වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ලෙනින්, නීල්, යසපාලිත සහ සේන

ලෙනින්, නීල්, යසපාලිත සහ සේන

මා සිනමා ලෝලියකු නැතහොත් බයිස්කෝප් පිස්සෙකු බවට පරිවර්තනය වනුයේ මගේ ළමා වියේදීය. එනම් හැත්තෑව දශකයේය.ඒ අවදියේ අද මෙන් ජාතක කතා හෝ ඵෙතිහාසික කතා හෝ සිනමාවට නැගුණේ නැත. එහෙත් එකල සිනමාවට තාරකා පහල වී සිටියහ. එකී තාරකා රශ්මියට වසඟ වන අප චිත්‍රපට නරඹන්නට ඇබ්බැහි වීමු. ගාමිණී ෆොන්සේකා සතුරන් ගෙන් පහර කා බිම වැටෙද්දී තුෂ්ණිම්භූත වන අපි ඔහු නැගී සිටිත්ම කටේ ඇගිලි මුවේ රුවා දෙදරන්නට විසිල් ගැසීමු. කොටින්ම අපි තරු වලට වහ වැටුණෙමු.

එමෙන්ම මොකක්දෝ හේතුවකට එකල පාසලින් චිත්‍රපට නරඹන්නට එක් කර ගෙන ගියේ දැන් නම් හීනෙකින් වත් පාසලකින් නිර්දේශ නොකරන චිත්‍රපට වලටය. මා බඹරු ඇවිත් නරඹනුයේ එලෙස පාසලින් ගෙන ගිය නිසාය. හොඳ චිත්‍රපටයක් පිළිබඳ අපට වැටහීමක් ලැබුණ් එලෙසය. එබැවින් ම සිනමාවේ පොදු ලක්ෂණ ද එහි එන සාර ගුණය ද යන සියල්ල සොයා යෑමේ පෙළඹවීමක් අපට ලැබිණ. අපට අගය කරවන ලද්දේ සිනමාව හරහා ජීවිතය කියැවීමය. අප මත්වූයේ සිනමාව එහි වින්දනය කරවීමයි.එබැවින්ම අපි එහි මහා සම්ප්‍රදායන්ට ගරු කළෙමු. සිනමාව අපේ ජීවිතය විය.

ඒ අවදියේ පහල වී සිනමා විචාරකයන් විසින් නිර්දය ලෙස හෙළා දුටු සිනමාකරුවන් තිදෙනෙකු හා ඔවුන්ගේ සිනමා නිර්මාණ විමසන ග්‍රන්ථයක් පසුගිය සතියේ මට කියවන්නට ලැබිණ. එය නම් කර තිබුනේ ලෙනින්, නීල් සහ යසපාලිත යනුවෙනි.ඒලෙනින් මොරායස් නීල් රූපසිංහ සහ යසපාලිත නානායක්කාරය. ගත් කතුවරයා තුසිත ජයසුන්දරය. මා තුසිත සළකනුයෙ මෙරට වර්තමාන සිනමා විචාරක පරම්පරාවේ සිටින විචාරකයන් දෙතුන් දෙනා අතර උඩු ගං බලා යන්නා හැටියටය.ඔහු කිසිවිටකත් සිය සිනමා විචාරයේ දී ලෝකයේ සෙසු සිනමා නිර්මාණ සමග සැසඳීමක් නොයෙදෙන්නෙකි.එමෙන්ම ඔහු සිනමා විචාරයේ යෙදෙනුයේ සිවිල් බලයක් අවශ්‍යතාවයෙන් නොවේ. සැබැවින්ම සිනමා ලෝලියකු හැටියටය.

