වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




දමිතාට සුබ මංගලම්....

දමිතාට සුබ මංගලම්....

ලෙන්ඩි – දමිතා විවාහය ජුනි මස දී

‘මල් හිනා නගන්න සුසුදු ආදරේ

ළං වුණා වසන්ත කාලෙ ජීවයේ

ආදරේ....

වසන්තය කෙනෙකුගේ ජීවිතයට කවදා කොහොම එබිකම් කරයි ද කියන්න කාටවත් බැහැ. ඒත් ඒ වසන්තය හරිම සුන්දරයි, මල්බරයි.

හිමිදිරියේ සීත පිනි බිඳක දැවටී ආවත්, රෑ මැදියමේ සඳ කැරැල්ලක එතී ආවත් වසන්තය අපේ පපුවලට තුරුලු වෙන්නේ හරිම ආදරයෙන්. ‘පමා වී ආ වසන්තය’ දිහා ‘සුළං කිරිල්ලිය’ නෝක්කාඩු බැල්මක් නොහෙළුවෙත් ඒ නිසාමයි. සුළං කිරිල්ලි ගේ හිත දැන් ආයෙමත් ආදරයෙන් පිරිලා.

දමිතා අබේරත්න, අපේ සිනමාවේ ‘සුළං කිරිල්ලිය’, පුංචි තිරයේ ‘අහිංසකාව‘ ළඟදීම යුග දිවියට පියමං කරන්නට සූදානම් වෙන බව අපට දැනගන්න ලැබුණා.

“ඔන්න මම මාධ්‍යයට කියලා මුලින්ම මේ ගැන කියන්නේ ‘සරසවිය’ ට. මොකද අපේ පත්තරෙන්ම මේ බව මගේ රසිකයන්ට කියන්න මම කැමැතියි....”

අපිත් එක්ක කවදත් ළෙන්ගතු දමිතා එහෙම කිව්වේ සුපුරුදු දයාබර සිනහව මුවගට නඟා ගනිමින්.

* ඉතිං, දමිතා ගොඩක් සතුටුයි වගේ?

ඔව්.. අයියා, ඇත්තටම ගොඩක් සතුටුයි. ඒක වචනවලට පෙරලන්නත් බැරි තරමේ සතුටක්.

* කවුද එයා...?

එයාගෙ නම ලෙන්ඩි ජොන්සන්. එයාගේ අම්මා සිංහල, තාත්තා දමිළ ජාතිකයෙක්. කතෝලික ආගමේ. අපේ සම්බන්ධයට මේ ජනවාරි 22 වැනිදා ට අවුරුදු දහයක් පිරුණා.

* කොහොමද ලෙන්ඩි, ඔයාට මුණ ගැසුණේ ...?

ඩුබායිවල දී තමයි අපි මුලින්ම මුණ ගැසුණේ. එයා රැකියාව කළේ එහේ. මම ථභඵඪජචත ඵඩධඹ එකකට ගිය වෙලාවේ එහෙදි තමයි එයා හම්බ වුණේ.

* ඒ අහඹු හමුවීම කොහොමද මේ තරම් දුරදිග ගිය ආදරයක් බවට පෙරළුණේ ...?

ඇත්තටම මුලින් අපි අතරේ තිබුණේ යාළුකමක් විතරයි. අපි ගොඩක් ළඟින් ඇසුරු කළා. ඒ කාලය ඇතුළත අපි එකිනෙකා තේරුම් ගත්තා. මගේ අදහස්, සිතුම්, පැතුම් ම තමයි එයාටත් තිබුණේ. ඉතින් අපිටත් නොදැනීම අපි ආදරවන්තයන් වුණා.

* ඒ ‘රස රහස’ කාටද මුලින්ම කිව්වේ....?

ඉස්සර වෙලාම කිව්වේ මාලිනී අක්කට. එයා අධ්‍යක්‍ෂණය කළ ටෙලි නාට්‍යයක රඟපාන කොට තමයි මම “හා” කියලා ලෙන්ඩිට උත්තර දුන්නේ. එහෙම කියලා, මුලින්ම මාලිනී අක්කා ගාවට ගිහින් කිව්වා, ‘අක්කේ මම මෙහෙම සම්බන්ධයක් පටන් ගත්තා’ කියලා. ඒ වෙලාවේ මාලිනී අක්කී මට එයාගේ ජීවිතේ ලබපු අත්දැකීම් ගැන කියලා ගොඩක් අවවාද කළා, අම්මා කෙනෙක් වගේ.

* ඒ අවවාද, අනුශාසනා පිළිගත්තද?

ඔව්, මම මාලිනී අක්කා කියපු දේවල් ඇහුවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි විවාහ වෙන්න යන්නේ. අද මට ගොඩක් සතුටුයි. මේ ෆීල්ඩ් එකෙන් මම වැඩියෙන්ම ගරු කරන්නේ මාලිනී අක්කාට. ඇත්තටම අම්මටත් කලිනුයි මම ඇයට ඒ බව කිව්වේ. අද මාලිනී අක්කාටත් සතුටු ඇති මගේ විවාහය ගැන.

