වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ජාති ජාතිත් ඔහු මගේම වේවා

ජාති ජාතිත් ඔහු මගේම වේවා

ඇන්ටන් ජූඩ්ගේ ආදරණීය බිරිය මානෙල්ගේ අතීත මතක

මන්දාරම් අහස පුරා සැරිසරන වැහි ලිහිණියන් වෙනදාට වඩා දුක්මුසු ගීයක් ගයනවා යැයි මානෙල්ට සිතුණි. බටහිර අහසම වැහිබර නිසා හනි හනිකට ඕ තම සෙනෙහෙබර සැමියාගේ ගමනට අවශ්‍ය අඩුම කුඩුම සූදානම් කළාය. ආත්මයෙන් ආත්මයට බැඳී ආ සෙනෙහසක් ඇති මේ යුග දිවිය දශක දෙකක් ද පසුකර තිබිණි.

රූගත කිරීමට අවශ්‍ය කළමනා සූදානම් කළ මානෙල් හනි හනිකට ඔහු වෙනුවෙන් කෑම ද සරි කළාය. නමුත් මානෙල්ගේ සිතට වෙනදාට වඩා මූසල හැඟීමක් දැනෙන්නට විය. මන්දාරම් අහස ගුගුරා පුපුරා ගිය හෙන හඬ පරදවමින් විශාල වැහි බිඳු පොළොවට පතිත වූයේ මඳ වැස්ස අනෝරා වැස්සක් බවට පත් වෙමින්ය.

නා කපන වැස්සට මානෙල්ගේ නිවෙස ඉදිරිපිට ගුරු පාර දොළක් බවට හැරී තිබුණි. පාර දිගේ ගලා යන වතුර පහරට හසුව ගසාගෙන යන මී පැටවකු බේර ගන්නට උගේ මව අසාර්ථක උත්සාහයක යෙදෙනු මානෙල් බලා සිටියේ තැතිගත් සිතිණි.

වේලාව රාත්‍රී හතට ද ආසන්න විය. මහ වැස්සේම පැමිණි සගයන් මානෙල්ගේ සෙනෙහෙබර සැමියාට පැවසුවේ රූගත කිරීම සඳහා කැඳවාගෙන යාමට පැමිණි බවයි. කිසිවෙකුගේ හිතක් නොරිදවන හෙතෙම ඉහත මාලයේ සිට මඳ දුරක් පැමිණ නැවත තම බිරිද වෙත හැරී පැමිණියේය. ඔහු මානෙල්ගේ හිස සිඹ ඇයට සමු දුන්නාය.

අවාසනාවක මහත. හරියටම 2012 මාර්තු 19 වැනි දින අලුයම් යාමයේ මූසල බස්සෙකුගේ හඬ ගෙට ඉහළින් ඇසෙනු අඩ නින්දේ සිටි මානෙල්ට ඇසිණි. ඒ සමඟම ඇගේ දුරකතනය නාද විය. එහි එහා කෙළවරේ සිටියේ ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුලය.

ඔහු ඇයට පැවසුවේ හැකි ඉක්මනින් රාගම රෝහලට පැමිණෙන ලෙසය. මානෙල් රාගම රෝහලට පැමිණෙන විට ඕ සසරින් සසරට පතාගෙන ආ සෙනෙහෙබර සැමියා ඇය අතහැර දෙව් මවු තුරුලේ සැඟව ගොස්ය. තම රංග ප්‍රතිභාවෙන් රටක් නැල වූ, සැනසූ ප්‍රවීණ රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් සියල්ලන්ම හැරදා මොක් සුව පතා ස්වර්ගස්ථ වී සිටියේය.

මේ ප්‍රවීණ කලාකරුවගේ මතක සමඟින් මෙවර ‘පිය සටහන්’ සමඟින් මතකයන් බෙදා ගන්නේ ඇන්ටන් ජූඩ් කලාකරුවාගේ සෙනෙහෙබර බිරිඳ මානෙල් විජේසේකරය.

