වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සිරසට විස්සයි කිංස්ලිට විසි එකයි

සිරසට විස්සයි කිංස්ලිට විසි එකයි

සුවිසාල මන්දිරය පුරා සෙනඟ පිරී ඉතිරී ගොසිනි. ගෙමැද සාලයේ විශාල සැටිය මත වාඩි වී සිටින්නේ ලංකාවේ ජනප්‍රිය නාලිකාවක් වන සිරසේ ජනප්‍රියම නිවේදකයකි. විශාල විදුලි පහන් දෙපසින් දැල්වෙමින් තිබුණේ වැඩසටහන ආරම්භ වීමට ආසන්නන මොහොතට ළඟා වෙමිනි.

නිමේෂයකින් පටිගත කිරීම ඇරැඹුණි. මේ විශේෂිත වූ පටිගත කිරීමට කැඳවාගෙන ආ සිනමා තරුව කවුදැයි කවුරුත් මවිතයෙන් බලා සිටින්නේ මහත් කුතුහලයෙනි. එහෙත් එහි කැඳවාගෙන ආවේ කවුදැයි දැන සිටියේ සිරස ‘හිට් චැට්’ වැඩසටහනේ නිවේදකවරයාත්, නිෂ්පාදකවරයාත් පමණකි.

එහෙත් සාකච්ඡාව ආරම්භ වී ඔහු හඳුන්වා දීමෙන් පසුව එහි සිටි සෙනඟ සොයා ගැනීමටවත් නොහැකි විය. වැඩසටහන පටිගත කළ කණ්ඩායමත් තව කිහිප දෙනකු පමණක් සිටියදී සියලු දෙනාම අතුරුදන් වූයේ එම සාකච්ඡාවට පැමිණ සිටියේ සිනමා තරුවක් නොව ‘ඒඩ්ස්’ රෝගියකු බව දැන ගැනීමෙනි.

ඒඩ්ස් රෝගය හඳුනාගත් කාල වකවානුවේ ඉතාම භයානක රෝගයක් ලෙස එය පැතිරීගෙන යන මුල්ම කාලයේ මෙවැනි රෝගියකු දැකීමට පවා බියජනක විය. කාගේත් අකැමැත්ත හා විරෝධය මත සිදු වූ මෙම පටිගත කිරීමෙන් පසුව එම නිවෙසේ සිදු වූ මහත් කලබගෑනියකි.

වැඩසටහන යාන්තමින් පටිගත කරගත් ‘සිරස’ මාධ්‍ය කණ්ඩායම එම නිවෙසින් බේරී ආවේ අනූ නවයෙනි. ඉන් පසුව එහි සිදු වී තිබුණේ ඉතාම අවාසනාවන්ත සිදුවීම් පෙළකි. රෝගියා තේ බීපු කොප්පය පවා වළ දමා ඔහු වාඩි වී සිටි පුටුව ද විනාශ කරමින් එය පටිගත කිරීම සම්බන්ධීකරණය කළ අයට ද එම නිවැසියන් නොසෑහෙන්න හොඳම වචනයෙන් සංග්‍රහ කර තිබුණි.

මේ අභියෝගාත්මක ගවේෂණ වැඩසටහනේ නිවේදකයා කවුරුන්දැයි සොයා මා එහි ගියේ වසර ගණනකට පසුය. ‘සිරස’ කියූ පමණින්ම දෙවනුව කියවෙන නම හිමි ඔහු සිරස එෆ්. එම්. හි මුල් පුටුව හොබවන කිංස්ලි රත්නායක.

සිරස එෆ්. එම්. හි වෙනසක් කළ කිංස්ලි සොයා කාලයකට පස්සේ ඔහු හමුවීමට විශේෂ නිමිත්තක් ඇත. නොබෝදා ‘සිරස’ට අවුරුදු 20 ක් සපිරීමය. ‘ සිරස’ට අවුරුදු 20 ක් පිරෙන කොට කිංස්ලිගේ මාධ්‍ය ජීවිතයට අවුරුදු 21 ක්. සිරසත් එක්ක හැමදාම ජීවත්වුණු කිංස්ලිගේ මාධ්‍ය ජීවිතයට ‘සිරස’ට වඩා අවුරුද්දකින් වැඩි වුණේ කොහොමද? අපේ කතාව එතැනින් පටන් ගනිමු.