* ආදරය නිසා එක්තරා කාලයක ජීවිතයේ ගොඩක් දුක් විඳපු කෙනෙක් ඔයා...?

කවදාවත් මම හොර රහසේ ආදරේ කළේ නැහැ. පත්තරේට වුණත් මම ඒ තොරතුරු හෙළි කළා. අයියා වුණත් දන්නවනේ මට කලින් ලව් අෆෙයාර් එකක් තිබුණා කියලා. ඒත් එයාගේ මවුපියන් ගේ කීමට අවනත වෙලා එයාට වෙන විවාහයක් කරගන්න සිදුවුණා. දැන් එයාට දරුවොත් ඉන්නවා. ඒත් අපි අතරේ තරහක්, වෛරයක් නෑ. අවුරුද්දකට සැරයක්වත් එයා මට දුරකථනයෙන් කතාකරලා සැප, දුක් විමසනවා.

* ඒ අතීතය ගැන ලෙන්ඩි දන්නවාද?

අනේ ඔව්, අයියා. ඒ හැම දෙයක්ම මම එයාට කිව්වා. ලෙන්ඩි පටු විදිහට හිතන කෙනෙක් නෙවේ.

* හඳුනාගෙන අවුරුදු දහයක් වෙලත් ඇයි මේ තරම් විවාහයට ප්‍රමාද වුණේ?*

මම හිතන්නේ දැන් තමයි හොඳම කාලය ඇවිත් තියෙන්නේ. හැමදේම වෙන්නේ දෛවයට ඕනෑ විදිහට. කාලය, දීපය, දේශය, කුලය, මවු කියන මේ පස්මහ බැලුම් හරියටම ගැළපුන වෙලාවට තමයි අපට සියලු දේවල් ලැබෙන්නේ.

* පමා වී ආ වසන්තේ...?

මම ප්‍රමාදයි තමයි. ඒත් ඒ ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් කරගන්නේ නෑ මම.

* දෙපැත්තෙම වැඩිහිටියන්ගෙන් ආශීර්වාදය ලැබුණ ද...?

එයාගේ අම්මයි, තාත්තයි දෙන්නම ජීවතුන් අතර නෑ. සහෝදරියයි, ඥාතීනුයි කැමැති වුණා. එයා ලංකාවට ඇවිත් කතාබහ කළාට පස්සේ අපේ අම්මාත් කැමැති වුණා. එයා ගැන පැහැදුනා. ඉතින් දැන් ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ මේ තමයි මගෙ ජීවිතයේ හොඳම කාලය.

* ලෙන්ඩි, ඔයාගේ ජීවන සහකරු කරගන්න ඕනෑ කියන තැනට එන්න ඔහු ළඟ තිබුණ විශේෂත්වය මොකක්ද?

මම නිළියක් නිසා එයා මා එක්ක යාළු වුණා නෙවෙයි. ඇත්තටම අපි හඳුනා ගන්නකොට එයා ටෙලි නාට්‍යයක්වත් බලලා තිබුණේ නැහැ. මාව හමුවුණාට පස්සෙ තමයි සිංහලෙන් කතා කරන්න ඉගෙන ගත්තෙත්. එයාට මුදල් නැතිවෙච්ච කාලේ මම එයා ළඟ හිටියා, ගොඩක් තැන්වලදී. මම හිතන්නේ ජීවිතේ වෙන්න ඕනෑ ඕකනේ අයියා. සැබෑ ආදරයේදී දුක, සැප දෙකම එක වගේ බෙදා හදාගන්න අපට පුළුවන් වෙන්න ඕනෑ.

* එයා ලොකු පොහොසතෙක් ද?

සල්ලි බලාගෙන නෙවෙයි, මම ආදරය කළේ. එයාට සල්ලි තියෙනවා කියලා මම දැනගෙන හිටියෙත් නෑ. ඒත් එයාගේ හොඳම යාළුවාට උදවු කරන්න ගිහින් එයාගේ මුළු සේසතම නැති වුණ වෙලාවේ මම තමයි ළඟ හිටියේ. අදටත් එහෙමයි, කවුරු නැති වුණත් අපිට අපි ඉන්නවා. මම හිතන්නේ ඔය දෙක බෙදාගන්න බැරි වුණාම තමයි මිනිස්සුන්ට ප්‍රශ්න එන්නේ.

* ඔයාගේ හිතේ ඇදුණු රුව අන්තිමේ ඔයාට හමුවුණා...?

ඒකට මම මෙහෙම කියන්නම් අයියා. බාහිරින් ගොඩක් ලස්සන කෙනෙකුට තමයි මුලින් මම ආදරය කළේ. ඒ විවාහ වෙන්නම හිතාගෙන. ඒත් ඒ හීනේ බොඳවෙලා ගියා. හැබැයි අද මට හිතෙනවා එදා එහෙම වුණ එක හොඳයි කියලා. මොකද දැන් තමයි නියම වාසනාව මා ළඟට ඇවිත් තියෙන්නේ. මතුපිට ලස්සනට වඩා කෙනෙකුගේ ලස්සන වෙන්න ඕනෑ හදවතයි කියන එක මම අද දන්නවා.