‘අසූව දශකයේ මැද භාගයේදී මම පෞද්ගලික ආයතනයක සේවය කළා. ඒ ආයතනයේම සේවකයෙක් ලෙස ඇන්ටනුත් සේවය කළා. ඔහොම කාලයක් යනකොට ඇන්ටනුයි මමයි හොඳ මිතුරු මිතුරියන් බවට පත් වුණා. එසේ කියන විට ඇගේ දෙනෙතේ දිස්න්නේ ප්‍රීතිමත් හැඟීමක් වුවත් ඊට පිටුපස ඇති ශෝකය ඇගේ නෙත් කෙවෙනි අඟින් එලියට පනින කඳුළු කැට පවසන්නේ ආදරයක පැතුම් පොදිය.

දවසක් එක පාරටම එයා මට කිව්වා මානෙල් මම ඔයා ගැන බලාපොරොත්තු තියා ගන්නද කියලා. මම මොනවත් කිව්වේ නැහැ. ටික කාලයක් ගිහින් මම කිව්වා ගෙදරින් ඇවිත් අහන්න කියලා. එයා අපේ ගෙදර ආවේ ලස්සන වීදුරු පෙට්ටියක් අරගෙන. එසේ පවසන මානෙල් එදා ජූඩ් ගෙනා මනරම් වීදුරු පෙට්ටිය මටත්, අමිත්ටත් පෙන්නුවේ එය ආදරයෙන් සුරකිමින්ය.

‘මම බෞද්ධ, එයා කතෝලික. මේ ප්‍රශ්නය නිසා අපේ ගෙදරින් ටිකක් අකමැත්ත ප්‍රකාශ කළා. මගේ මල්ලී ජූඩ්ව හොඳට අඳුරනවා. එයා මැදිහත්වෙලා අපේ කසාදෙට ගෙදරින් කැමැත්ත අරන් දුන්නා. එතකොට ජූඩ් වේදිකා නාට්‍ය බොහොමයක වැඩ කරනවා. ඒ වෙනකොට වරායේ රස්සාවකුත් කළා. බැඳලා මම ආවේ ජූඩ්ලාගේ රත්මලානේ ගෙදරට. එයාගේ අම්මා, නංගි මට ආදරයෙන් සැලකුවා. එයාලා මගේම අය වගේ. ජූඩ්ගේ ඡායාරූපයක් ගෙන පිරිමදිමින් ඕ පවසන්නීය.

‘ජූඩ් පොඩි කාලේ ඉඳන් චිත්‍ර අඳින්න දක්ෂයි. ඕනෑම දෙයක් බලාගෙන අඳිනවා. ඒ වගේම මියුරල් නිර්මාණ කරන්නත් දක්ෂයි. එසේ කියමින් මානෙල්, ජූඩ් කළ නිර්මාණ කිහිපයක්ම ගෙන අපට පෙන්වන්නීය.

‘ඔය කාලය අතරතුර විජිත ගුණරත්න මහත්තයත් සමඟ වේදිකා නාට්‍ය කළා. දැති කියත, යක්ෂාගමනය ආදී නාට්‍ය බොහෝමයක් කළා. ඒවායේ තේ හදන එකේ ඉඳන් වේදිකා පරිපාලනය, වේෂ නිරූපණය රඟපෑම දක්වා හැම අංශයකටම එයා දායක වුණා. ඔය අතර කාලයේදී ජෝ අබේවික්‍රම මහත්තයා එයාව හඳුන ගත්ත. ඒ නිසාම ජූඩ් සබඳ පබිලිස්, සකිසඳ පබිලිස් නාට්‍යයවල රඟපාන්න ගියා. උණ පුරුකේ ගීතය ලියලා ජූඩ්ට දීලා කිව්වා මේ සිංදුවයි රඟපෑමයි හරියට කළොත් ආයේ අවුරුදු විස්සකටවත් ඔයාව වට්ටන්න බැහැ කියලා. ඒ කියමන හරියටම හරි. එතැන පටන් හැම අවුරුද්දකම අප්‍රේල් 14 වැනිදාට ජෝ මහත්තයා බලන්න සරම්, බැනියම අරන් ගිහින් බුලත් අතක් දීලා ජූඩ් වැඳලා එනවා.