‘ඇත්තටම මගේ මාධ්‍ය ජීවිතේ ඇයි හොඳයිය පටන් ගන්නේ ‘මුතුහර’ ළමා සමාජ වැඩසටහනෙන්. ඒ කාලේ මම පත්තරේ දාලා තිබුණා නිවේදකයන් බඳවා ගැනීමට අයැදුම් පත්තයක් හරහා තමයි ‘සිරස’ට බැඳුණේ. පුංචි කාලේ එකම එක සැරයක් විතරයි ගුවන් විදුලි වැඩසටහනකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ තර්ස්ටන් විද්‍යාලයේ තුනේ පංතියේ ඉන්න කොට තරගයකට ඉදිරිපත් වෙලා ළමයි විස්සක් විතර තේරිලා ගුවන් විදුලියේ ගීතයක අත්වැල් ගායනයක් කළා. ඉන් පස්සේ මට කිසිම ගුවන් විදුලි අත්දැකීමක් තිබුණේ නැහැ. මුලින්ම මම ගුවන් විදුලියක වැඩ කරන්න ආවේ සිරසට.

පාසල් යන කාලේ ගැන කතා කළොත්?

මම ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා තර්ස්ටන්වලින් ආනන්දෙට ආවේ ලංකාවේ ශිෂ්‍යත්ව ලකුණු වැඩියෙන්ම ගත්ත ශිෂ්‍යයකු විදිහට. නමුත් සාමාන්‍ය පෙළට එනකොට මගේ විෂයය බාහිර වැඩ වැඩි වුණා. විවාද කණ්ඩායම්, මාධ්‍ය කව සංගම් මේ වගේ දේවල් නිසා ගණිතය විෂය මට ගිළිහුණා. හැබැයි සිංහල පැත්ත වැඩි වුණා. ඒත් මට ගණිතයට ‘ඩී’ එකක් තිබුණා.

ඔබ ‘සිරස’ට එකතු වුණේ?

මම ‘සිරස’ට එකතු වුණේ උසස් පෙළ අපේක්ෂකයකු ලෙසට. ඇත්තටම ‘සිරස’ට අවුරුදු 20 ක් වුණාට මම සිරසට ආවේ ටෙස්ට් ට්‍රාස්මිසන් එකක් යන කාලේ. ඒ කියන්නේ උසස් පෙළ ප්‍රතිඵල එනකොට මම සිරසේ සේවකයෙක්. විශ්ව විද්‍යාලයේ මගේ උපාධිය සම්පූර්ණ කළේ සිරසේ වැඩ කරන ගමන්. උපාධිය ගන්නකොටම සිරසේ ප්‍රධාන නිවේදකයා වෙලත් ඉවරයි. මගේ උපාධිය සම්පූර්ණ කර ගැනීමට මට පාලන අධිකාරියෙන් නිවාඩු ලැබුණා. හැබැයි මම රැග් සීසන් එකේදී නම් දිගටම කැම්පස් ගියා. මම කැම්පස් ගියේ තර්ස්ටන් යන කාලෙමයි. මොකද ඒ කාලේ බෝල ගහද්දී බෝලේ තර්ස්ටන් එකේ අල්ලපු වත්තේ තිබුණු කැම්පස් එකට ගියහම ඒක ඇහිදින්න කැම්පස් එකට පනිනවා. ඒ නිසා කැම්පස් එකේ විෂය කරුණු අලුත් වුණාට ඒ භූමිය මට කිසිම නුහුරු බවක් දැනුණේ නැහැ. ඒ කාලේ මම කැමැතිම විෂය වෙලා තිබුණේ මහාචාර්ය නයනී තිලගොඩ උගන්නපු ජාත්‍යන්තර සම්බන්ධතා විෂයය.