* ‘ආදරයට කොහෙදෝ බාධා නැත්තේ’ කියලා කියනවනේ. දමිතාටත් ඒ වගේ බාධක, ගැටලු ඇති නොවුණා වෙන්න බැහැ..?

අයියා, මම ම හඳුන්වලා දීපු සමහරු බොරු කියලා, ලෙන්ඩිට මාව එපා කරවන්න උත්සාහ කළා. මේ අපේ ක්ෂේත්‍රයේම මම ළඟින් ඇසුරු කරපු අය. ඒත් ලෙන්ඩි එහෙම කලබලයට පත්වෙන කෙනෙක් නෙවෙයි, බොහොම නිවුන මනුස්සයෙක්. මම ගැන ගතු, කේලාම් කියපු හැමෝටම එයා කියලා තිබුණේ “බොහොම ස්තුතියි ආරංචිය දුන්නට, ඒත් මම ආශ්‍රය කරන්න පටන්ගත්තට පස්සේ එයා මට කිසි වරදක් කරලා නෑ” කියලයි.

* මම හිතන්නේ ආදරයේ පදනම තමයි විශ්වාසය නේද?

ඒක නම් හරිම ඇත්තක්. කවුරු, කොහොම, මොනවා කිව්වත් දෙන්නට දෙන්නා විශ්වාස නම් ආදරය දෙකඩ වෙන්නේ නෑ. ලෙන්ඩි පොළොවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්. බොරු සෝබන එයා ළඟ නෑ. මමත් එහෙමනේ අයියා. අන්ත දුගී පැල්පතක ඉන්න මිනිස්සු එක්කත්, මහා මන්දිරවල ඉන්න මිනිස්සු එක්කත් ඉතා හොඳට මනුෂ්‍යත්වයෙන් ඉන්න මට පුළුවන්. ඒ කොලිටිය මෙයාටත් ඒ විදිහටම තියෙනවා අයියේ. මම හෙව්වේ එහෙම කෙනෙක්.

* සාමාන්‍ය ගැහැනියකට වඩා නිළියකට විවාහ ජීවිතය කියන්නේ ලොකු අභියෝගයක්. ඒ අභියෝගයට මුහුණ දෙන්න ඔයා සූදානම්..?

අනිවාර්යයෙන්ම, මම හිතන්නේ ඔය දෙක පටලගන්නේ නැතිව ජීවත් වුණොත් ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. සැබෑ ජීවිතේ දී රඟපාන්නේ නැතිව අවංකව, ආදරයෙන් ජීවත් වුණොත් විවාහය ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපේ ගොඩක් අය පටලා ගන්නවා. සැබෑ ජීවිතෙත් රඟපාන්න යනවා, කැමරාව ඉස්සරහා නැතුව. මම ඔය දෙක එදා ඉඳන්ම පටල ගත්ත කෙනෙක් නෙවෙයි අයියා.

* විවාහයෙන් පස්සේ රංගනයෙන් සමුගන්නවාද...?

එහෙම තීරණයක් නෑ තවම. මොකද ලෙන්ඩිගෙන් එහෙම බලපෑමක් නෑ මට. ඒත් විවාහයෙන් පස්සේ මම මුල්තැන දෙන්නේ අනිවාර්යයෙන්ම ඒ ජීවිතයට. මගෙ අම්මා ඉන්නවා මට බලාගන්න. එතකොට අපි දෙන්නාගෙම ඥාතීන්. ඒ හැමෝටම උදවු, උපකාර කරගෙන මනුෂ්‍යයෝ වගේ ජීවත් වීම තමයි අපි දෙන්නාගේම බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව.

* දැන් කවදා ද ඔය සුබ දවස උදා වෙන්නේ ...?

ජුනි මාසයේ දී තමයි අපි විවාහ වෙන්න තීරණය කරලා තියෙන්නේ. තවම දිනයක්, තැනක් ගැන අවසන් තීරණයක් අරගෙන නෑ. ඒකත් ඉස්සර වෙලාම මම ‘සරසවිය’ ටම කියන්නම් මගෙ අයියේ හොඳේ.

* එහෙනම් “සුබ මංගලම්”...?

තෑන්ක්ස් අයියා...
 

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන

අනන්ත බාධක දුක් පීඩා විඳ

භවෙන්, භවය යන මං සලකුණු දැක

ඔබව සොයා ආවා....

ඔබව සොයා ආවා....

 

 

සුළං කිරිල්ලිය ගේ ඒ ආදරණීය ගී හඬ දසන්තය පුරා පැතිර ගියේ ‘පමා වී ආ වසන්තය’ කොයි තරම් සොඳුරුදැයි කියනක්නාක් වගේ....