වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

රෝයි ද සිල්වා මහතා සහ සුමනා අමරසිංහ මහත්මිය ගෞරවණිය නළු නිළි යුවළක් ලෙස මා දකිනවා. ඔබේ අදහස කුමක් ද?

සරත් විජයානන්ද

රඹුක්කන

වසර පනහකට ආසන්න කාලයක් රෝයි - සුමනා යුවළ ජීවත් වූයේ සිනමා කර්මාන්තයෙන් පමණයි. ඒ වගේම ඔවුන් දෙපළ ඉතාම ප්‍රියමනාප හිතවතුන්. එය හැම විටම අගය කළ යුතුයි.

1976 ශ්‍රී ලංකාවේ පවත්වන ලද නොබැඳි ජාතීන්ගේ සමුළුව ජාත්‍යන්තර රූපවාහිනී ආයතනයක් මඟින් ප්‍රචාරය කළ බව මා අසා තිබෙනවා. එම ජාත්‍යන්තර රූපවාහිනී ආයතනය ගැන විස්තරයක් දැනගන්න කැමැතියි.

රාජා සරත් වික්‍රමආරච්චි

ගම්පහ

1976 වන විට ලෝකයේ වෙනත් රටවල ටෙලිවිෂන් නාලිකා ප්‍රවෘත්ති ප්‍රචාරය සඳහා යොදා ගැනීම සාමාන්‍ය දෙයක්. ඒ වන විට ලංකවේ ටෙලිවිෂන් නාලිකා නොමැති වුණත් නොබැඳී සමුළුව වෙනුවෙන් මෙරටට පැමිණි නාලිකා කිහිපයක් මෙරට සිට සිය විකාශන කටයුතු සිදු කළා. ඒ අතර ලොව ප්‍රකට ටෙලිවිෂන් නාලිකා කිහිපයක්ම සහභාගි වුණා.

ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් අපේ රටේ චිත්‍රපටවල රඟ නොපාන්නේ ඇයට ගැළපෙන චරිත නැති නිසාද? නැත්නම් බොලිවුඩ්වල වගේ අධික මිලක් නොලැබෙන නිසාද?

සුජාතා ගුණවර්ධන

කඩවත

මේ කාරණා දෙකම හේතු වෙන්න ඇති.

එස්. එස්. වාසන් විසින් නිපදවන ලද ‘චන්ද්‍රලේඛා’ චිත්‍රපටය තරම් සාමාන්‍ය ජනතාව ප්‍රිය කළ රාජකීය කතාවක් රැගත් චිත්‍රපටයක් මෙතෙක් දකුණු ඉන්දීය සිනමාවෙන් බිහි වී නොමැති බවයි අපේ අදහස. මේ ගැන ඔබේ අදහස මොකක්ද අර්ජුන්?

පෝල් පෙරේරා

කුලියාපිටිය

අවුරුදු 60 කට පසුව වුණත් දකුණු ඉන්දීය සිනමාවේ අතිශය දැවැන්තම චිත්‍රපටයක් වන චන්ද්‍රලේඛා ගෙන ආ සුප්‍රසිද්ධිය මුළු මහත් ඉන්දියාව පුරාම පැතිරුණා. මෑතකදී එය නැරැඹීමේදී එහි එන ගීත ජවනිකා රූපගත කළ ආකාරය තවමත් හිතා ගන්නටවත් අපහසුයි. ඇත්තටම මම ඔබගේ අදහසට එකඟ වෙනවා.

එච්. ආර්. ජෝතිපාල මහතා ගායනා කළ මුල්ම චිත්‍රපට ගීතය කුමක්ද? එම ගීතයට රංගනයෙන් දායක වූ රංගන ශිල්පියා කවුරුන්ද?

පී. වයි. අනුලාවතී

අවිස්සාවේල්ල

එච්. ආර්. ජෝතිපාල මුලින්ම ගයනා කළේ ‘සුරතලී’ චිත්‍රපටයේ ‘සිරියාමේ සාරා’ ගීතයයි. ඒ සඳහා පෙනී සිටියේ ආනන්ද ජයරත්න. මේ ගීතයේ රචක විල්ෆ‍්‍රඩ් සිල්වා වගේම සංගීතය මෙහෙය වූ ටී. ආර්. පාපාත් ඇතුළු කිසිවෙකුත් දැනට ජීවතුන් අතර නැහැ.