විෂය කොට ගන්නා සිනමා කරුවන් තිදෙනාම හැත්තෑව දශකයේ බිහි වන අලුත් සිනමාකරුවන්ය.එහෙත් එකල සිනමාවට පිවිසි සෙසු සිනමාකරුවන් මෙන් නොව ඔවුන් සිය කෘතින් බිහි කරනුයේ පොදු ජන වෙළද පොල ඉලක්ක කර ගෙනය. එකල සිනමා විචාරකයන් මුව හමට තඩි බාන්නා ලෙස පහර දුන්නේ ඔවුන්ගේ සිනමාවටය. එහෙත් එම සිනමාව අතිශය ජනප්‍රිය විය. හැත්තෑව දශකයේ අගය කළ ඇතැම් චිත්‍රපට වෙනුවට වර්තමාන පරම්පරාව වැදගත් ලෙස සළකනුයේ මේ ත්‍රිමූර්තියේ තැනූ චිත්‍රපටයන්ය. එය පුදුමයක් නොවේ.

ඉතා මෑතක සිය විෂය නිබන්ධනය සඳහා විශ්ව විද්‍යාල සිසුවකු සිය මාතෘකව ලෙස තෝරා ගත්තේ ලෙනින් මොරායස්ය. ඔහුගේ වැඩිහිටි පරම්පරාව ලෙනින් නිර්දය ලෙස හෙලා දකින්නට ඇතිවග මගේ විශ්වාසයයි. එහෙත් ඇත්ත කතාව නම් මේ සිනමාකරුවන් ගේ චිත්‍රපට අතිශය ජනප්‍රිය වූ වගය. උඩු සිතින් ජෝතිපාල විරෝධීන් යටි සිතින් ජෝතිපාල ලෝලීන් බව පසක් වන්නට එතුමන් මිය යන තුරුම බලා සිටින්නට සිදු විය. එමෙන්ම මෙම ත්‍රිමූර්තියේ චිත්‍රපට අගය කරන්නට ඔවුන් සිනමාවෙන් සමුගන්නා තුරුම අපේ ඇතැම් සිනමා විචාරකයන් බලා සිටියහ.

මා සිනමා ලෝලියකු වූයේ ඇයි ද යන්නට මගේ ප්‍රසිද්ධ පිළිතුර නම් ළමා වියේ දී යසපාලිතගේ තුෂාරා නැරඹීමෙන් ලද අපූරු චමත්කාරය බවය. එහි සිනමාත්මක බවක් මට වැටහුණේ නැත. එහෙත් එය විනෝදය සපිරි අත්දැකීමක් විය. කලක් විචාරකයන් ගේ නිර්දය විවේචනයට ලක් වන චිත්‍රපටයක් හෝ සිනමාකරුවකු තවත් පරම්පරාවකට වීරයන් බවට පත්වීම පුදුමයක් නොවේ. ඩොලර් චිත්‍රපට මාලාව අද සිනමාව හදාරන සිසුන් අත අත් පොතක් වුවද එය තිර ගත කළ සමයේ විචාරකයන් විසින් නිර්දය ලෙස හෙළා දක්නා ලදී. අද අගය කරන ලෙනින් නීල් සහ යසපාලිත ද එදා එලෙස නිර්දය විවේචනයට ලක්විය. එයට මෙරටදී හේතුව ලෙස මා දකිනුයේ ඉන්දියාව හරහා අපට බලපෑ නරකම සාධකය සිනමා විචාරයේ දී තවමත් බලපැවැත්වීමයි. ඒ මිම්මෙන් අප සිනමාව මනිනුයේ සම්භාවනීය සහ වාණිජ යනුවෙනි. ඇත්ත නම් චිත්‍රපට වර්ග දෙකකි. එකක් හොඳ චිත්‍රපටයන්ය. දෙවැන්න නරක චිත්‍රපටයන්ය. කලාත්මක මිනුම දඬු හමුවේ සිනමාව වර්ගීකරණය කරනුයේ මුලින් එය හොඳ චිත්‍රපටයක් ද නැතහොත් නරක චිත්‍රපටයක් ද විමසා බැලීමෙන් පසුවය. හොඳ චිත්‍රපටයක් පිළිබඳ අර්ථ දැක්වීම මේ ලිපියේ ඉඩ කඩ අනුව කළ හැක්කක් නොවේ. එහෙත් ඉතා සරළ උදාහරණයක් සපයන්නේ නම් හතර දෙනාම සූරයෝ මුල් චිත්‍රපටය හොඳ චිත්‍රපටයකි. පසු නිෂ්පාදනය නරක චිත්‍රපටයකි.