එෆ්. එම්. කලාවේ හැමදාමත් පෙරළිකාර චරිතයක් වුණු කිංස්ලි මාධ්‍ය ප්‍රධානියා වෙන්න පෙර නිවේදකයකු ලෙස මාධ්‍ය ජීවිතේ ලැබූ අත්දැකීම ගැන කතා කළොත්?

කොච්චර නම් දේ තියනවද . . .? අවුරුදු 25 පිරෙන කොට සිරසත් එක්ක මගේ ජීවිතේ කියලා පොතක් ලියන්න හිතාගෙන ඉන්නවා. ඇත්තටම සමහර දේවල් නම් හරිම හිනා යන දේවල්. ඒත් සමහර දේවල් කෑගහලා අඬන්න පුළුවන් සිද්ධි. ඒඩ්ස් රෝගියා සමඟ කරපු ඒ සාකච්ඡාවෙන් පස්සේ ඔහු මිය යන්න මොහොතකටත් පෙර අසාධ්‍ය වෙලා ඉන්න කාලේ නැවත වැඩසටහන් කළා. ඒ වගේම අපි කැස්බෑවෝ, ඌරෝ, ගවයෝ මැරීම ගැන කරපු ගවේෂණාත්මක වැඩසටහන් බලලා සමාජයේ ලොකු වෙනසක් වුණා. විශාල පිරිසක් නිර්මාංස වුණෙත් ඒ හේතුවෙන්. සෝම හාමුදුරුවෝ පවා අපේ කැසට් අරගෙන ගිහින් උන්වහන්සේගේ ධර්ම දේශනා කරද්දී පෙන්නුවා.

ඔබේ වැඩසටහන් ගැන කතා කරද්දී සිරසේ ජනප්‍රියතම වැඩසටහනක් වුණු ‘සූරිය සිරස’ ගැන කතා නොකරම බැහැනේ?

ඔව්. . . ඒ වැඩසටහන කරගෙන ගියේ සැහැල්ලුවෙන් ඉතාම සරල ආකාරයට. එහෙත් ඊට වඩා ගවේෂණාත්මක යමක් මට කරන්න වුවමනාව තිබුණා. ඒ සඳහා තමයි සිරස ‘හිට් චැට්’ වැඩසටහන පටන් ගත්තේ. ඒ සඳහා සමාජයේ විවිධ චරිත පුද්ගලයෝ ගැන වෙනස්ම දෘෂ්ටියකින්, වෙනස්ම මානයකින් ස්පර්ශ කරන්න උත්සාහ කළා.

දැන් එෆ්. එම්. චැනල් අතර තිබෙන්නේ විශාල තරඟයක්. ඒ තරගය ඔබ දකින්නේ...?

ඇත්තටම නාලිකා අතර තරගයක් තියනවා. ඒත් ’සිරස’ අපි යන්නේ දැක්මක් එක්ක, ඉලක්කයකට. නාලිකා අතර ව්‍යාපාරමය තරගයක් හා සංකල්පමය තරගයක් තිබුණට ‘සිරස’ සැම විටම තරුණ පරපුර ආමන්ත්‍රණය කරමින් නිවැරැදි ඉලක්කය කරා ගමන් කරලා තියෙනවා. පෞද්ගලිකව ගත්තොත් ඇත්තටම තරගය තියෙන්නේ වෙන කා සමඟවත් නොවෙයි මමත් එක්කමයි.

ඒ කියන්නේ මේ තරගයේ ජයග්‍රාහකයා ඔබ පමණක් කියන එකද?