හින්දි සිනමාවේ ජනපි‍්‍රය චිත්‍රපටයක් වූ ‘කොක්ටේල්’ සිතුවම් පටයේ රඟපෑ ප්‍රධාන නළු නිළි යුවළ කවුරුන්ද?

එන්. සිරිපාල

උඩුගම්පොල

දීපිකා පදුකෝන්, සයිෆ් අලිඛාන් සහ ඩයනා පෙන්ටි එහි ප්‍රධාන චරිත නිරූපණය කළා.

‘අල්ලපු ගෙදර’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද? එහි ගීත ගායනා කරන්නේ කවුරුන්ද සහ එහි ඇතුළත් ගීත මොනවාදැයි සඳහන් කරන්න.

එච්. එම්. ජයලත්

ගම්පහ

අල්ලපු ගෙදර චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එම්. මස්තාන්, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, සුජාතා අත්තනායක සහ මල්ලිකා කහවිට එහි ගීත ගායනා කළා. ‘ ‘සාගර රැජනට’, ‘මේ පිපාසිත ලෝ තලේ’, ‘සතෙක් ද ගැහැනියක් ද’, ‘මහ ගන වනන්තරේ’, ‘පියා සලන ඉගිල්ලී’, ‘සොබා අලංකාරේ මූණේ’, ‘ළිද තුළ ඇති වුණ මැඩියා’ . ‘කොකා හොදි බීව ද තැටියේ දමා’ ගීත මෙහි ඇතුළත් වුණා.

‘රණ හංසි’, ‘පිටසක්වල කුමාරයයි පැංචො හතයි’, ‘අබා’, ‘ජය පිට ජය’, ‘ධවල පවුර’, ‘මුතු සළඹ’, ‘කිං හන්තර්’, ‘රන්කෙවිට – 2’ චිත්‍රපට තිරගත වු වර්ෂ සහ දිනයන් ලබා දෙන්න.

මැල්කම් ප්‍රනාන්දු

මොරටුව

රණහංසි - 2006 ජූනි 30
පිටසක්වල කුමාරයයි පැංචො හතයි – 2008 ජූලි 20
අබා - 2008 ජූලි 08
ජය පිට ජය – 2010 ජූනි 18
ධවල පවුර – 2011 ජනවාරි 21
මුතු සළඹ – 2011 අප්‍රේල් 28
කිං හන්තර් – 2011 මැයි 27
රන්කෙවිට – 2 – 2013 අගෝස්තු 23

‘පාව මන්නිප්පු’ දෙමළ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා හා එහි ගීත ගැයූ ගායකයා කවුද?

සෝමා එම්. පතිරණ

කහවත්ත

මෙහි සංගීතය වී. රාමමූර්තිගේ. ටී. එම්. සෞන්දර රාජන්. පී. සුසිලා, පී. බී. ශ්‍රිනිවාස්, ජී. කේ. වෙන්කටේශ් එහි ගීත ගායනා කලා.

ද්‍රවිඩ චිත්‍රපට මෙරටට ගෙන්වන්නේ නැත්තේ ඇයි?

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

මේ වැරැදි කතාව කිව්වේ කවුද වියානි. දෙමළ චිත්‍රපට මෙරටට ගෙන්වනවා.

දැනට විකාශය වන ටෙලි නාට්‍යයක තේමා ගීතයෙහි එක් වචනයක තියෙනවා ‘රන්තරු පිපිලා - රන් තරු පිපිලා’ කියලා. රන් තරු පිපෙන්නේ කොහොමද අර්ජුන්?

සරත් රණසිංහ

කපුගොඩ, මාළිඳ

රන් තරු පිපෙන්න බැරි නම් අගාධ සාගරයේ ඈත දියේ බිලි බාන්නේ කොහොමද කියලත් කියා දෙන්නකෝ.