නීල්,ලෙනින් සහ යසපාලිත යන තිදෙනාම සිනමා තරු සිය සිනමා කෘතින් ගේ ආලෝකය සඳහා යොදා ගත්හ. එහෙත් කිසි විටෙකත් තම නිර්මාණාත්මක කුසලතාව මත විනා තාරකා මත යැපෙන්නට උත්සාහ කළේ නැත.

සේන

ඉතිහාසය ලෙස සටහන් වනුයේ හැමවිටම ඇත්ත නොවේ. ජනප්‍රවාද සහ ජන මූලාශ්‍ර සමහර විට ඉතිහාස කතාවට වඩා වැඩි සත්‍යයක්යැයි ඇතැම්හු තර්ක කරති. එය සත්‍යයක් යැයි මට හැඟෙන්නේ තුසිතගේ කෘතිය කියවද්දීය. එහි තුසිත සඳහන් කරන ඇතැම් චිත්‍රපට සඳහා සිනමා තාරකාවන් වෙනස් වීම් ආදිය පසුපස ඇති ඇත්ත සිනමාවේ රස ඕපාදූපයන්ය. ගාමිණී මාලිනී වෙනුවට වෙනත් සිනමා තරකාවන් විකල්ප ලෙස තෝරා ගැනෙනුයේ ඇතැම් පරිබාහිර කාරණා මතය. පසු කලක ගාමිණී සහ ලෙනින් එක් නොවන්නේ තවත් කාරණයක් මත විනා නිර්මාණකරුවන්ගේ සංකල්ප හේතු කොට ගෙන නොවේ. මේ කාරණා කිසි කලක ග්‍රන්ථාරූඩ නොවී දනන් තුඩ තුඩ ඕපාදූප බවට පත් වෙයි. එහෙත් තුසිත ගේ වෑයම කිසිසේත් අවතක්සේරු නොකරමින් එහි එන කරුණු දෙකක් නිවැරැදි කරන්නට ද මම කැමැත්තෙමි. එකක් නම් තිස්ස විජේසුරේන්ද්‍ර කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා ගේ චිත්‍රපට සඳහා රංගනයට දායක නොවුණේය යන සටහනය. තිස්ස කේ.ඒ.ඩබ්ලිව් ගේ ළසඳා සහ නෑදෑයෝ යන චිත්‍රපටයන්හි රඟපෑවේය. එමෙන්ම යසපාලිත නිර්මාණය කරන ලද රෝසි චිත්‍රපටය ට පාදක වනුයේ අක්යෙන්කෝ පරේකෝශ් සේ නම් හින්දි චිත්‍රපටයකි. තුසිත සඳහන් කරනුයේ එය හින්දි චිත්‍රපටයක් නොවන බවය.