නැහැ. . . නැහැ . . . එහෙම එකක් නොවෙයි. නිවේදකයකු ලෙස මගේ භූමිකාවල තෘප්තිමත් ද? මම කරපු දේ, කරන දේ මේ රටේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වුණාද. අපේ පැරැණි නිවේදකයන් අනුගමනය කළ උපක්‍රම, විධි ක්‍රම හා මම මේ ක්ෂේත්‍රයට අලුත් යමක් කළා නම් අනාගතයේදී මිනිස්සුන්ට ඒ දේ තේරෙයි ද කියන මතයත් සමඟයි මම සිටින්නේ. මාව කිසි කෙනකුට පරද්දන්න බෑ කියන මතය නොවෙයි. මම ඊයේ කළ දේවල් සමඟ තමයි හෙටට කරන දේ සංසන්දනය වෙන්නේ. ඒ නිසා සමහර අය කියනවා එයා ඉස්සර තරම් හොඳට වැඩසටහන් කරන්නේ නැතුව ඇති. දැන් ඉස්සරට වඩා එයගේ කටහඬ හොඳයි. ඒ වගේ තමයි මම ගැනම සංසන්දනය වෙන්නේ. ඒ නිසා හැම විටම මගේ ක්ෂේත්‍රය වෙනස් කරමින් අලුත් ක්ෂේත්‍රයන් කරා යනවා.

ඒ කියන්නේ ඔබ දේශපාලනයටවත් එක් වෙන්න සිටිනවාද?

අපෝ කොහෙත්ම නැහැ. මම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සිනමාවට එකතු වුණා. මම රඟපෑ චිත්‍රපට දෙකක් ළඟදීම තිරගතවීමට නියමිතයි. ඒ චිත්‍රපට ගැන තිරගත වීමට ආසන්න කාලයේදීම සරසවියට කියන්නම්. ඒ වගේම දේශාටනය වගේ වැඩසටහන්වලදී වාර්තාකරණ පිළිබඳ වෙනස් මානයන්ට මම එකතු වුණා. ඒ කියන්නේ එම වාර්තා වැඩසටහන් විහිළු වැඩසටහන් කරනවා වෙනුවට ඒ දෙක අතරේ තියන ‘ඉම්පෝටේට්මන්ට්’ කියන ක්‍රමය හඳුන්වා දෙන්න මම උත්සාහ කළා. ඒ කියන්නේ විනෝදාස්වාදයයි තොරතුරුයි එකට ලබා දෙන්නේ කොහොමද කියලා අත්හදා බැලීමක් කරමින් සිටින්නේ.

එකම මාධ්‍ය නාලිකාවක එක දිගටම මෙවැනි කාලයක් රැඳීම තරමක අභියෝගයක්. ඇත්තටම ඒ අභියෝගය අතික්‍රමණය කළේ කොහොමද?

මාධ්‍ය ආයතනයක කටයුතු කරද්දී අපට ඕනෑ විදිහට 100% ක්ම ස්වාධීනව කටයුතු කරන්න ලැබෙන්නේ නැහැ. ලෝකයේ කිසිම මාධ්‍ය ආයතනයක් එහෙම වෙලත් නැහැ. පොදුවේ බැලුවාම ස්වාධීනත්වය සාපේක්ෂව මටත් වලංගුයි. අනෙක් මාධ්‍ය ආයතනත් එක්ක බලද්දී මම මේ අවුරුදු 21 කටයුතු කරන්නේ මගේ සභාපති ආර්. රාජා මහේන්ද්‍ර ඇතුළු කාර්යය මණ්ඩලයත් සමඟ. ඒගොල්ලෝ මාව හොඳින් තේරුම් අරගෙන තියෙනවා. ඒ වගේම මම ඔවුන්ව තේරුම් ගෙන තිබෙනවා. යමක් කරන්න කියන අවස්ථාවේදී මගේ හෘද සාක්ෂියට එකඟව ඒ දේ කරන්න බෑ කියලා කියන කොට, ඒ අය අවබෝධ කරගෙන තිබෙනවා එය තේරුම් ගන්න.

