂේත්‍රයට වගේම ඉන්පසුව රුපවාහිනී නාලිකාවකටත් අපි පියවර තිබ්බා. මේ හැම තැනම පරිපාලනයේ ඉන්නේ හොඳ මිනිස්සු. ඒ වගේම කාර්යශූර චරිත. ඒ නිසා ඉතා ඉක්මනින් හති නැතිව ඉදිරියට යන්න අපට හැකි වුණා.

ඉන් අනතුරුව මා ආචාර්ය සෝමා එදිරිසිංහ නම් සමාජ සේවිකාව හමු වෙමි.

1965 ගංවතුර වෙලාවේ තමයි මං සමාජ සේවා කටයුතු ඇරැඹුවේ. අපිට බොහෝ දුප්පත් පිරිස්වලට උපරිම උදව් කරන්න හැකි වුණා. ඉන් අනතුරුව දිගින් දිගටම ඒ වැඩසටහන ගෙන ගියා. සිංහ සමාජය සමඟ අත්වැල් බැද ගත්තා. සමාජ සේවා කටයුතු රැසක් ඉදිරියේදී දියත් කරන්නට බලාපාරොත්තු වෙනවා. මේ වන විට මා විසින් පවත්වාගෙන යන අක්ෂි රෝහලේ නොමිලේ අක්ෂි ශල්‍යකර්ම 1547 කරලා තියෙනවා. ඒ වගේම පුනර්ජීව වැඩසටහන හරහා බොහෝ පිරිස්වලට උදව් ලැබුණා. ඒ වගේ ගොඩක් දේවල් කරනවා. ඒවට ප්‍රසිද්ධියක් දෙන්න මම කැමැති නැහැ. පුංචි දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න දඟලනවාට වඩා ලොකු දෙයක් කරලා නිහඬව ඉන්නයි මං කැමැති.

සමාජ සේවිකාවක ලෙස මෙන්ම එකමුතුව කටයුතු කිරීමට ද ඇයට හැකියාව ඇති කාන්තාවකි. තමා නිපද වූ චිත්‍රපට සියල්ල විවිධ අධ්‍යක්ෂවරු වෙත බෙදා දෙමින් ඔවුන් සමඟ එකමුතුව ගත කළ කාලය ද සුන්දරය.

ලංකාවේ පිළිගත් අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙක් මා සමඟ චිත්‍රපට කරලා තියෙනවා. කේ. ඒ. ඩබ්ලිව්., එච්. ඩී. ප්‍රේමරත්න, රෝයි ද සිල්වා, රන්ජන් රාමනායක, උදයකාන්ත වර්ණසූරිය, වසන්ත ඔබේසේකර, සංජය නිර්මාල්, මිල්ටන් ජයවර්ධන, ප්‍රසන්න විතානගේ, සෙනේෂ් බණ්ඩාර වගේම දැන් සනත් අබේසේකර. මේ හැමෝම මමත් එක්ක වැඩ කළේ හරිම සහයෝගයෙන්. ඒ නිසා ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයට ප්‍රබල නිර්මාණ බිහි කළ නිෂ්පාදිකාවක් ලෙස නිහතමානී ආඩම්බරයක් මට තියෙනවා. ඒ වගේම ලංකාවේ රසිකයන්ට සුව පහසුව චිත්‍රපට නැරැඹීමේ අවස්ථාවත් අපි උදා කළා.

කොහොමද ඉදිරි කටයුතු . . . එතනින් තාවකාලික සමුගැනීම සිදු කළ යුතුය.

ඉදිරියේදී අපේ සිනමා ශාලා සියල්ල ඩිජිටල් කරන්නට සූදානමක් තිබෙනවා. ඒ වගේම හොඳ චිත්‍රපට ද්විත්වයක් නිෂ්පාදනය කරන්නට හිතාගෙන ඉන්නවා. ඉන් පළමුවන්න යශෝධරා. දෙවැන්න ප්‍රේම කතාවක්. ඒ වගේම තව නොබෝ දිනකින් කෝට්ටේ සංහිඳ වැඩිහිටි නිවාසබිමේදී මගේ කෞතුකාගාරයක් විවෘත කිරීමට නියමිතයි. ‘ආචාර්ය සෝමා එදිරිසිංහ අතීතාවර්ජන’ තමයි ඒකේ නම.

සමාජ සේවා කටයුතු සිදු කරමින්, මගේ ව්‍යාපාර ඉතා හොඳින් පවත්වා ගනිමින්, සමාජයට උපරිම දේ ලබා දීම තමයි මගේ සැලසුම.

කතාව තවමත් නිම නැත. නමුදු නිම කළ යුතුව ඇත. ඒ තරමට ඒ කතාව රසවත්ව, ගුණයෙන් සුපෝෂිතය. නිහතමානී බවෙන් දිලෙන්නේය.

ඇය . . . සැමට පූර්වදර්ශයක් මෙන්ම සරල නිදසුනක් ද වන්නීය.