මේ සිනමා කරුවන් තිදෙනාගෙන් ජ්‍යෙෂ්ටතමයාත් පළපුරුදක් ඇතිව සිනමාකරණයට පිවිසෙනුයේත් ලෙනින් මොරායස්ය.ලෙනින් චිත්‍රපට දහසයක් නිර්මාණය කළේය. එයින් එක් චිත්‍රපටයක් දෙමළ චිත්‍රපටයකි. එමෙන්ම ඔහු සිනමාකරණයට පිවිසෙනුයේ ඉන්දියාවේ දී මූලික පුහුණුවක් ලැබීමෙන් පසුවය. ඔහු දක්ෂ කැමරා ශිල්පියකු විය. සිය මුල් චිත්‍රපටයට පෙරාතුව ඔහු නොනමින් චිත්‍රපට කිහිපයක් තනා තිබිණ. ඒවායේ අධ්‍යක්ෂක ලෙස සඳහන් වනුයේ වෙනත් නාමයන්ය. ඉතා අඩු පහසුකම් යටතේ ඔහු සිනමා රූ ගැන්වීමේ දි කළ විස්කම් අද පවා පුදුම සහගත කරුණුය. වරක ඔහු කැමරාව ටයරයක බැඳ එය ක්‍රියාත්මක කර පඩි පෙළක් දිගේ යැව්වේය. තවත් වරක කල් ඉකුත් වූ දළ සේයා පටයකින් වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කළේය. සිනමාකරුවකු ලෙස ඔහුගේ කාර්මික දැනුම පිළිබඳ සමකාලින සිනමාකරුවන් අද පවා සිහිපත් කරනුයේ භක්තියකිනි.

නීල් රූපසිංහ මේ සිනමා ත්‍රිමූර්තියේ අද පවා ජීවත් ව සිටින සිනමාකරුවාය. එමෙන්ම මා කැමතිම සිංහල චිත්‍රපට දහය අතරට ඔහුගේ හතර දෙනාම සූරයෝ මුල් චිත්‍රපටය නම් කරනුයේ දෙවරක් නොසිතාමය. එය එතරම් ජවසම්පන්න චිත්‍රපටයකි. සිය පවුලට අයත් වත්තල සමුද්‍රා සිනමාහලේ කළමනාකරු ලෙස සිනමාවට පිවිසෙන නීල් තෝරා ගන්නා වස්තු විෂයන් අතින් සෙසු සිනමාකරුවන් අබිබවා යයි. ඔහු අධ්‍යක්ෂණය කරනුයේ චිත්‍රපට අටකි. මේ චිත්‍රපට අට අතරින් ලස්සන කෙල්ල හැරුණු විට සෙසු සියළු චිත්‍රපට වස්තු විෂය අතින් ඔහුගේ ස්වීය අනන්‍යතාව ගොඩ නගා ගනී. ඔහුගේ මුල් චිත්‍රපට ත්‍රිත්වයම තරුණ ජවය කැටි කර ගත් නිර්මාණයන්ය. එම තේමාවන් ඒ අවදියේ විචාරක අවධානය යොමු කර ගත් සිනමාකරුවන් ද ඇතැම්විට වස්තු විෂය කොට ගත් ඒවාය. එහෙත් නීල් එය ඉදිරිපත් කරනුයේ වෙනස් සිනමා විලාසයකිනි.එමෙන්ම එහි සිටිනුයේ වීරයන්ය. පෙම්වතුන්ය.

යසපාලිත සිනමාවට පිවිසෙනුයේ කිසි කලක එළි නුදුටු තිසාහාමි චිත්‍රපටයේ සම නිෂ්පාදක හැටියටය. ඔහුගේ මුල්ම චිත්‍රපටය තුෂාරා සඳහා තෝරා ගැනෙන ප්‍රධාන නළුවා වන විජය කුමාරතුංගයන් සුපිරිතරුවක් බවට පත් වනුයේ එයින් පසුවය. යසපාලිත ඒ වන විට ජනප්‍රිය ගාමිණී මාලිනී යුගය වෙනුවට විජය මාලිනී යුගයක් සිනමාවට හඳුන්වා දෙයි. යසපාලිත සිය සිනමා ජීවිතයේ දී චිත්‍රපට 26 ක් අධ්‍යක්ෂණය කළේය. එයින් තුනක් දෙමළය. එමෙන්ම ඔහු කිසිකලක ගාමිණී ෆොන්සේකා සිය චිත්‍රපටයකට යොදා ගත්තේ නැත.එහෙත් මේ සිනමා කරුවන් තිදෙනාගේම අවසාන නිර්මාණ ඔවුන්ගේ මුල් නිර්මාන හා කිසිසේත් සැසඳීය නොහැක. එය එම සිනමාකරුවන් තිදෙනාටම පොදු වූ කරුණකි.