මගේ සභාපතිතුමා ඒ අවබෝධයෙන් ඔහුගේ දරුවෙකුට වගේ සලසලා තිබෙනවා. මම මෙම ආයතනයට ආවේ උසස් පෙළ අපේක්ෂාවෙන් සිටි ශිෂ්‍යයෙක් ලෙස විතරයි. මම අද අවුරුදු 21 ක් මාධ්‍ය ජීවිතය සම්පූර්ණ කරන, එහි මුල් පුටුව හොබවන භාරදූර කටයුත්ත පැවරිලා තිබෙනවා. අවුරුදු දහයකට වඩා මගේ රූපවාහිනී ජීවිතයේ අත්දැකීම් ලැබුවේ සිරසෙන්. ඇත්තටම පෞද්ගලිකව මට මේ සියලු දේ උපයා ගත්ත මට්ටමක කෙනෙක් නෙවෙයි. මම ආවේ සාමාන්‍ය මධ්‍යම පන්තියේ පවුලකින්. මම මාධ්‍ය ක්ෂේත්‍රයේ කිසිම පවුල් පසුබිමක් එක්ක ආපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපේ සීමාවන් තේරුම් අරගෙන කළමනකාරිත්වය සමඟ ගැටුමක් ඇතිකර නොගනිමින් අපේ හෘද සාක්ෂියට එකඟව වැඩ කිරීම නිසා තමයි මේ තරම් දුරක් කාලයක් මට එන්න අවස්ථාව ලැබුණේ.

ගමනට ඔබේ පවුලෙන් ලැබුණ දායකත්වය කොයි වගේද?

මගේ බිරිය, ඇය රුවන්මලී. මගේ පැරැණිම අසන්නියක්. දිගු ආදරයකින් තමයි අපි විවාහ වුණේ. ඉන් පසුව ඇයගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වුණා. අපට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව ජාත්‍යන්තර පාසලක ඉගෙනීමේ කටයුතු කරන්නේ. මගේ කාර්යය බහුල බවත් නිසා දරුවන්ගේ හැම දෙයක්ම බලන්නේ රුවන්මලී. ඒත් අපිට ඉඩ ලැබුණු සෑම මොහොතක්ම එකට ඉන්න, පුංචි විවේකයක් ගන්න කොළඹින් පිට යන්න ලැබීම හරිම සතුටක්. ඒ වගේම සැහැල්ලුවක්.

සිරසේ අවුරුදු 20 ක් සමඟ රැඳුණු ඒ කතාබහට සමුදෙන්නට මොහොත ළඟා වී තිබුණි. අවුරුදු විස්සකින් තරුණ වියට පා තබන සිරසේ අලුත්ම දේ ගැනත් කිංස්ලි හා හාපුරා ‘සරසවිය’ට එක් කළේ මෙවැනි වදනක්.

මගේ වැඩසටහන් කිසිම එකක් අවුරුදු විස්ස පුරාවටම සමච්චලයට හෝ මිනිස්සුන්ගේ වේදනාවට පත්නොවී පවත්වාගෙන යාමට ලැබීමම විශාල ආශිර්වාදයක් ලෙසයි මම දකින්නේ. මම කිරුළ නාලිකාව කරද්දිත් කිව්වේ සීනි කොහේ තිබුණක් කූඹි වහනවා කියලා. ඒ කියන්න් රසඥතාව ලබා දෙනවා නම් රසය ඇති තැනට ජනතාව ආකර්ෂණය වෙනවා. දෙවැනි දේ තමයි අපි කරන්න හදන දේ හෝ කරන දේ ගැන අපි කෑ ගහනවාට වඩා මිනිස්සුන්ගේ වචනයෙන්ම ඒක නැවත ඇහෙනවා නම් අපේ තේමාව සමාජයට පත්තියන් වෙනවා. අපි අලුත් දෙයක් කළා කියලා හයියෙන් කෑ ගහනවාට වඩා අපි අලුතින් දෙයක් කළාද කියලා ආපහු හැරිලා බලන කොට මිනිස්සු කියනවා ‘සිරස කළොත් අලුත් දෙයක් තමයි’ කියලා. ඒ දේ සෑම අවුරුද්දේම කියනවා. එම අලුත් දේ මේ අවුරුද්දත් ක්‍රියාත්මක වීම පටන් අරගෙන තියෙන බව ‘සිරස’ ඇසුවොත් දැනේවි.