වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




විවාහයට කොටු වෙනවාට වඩා. . .

විවාහයට කොටු වෙනවාට වඩා. . .

බොලිවුඩයේ බොහෝ චිත්‍රපටවල මතකය එක් රැයක්වත් නොපවතී. ඒ හරියටම සහෝදර නළු නිළියන් අතර පවතින මිතුදමට වැඩි ආයු කාලයක් නැති පරිද්දෙන්ම ද? සිනමාවේ තෙවසරක අත්දැකීම් ඇති නාගිස් ෆක්රිට තවමත් මේ සිහින පුරවරය සිත අතරමං කරන තැනකි. සදාකාලික මිතුදමක් බලාපොරොත්තුවෙන් සහෝදර ශිල්පින්, ශිල්පිනියන් සමඟ මිත්‍රත්වයක් ගොඩනගා ගත්ත ද එය රූගත කිරීම් අවසන්වීමත් සමඟ අවසන් වෙන බව නාගිස් පවසන්නීය. රූගත කිරීමකට පසු ඔවුන් නන්නාඳුනන ලෙසින් හැසිරීම නිසා ඇයට ක්ෂේත්‍රය ගැන ඇත්තේ කලකිරීමකි.

‘රොක් ස්ටාර්’ සිනමාපටයෙන් බොලිවුඩ් ගමන ඇරැඹූ ඇය ‘මැඩ්‍රාස් කැෆේ’ චරිතයෙන් ද කොයි කාගේත් නොමඳ පැසසුමට ලක් වූවාය. නාගිස්ගේ අලුත්ම බලාපොරොත්තුව ‘මෙයින් තෙරා හීරෝ’ය.

‘මං තාම වතුරෙන් එළියට දැමූ මාළුවෙක් වගෙයි. සිහින පුරවරයේ සිදුවන දේවල් තේරුම් ගන්න උත්සාහ ගන්නවා. මේ සිනමා කර්මාන්තයේදී මට බොරු කොණ්ඩා, බොරු ඇස් පිහාටු වගේ ආයිත්තම් පලඳින්න, පියරු බබෙක් වගේ වර්ණ ගල්වන්න සිදු වෙනවා. ඒත් මම හැබෑ ජීවිතයේදී ආයිත්තම් විරෝධී කෙනෙක්.’ සිතට එකඟ නොවන බොහෝ දේ අතර නාගිස්ට මේ පමණට වැඩි විලාසිතා ද හිසරදයක් බවට පත් වී අවසානය.

පළමුවරට නාගිස්ගේ මව අමෙරිකාවේ සිට මූම්බායි පැමිණියාය. ඇය ජනවාරි මාසයේදී පැමිණියේ දියණියගේ මූම්බායි ජීවිතය ගැන සොයා බැලීමටයි. පසුගිය කාලයේ නාගිස්, ෂාහිඩ් කපූර් සමඟ එක්ව කාලය ගත කරන බවට ද රාවයක් පැතිරුණි. මව ඇයගේ හොඳම මිතුරියයි. එනිසා ආදරය ගැන විවෘතව මව සමඟ ඇය කතාකර තිබේ. නව සිනමාපටය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු නිසා ඇයට මව සමඟ දින කිහිපයකට වඩා ගත කිරීමට ඉඩ ලැබී නැත. එහෙත් ඒ කෙටි කාලයේදී ඇය මවට මුළු උතුරු ඉන්දියාවම පෙන්වා තිබේ.

බොලිවුඩයේ බිඳෙන මිතුදම් අතර බිතු සිතුවම් මෙන් පිටු නොපාන මිතුදම් ද ඇති බව නාගිස් පවසන්නීය. ඉලේනා ඩි කෲස් සහ වරුණ් ධවාන් ඒ මිතුරෝය.

සිනමාවේ පළමු පෙම්වතා රන්බීර් කපූර් වුව ද ඇය වඩාත් ඇලුම් කරන්නේ වරුණ් ධාවන්ටයි. වරුණ්ගේ කාරුණිකභාවයට ඇය ඉතා කැමැතිය. හිත ගිය තරුණයන් කොතෙක් සිටිය ද තමන් කිසි දිනක යළි විවාහ වේදැයි කියා නම් ඇයට සැකය.

නාගිස් මුලින්ම විවාහ වී සිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී හමු වූ තරුණයකු සමඟයි. හය මාසයක් ඔහු ඇසුරු කළ ද ඇයට හදිසි විවාහයකට කිසිදු අවශ්‍යතාවක් තිබී නැත. එහෙත් පෙම්වතාගේ ඕනෑකම නිසාම විවාහ වූ නාගිස් සිව් වසරක කාලයක් එක වහලක් යට ජීවත් වී තිබේ. නිවෙසක්, සුනඛ පෝතකයෙක්, වාහන මේ සියල්ල තිබුණ ද විවාහයකට කොටුවීමට වඩා ජීවිතයේ තවත් බොහෝ දේ කළ යුතුයි සිතූ නාගිස් ඔහුගෙන් වෙන් වුණාය. සංචාරයට ප්‍රිය කළ ඇය අවසානයේ නතර වූයේ බොලිවුඩ් පුරවරයේයි.