‘උණ පුරුකේ ගීතය වගේම සබඳ පබිලිස් නාට්‍යයත් ජනප්‍රිය වුණාට පස්සේ පොඩි ළමයි දහස් ගාණක් ජූඩ්ට ලිපි එව්වා. ජූඩ් පොඩි දරුවන්ට හරිම ආදරෙයි. ඒ වගේම දාන මාන පිංකම්වලටත් හරිම උනන්දුවෙන් කටයුතු කරන්නේ. කාගේ හරි වැඩක් බාර ගත්තොත් ඒ වැඩේ වෙලාවට, හරියට කරන්න තමයි ජූඩ්ට වුවමනා වුණේ. ඒ වගේම මගේ පවුලේ අයටත්, ජූඩ්ගේ පවුලේ අයටත් ජූඩ් හොඳටම සැලකුවා. කිසිදු අඩු පාඩුවක් කළේ නැහැ. ජූඩ්ගේ ඡායාරූපය දෙස බලමින් නෙතඟින් ගලන කඳුලක් පිස දමමින් ඕ පවසන්නීය.

‘එයා හැම අවුරුද්දකම ළමා නිවාසයකට දානයක් දෙනවා. ඒකට පවුල් දෙකේම අය එකතු කරගෙන යනවා. එයා රටේ ජනප්‍රිය පුද්ගලයෙක් වුණාට නොමිලේ වැඩ කරපු අවස්ථා අනන්තවත් තියෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුට නම කියලා කතා කරන්න පුළුවන් මතකයක් ජූඩ්ට තිබුණා.

දවසක් ජූඩ්ගේ ඉතාලි ඉඳන් ආපු යාළුවෙක් බලන්න පාදුක්කට ගියා. එහේ ඉඳලා සිංදු කියලා සතුටින් ආපසු එන අතරමඟදී ජූඩ්ට පපුවේ අමාරුවක් ඇති වුණා. ළඟම තිබුණ හොරණ රෝහලට ඇතුළත් කළා. රෝහලේ කාර්ය මණ්ඩලය උපරිම උත්සාහ කරලා කටයුතු කළා. ඒ අවස්ථාවේදී ජූඩ්ට බෙඩ් ෂීට් එකේ ඉඳන් හැම දේම ඉක්මනට සපයලා දුන්නේ ජනක් ප්‍රේමලාල් කියන උතුම් මිනිසා. ජූඩ් ගැන හැම දේම හොරණදී බලා ගත්තේ ජනක් අයියා.

වෛද්‍ය රුවන් ඒකනායක මහත්මා වගේම වෛද්‍ය ගලප්පත්ති මැදිහත් වෙලා කොළඹ පෞද්ගලික රෝහලකින් වෛද්‍ය වාර්තා වගයක් ගත්තා. ඒ රෝහලට වැල නොකැඩී සෙනඟ ආවා. රොඩ්නි වර්ණකුල, ගිරිරාජ් කෞෂල්‍ය, ප්‍රියන්ත, ආනන්ද, සුනිල් අරුණ ඇතුළු පිරිස ජූඩ් වෙනුවෙන් උපරිමයෙන් කැප වෙලා කටයුතු කළා. ඒ රෝහලේ වෛද්‍යවරුන් බොහොම වෙහෙස වෙලා ජූඩ්ව සුවපත්කර ගත්තා. නමුත් මහන්සි වෙලා වැඩ කරන්න එපා කිව්වා. විශේෂයෙන් නිදි මරන්න එපා කිව්වා. සුව වෙලා ඇවිත් ටික කාලයක් විවේක ගත්තත් ආයෙත් ජූඩ් කලාවත් එක්ක කාර්යබහුල වුණා.

ඔය අතරෙදි දවසක් රෝහණ හෙට්ටිආරච්චි අපේ ගෙදර ආවා. මම ගෙදර හිටියේ නැහැ. ජූඩ් ලියුමක් ලියලා තියලා ගිහින්. එතකොට රෝහණ අයියා අහලා කවුද මානෙල් කියන්නේ කියලා. එයා කිව්වලු මගෙ වයිෆ් කියලා. පහුවදාම රෝහණ අයියා ‘නිල් මානෙල් මලක්’ වගේ ගීතය ලියලා ජූඩ්ට දීලා තියෙනවා.
 

