වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




බොක්ස් ඔෆිස් උඩුයටිකුරු වෙයි නන් - ස්ටොප් පෙරට

Top Ten

බොක්ස් ඔෆිස් උඩුයටිකුරු වෙයි නන් - ස්ටොප් පෙරට

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ මේ සතියේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට රිචඩ් ගැබී අධ්‍යක්ෂණය කළ Non- Stop සමත් වී ඇත. පසුගිය වසරේ නොවැම්බර් 29 වැනිදා අමෙරිකාව තුළ තිරගත වීම ආරම්භ කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Non- Stop පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 30ක්. ජේසුතුමන්ගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය කෙරුණු Son of God දෙවැනි ස්ථානයට පැමිණි අතර පසුගිය සති අන්තය වනවිට එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 26.5ක්.

සති තුනක් පුරා පළමු ස්ථානය හිමිකර ගෙන සිටි The Lego Movie  තෙවැනි ස්ථානයේ සිටින අතර බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ සිව්වැනි සති අන්තය වනවිටදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 21ක්. ජෝර්ජ් ක්ලූනි අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන The Monuments Men  සිව්වැනි ස්ථානයේ සිටින අතර 3 Days to Kill චිත්‍රපටයට හිමිවන්නේ පස්වැනි ස්ථානය යි.

ක්‍රියාදාම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන RoboCop මෙම සතියේදී හයවැනි ස්ථානයට පැමිණ තිබේ. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ දෙවැනි සතිය ගත කරන Pompeii හත්වැනි ස්ථානයත් පහළොස් වැනි සතියේ තිරගත වන Frozen අටවැනි ස්ථානයේත් පසුවේ. ආදරය හාස්‍ය රැගත් චිත්‍රපටයත් වන About Last Night නමවැනි ස්ථානයට පැමිණෙන විටදී ටිම් ස්ටෝරි අධ්‍යක්ෂණය කළ හාස්‍යමය ක්‍රියාදාම චිත්‍රපටයක් වන Ride Along දසවැනි ස්ථානය හිමිකර ගත්තේ පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 3.1ක ආදායමක් වාර්තා කරමිනි.