ඒ අතරින් ලෙනින් ජීවිතයේ අතිශය කණගාටුදායක ඉරණමකට මුහුණ පෑවේය.මේ සිනමාකරුවන් තිදෙනාම චිත්‍රපට නිර්මාණයේ දී පරමාදර්ශි සිනමාකරුවන් විය. පසුකලක අපේ සිනමාවේ ඉරණම පසුපස ඇත්තේ මෙබඳු සිනමාකරුවන් අහිමිවීමය. ඔවුන්ගේ චිත්‍රපට සාර්ථක වන්නට මා දකින හේතු රැසක් අතර මූලික කරුණ නම් ඔවුන් තම කෘතියට දක්වන්නාවූ අවංක කැපවීමය. එය හැම රූප රාමුවකම දැක ගත හැකිවන්නකි. විචාරකයන් විසින් කවර චෝදනා කළ ද ඔවුන්ගේ සිනමා නිර්මාණ පසුපස මේ සුන්දර මිනිසුන්ගේ හැඟීම් හා සිතුවිලි ඉස්මතු වන්නේය. මවා ගත් ප්‍රබුද්ධයකු වීම හෝ කෙසේ හෝ මුදල් ඉපැයීම හෝ එම නිර්මාණයන් ගේ දැක ගත නොහැකි විය. ඔවුන් ප්‍රෙක්ෂකයන්ට සම්ප්‍රේරණය කරනුයේ තමන් විසින් විඳීන්නට කැමැති වින්දනයයි. තුසිත ජයසුන්දර විසින් සිය කෘතියෙහි අවධානයට පත් නොකර ගන්නා තවත් සිනමාකරුවෙකු මෙහිලා සඳහන් කළ යුතුය. ඔහු සේන සමරසිංහය.

එකල බහු ජන මාධ්‍යය බහුතරය සිනමාවයැයි රසිකයන්ට කියා දුන්නේ එලොවටත් මෙලොවටත් නැති සිනමාවකි. ලෝක සිනමාවේ එකල නව ප්‍රවණතාවන් නොහඳුනා ලියන ලද මේ ලිපි කට පාඩම් කළ පාඩමක් ඔහේ වමාරා දැමුවක් වන්න. එයට මා දකින කදිම උදාහරණය එකල චිත්‍රපට සංස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන ලද පියසිරි ගුණරත්නගේ තිර රචනය නම් කෘතියයි.

කෙසේ වෙතත් තමා අදහන සිනමා දැක්ම වෙනුවෙන් පෙනී සිට එය බහුජන හිතාය යැයි සිතා කැපවුණු සිනමාකරුවන් නොවන්නට අපේ සිනමාව මෙතරම් දුර එනු නැත. අපට අද අඩු කෘතියට අවංක සිනමාකරුවන් ම නොවේ ද ? තමා නොවිඳීන නිර්මාණ සඳහා පඬිවරුන් ලෙස පෙනී සිටීම හෝ වෙනත් ලාබයන් උදෙසා තැනූ මොනවා හෝ යමක් චිත්‍රපට ලෙස විකිණීමේ වරදට දඬුවම් ලබනුයේ සමස්ත සිනමාවය. ලෙනින්,නීල් සහ යසපාලිත ගේ සිනමාව අදට ද පූර්වාදර්ශී කොට ගත යුත්තේ ද එය පරමාදර්ශී වනුයේ ද ඔවුන් සිය නිර්මාණය සඳහා දක්වන අවංක වින්දනය වීම එයින් ගම්‍ය වන නිසාය. එබඳු සිනමාකරුවන් වර්තමානයේ අපට දැක ගත නොහැක්කේ මන්දැයි මම මගෙන්ම විසා සිටින්නෙමි.