‘නිල් මානෙල් මලක් වගේ නුඹ හැන්දෑවට

වැව් දිය මත කිඳුරු ලතා ඉර බැස යන සඳ

සුවහස් කල් දුරක් ගෙවා මගේ හිත නුඹ ළඟ

පෙම්බර වූ කුමාරියේ හැමදාමත් ආදරෙයි ද මට

රෝහණ වීරසිංහ අයියාට කියලා සංගීතය නිර්මාණය කරපු දවසේ ඉඳන් හැම ප්‍රසංගයකදීම ජූඩ් මම වෙනුවෙන් මේ ගීතය ගායනා කළා. අදටත් මට ඒ හඬ ඇහෙනවා.

‘ගමේ තියෙන ඕනෑම පොදු කටයුතුවලදී ජූඩ් ඉන්නවා. ඒ වගේම අපේ ගෙදර හැමෝම කැමැතියි ජනවාරි පළමුවැනිදාට ජූඩ් අතින් සල්ලි කීයක් හරි ගන්න. ඒ නිසා කොහේ හිටියත් ජූඩ් ජනවාරි පළමුවැනිදාට පාමංකඩ අපේ මහ ගෙදරට එනවා.

‘සරසවිය’ පත්තරේ මොන කලා කටයුත්ත තිබුණත් ජූඩ් එනවා. එයාගේ අන්තිම විශේෂාංග ලිපියක් පළ වුණේ ‘සරසවිය’ පත්තරේ. ජූඩ් ලෙඩ වෙලා ඉන්න කොට ජෝ මහත්තයා ඇස් පෙන්නේ නැතිව ඉද්දිත් ආවා. ඒ වගේම ඇල්ලේ ගුණවංශ හාමුදුරුවොත් ආවා. ජූඩ් මාසේ හැම පළමු අඟහරුවාදාම කොච්චිකඩේ පල්ලි යනවා. ඒ වගේම පන්සලුත් යනවා.

‘දවසක් පොඩි ළමයෙක් වඩාගෙන ගෑනු කෙනෙක් ආවා ජූඩ් හොයගෙන. ඒ ළමයටයි, අම්මටයි බේත්ගන්න සල්ලියි, කෑම බීමයි දීලා තමයි ජූඩ් එයාලව පිටත් කළේ.

කොහොම හරි කාලය නොදැනීම ගෙවිලා ගියා. 2012 මාර්තු 18 වැනිදා සුනිල් අරුණ වීරසිරි මහත්මයාගේ ‘වීර්යා’ චිත්‍රපටයේ ෂූටිං ගියා. එහෙදි එයාට අමාරු වෙලා රෝහල් ගත කරලා. රොඩ්නි වර්ණකුල තමයි මට රාගම රෝහලට එන්න කිව්වේ. ඊට පෙර දවසේ ජූඩ් ගෙදරින් යනකොට පඩි පෙළ බැහැලා ගිහින් ආයෙත් ඇවිත් මගේ ඔළුව අතගාලා මම යන්නම් මානෙල් කියලා ගිය ගමන ආවේ . . .’ එසේ කියූ ඇය සිහින්ව ඉකිබින්ඳා.

ජූඩ් පාවිච්චි කරපු තබ්ලාව, සර්පිනාව එයා ගොඩාක් ආදරය කරපු ළමා නිවාසයට දුන්නා.

රොඩ්නි, ප්‍රියන්ත, ගිරිරාජ්, ආනන්ද ඇතුළු පිරිස ජූඩ්ගේ ‘සකිසඳ මඬල’ නාට්‍යය එයා වෙනුවෙන් තාමත් රටපුරා පෙන්වනවා. ඒ යන හැම තැනකම මමත් යනවා. ජනතා ප්‍රතිචාර දැක්කම මට ජූඩ්ව ඒ හැම තැනම මැවිලා පේනවා. ජාති ජාතිත් මම පතන්නේ ජූඩ්ව මගේම වෙන්න කියලා.’

හිස් අවකාශය දිහා බලමින් දිගු සුසුමක් හෙලමින් මානෙල් ජූඩ්ගේ සොඳුරු මතක අතර තනි වූවාය.