වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ කසාදය කැඩිලා නෑ

මගේ කසාදය කැඩිලා නෑ

කේ. සුජීවා

ඉඟිමරන තරු රෑන කෝ
ගගනෙ දඟ කරන හඳපානේ හෝ
නොමැකෙන්න පායන්න
පෙම් පාට හැන්දෑවෙ
ඔබ එව්ව දේදුන්න කෝ . . .

කේ. සුජීවා එහෙම කියමින් කලක් රටම වසඟ කළා. එපමණක් ද නොව ඉන් පසුව අද දක්වාම ඇය අදටත් ප්‍රසංග වේදිකාවේ රැඳී සිටින්නේ ඉමහත් ජනප්‍රසාදය ලබමින්. සුජීවා මේ දිනවල නිතර නිතර මැලේසියාවට දුවනවා. ඒ මොන මොනවද අරගෙන එන්න. එහෙම ඇය එහෙට මෙහෙට සංචාරය කරද්දී සුජීවා ගැන වැඩිපුර කටකතාවන් පැතිරෙනවා. අරයගෙන් මෙයාගෙන් අහන්නේ නැතුව ඒවා ඇත්ත ද කියලා අපි සුජීවගෙන්ම ඇහැව්වා. ඒ මොහොතෙත් ඇය සිටියේ මැලේසියාවේ යන්න සූදානමින්.

සුජීවා විනාඩියකට කතා කරන්න පුළුවන්ද?

ප්‍රශ්නයක් නැහැ. අද රෑට ෆ්ලයිට් එක. පොඩ්ඩක් බිසී. ඒත් ‘සරසවිය’ට හින්දා කතා නොකර බැහැනේ. අහන්නකෝ බලන්න මොනවද දැනගන්න ඕනෑ.

අහන්න නම් තියෙන්නේ පොඩි ගොසිප් එකක් ගැන. ඊට කලින් කියන්නකො කොළඹ යනවා වගේ මැලේසියා දුවන්නේ ඇයි කියලා?

මගේ සැලෝන් එකට බඩු ගේන්න.

සැලෝන් එකට? ඒ කියන්නේ සුජීවා සැලෝන් එකක් පටන් ගන්නයි හදන්නේ?

හදන්නේ නෙවෙයි, මං පටන් අරගෙන ඉවරයි. ඒකට තව කලමනා ඕනෑ. ඒවා ගේන්නයි මේ රට යන්නේ.

සුජීවා?

ඔව්.

මං අහන දේට කෙලින් උත්තරයක් දෙනවද?

අනිවාර්යයෙන්ම.

ඔයා ගැන ආරංචියක් අපට ආවා? හැබැයි ඒක ඇත්ත ද බොරු ද දන්නේ නැහැ?

මොකක්ද අප්පේ ඒ.

ඔයාගෙයි සුනෙත් කැලුම්ගෙයි දීගය අහවර වෙලා කියලා?

කොහෙන්ද ඔයාට ඔය ආරංචිය ලැබුණේ.

අපිට ආරංචි ලැබෙන විදිහ ඔයාට කියන්න බැහැ?

හරි. ඒකත් එහෙමද. මං එහෙම ඇහැව්වේ ඔය වගේ දෙයක් මගෙන් මුලින්ම ඇහැව්වේ ඔයා නිසා.

කෝ මං අහපු දේට උත්තරයක්?

මගේ කසාදෙ කැඩිලා නැහැ.

කට කතාවලට බය නැද්ද?

කොහෙත්ම නැහැ. මගේ හිත යකඩ වගෙ හයියයි.

මේවා හදන අයට නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න පුළුවන්නේ ඔබ නිවැරැදි නම්?

ඒවා අනවශ්‍ය වැඩ අනික ඕවට කොහෙද වෙලාවක්. මේවා නිසා මගේ ජනප්‍රියත්වයයි වැඩි වෙන්නේ.

සුනෙත් මොකද කියන්නේ මේ කතා ගැන?

එයා එයාගේ වැඩ අනේ.

අනික මං චැලේන්ජ් කරනවා ඕන කෙනෙකුට

මොකක් ගැනද?

අද වෙනකම් මම සුනෙත්ගේ කාර් එකේ ඇරෙන්න වෙන වාහනේක ගිහිල්ලා නැහැ. ඒ වගේම මං වෙන මිනිහෙක් එක්ක කවදාවත් අයුතු විදිහට කතාබහවත් කරලා නැහැ. අනවශ්‍ය විදිහට ඇඟ පේන්න ඇඳුම් ඇඳලා නැහැ. අන්න ඒවා බොරු කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඒක තමයි චැලේන්ජ් එක. මේක විවෘත ආරාධනාවක්.

ඔබ හා සුනෙත් විවාහ වෙලා කොච්චර කල්ද?

අවුරුදු හතයි. මේ කාලය අතරතුරදි මං ඔහොම කතාවක් ඇහැව්වමයි.

කවුද මේවා පතුරවනවා ඇත්තේ?

අපේ සමහර අය ඉන්නවනේ කසාද බැඳලත් හොඳ පවුල් ජීවිත ගත කරන්නේ නැති. අන්න ඒ අය අපි ජීවත් වෙන විදිහට හරිම ඉරිසියයි. ඔවුන් වෙන්න ඇති මේ වගේ කතා හදන්නේ.

මේ වන විට සුජීවට ප්‍රේමාරාධනා කීයක් ඇවිත් තියනවද?

දෙයියන්ගේ පිහිටෙන් එකක්වත් නැහැ.

වෙන්න බැහැ?

වෙන්න බැරි මොකද. මං කසඳ බැඳලනෙ සිංදු කියන්න ආවේ. යන යන තැන්වලට සුනෙත්වත් එක්කගෙන ගියා. මං ඔය අනෙක් අය වගේ බාගෙට ඇඳගෙන වේදිකාවේ කෑ ගගහා මිනිස්සුන්ව කුලප්පු කරන්නේ නැහැනේ. මං දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මං මගේ ළමයට ආදරෙයි. ඒ වගකීම ඇතුව ඉන්න හින්දා අකරතැබ්බයක් නැහැ. ප්‍රේමාරාධනාත් නැහැ.

ඔබේ දියණියව කවද හරි සංගීතයට යොමු කරනවාද?

ඇය දැනටමත් කීබෝඩ් එක වාදනය කරනවා.

ඔබ දමිල, සුනෙත් සිංහල එදා ඔබේ විවාහයට ගෙවල්වලින් බාධා එල්ල වෙන්න ඇති?

ඔව්. ගෙවල්වල දැඩි විරෝධතාවය මැදයි අපි බැන්දේ. දැන්නම් ෂේප්.

සුජීවා දැන් බෞද්ධාගමට ලැදියිලු නේද?

එක ඇත්ත. මං වැඩිපුරම යන්නේ පන්සල්. උපතින් කතෝලිකයකු වුණාට සුනෙත් බුද්ධාගමේ නිසා පන්සල් යන්නට හුරු වුණා.

ඔබ දේශපාලනයට එන බවට රාවයකුත් පැතිරුණා?

තවම එහෙම අදහසක් නැහැ. ඡන්දෙ ඉල්ලනවා නම් කවදා හරි මඩකලපුව හෝ යාපනය යන ප්‍රදේශවලින් තමයි දේශපාලනයට මා එන්නේ.

එහෙනම් දැනට නවතිමු?

හොඳයි . . . මගේ රසික රසිකාවන්ට කියන්න මම අලුතින් සිංදු දෙකක් අවුට් කළා කියලා. එකක් ආරාධනා, අනික උනු තරම්. අහලා කමෙන්ට් දෙන්න.