වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී එතැනින් එනවා රෙක්ස්ට වැටෙන්න දෙනවා  අපේ අක්කට මරු නඟිනවා

ගාමිණී එතැනින් එනවා රෙක්ස්ට වැටෙන්න දෙනවා  අපේ අක්කට මරු නඟිනවා

තෙරුවන් සරණයි!’

හිතවත් ජයන්ත අයියේ,

‘අයියේ ඔබ මා ඔබේ අකාල සන්ධ්‍යා ටෙලි නාට්‍යයේ හේවායකුගේ චරිතයට තෝරා ගැනීම පිළිබඳ මං ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ චරිතය රඟපාන දිනය එනතුරු මං ඇඟිලි ගනිමින් සිටියා. නමුත් මට සමාවන්න, මට දැන් ඔබ මට පැවරූ ඒ චරිතය රඟපාන්නට පැමිණෙන්නට නොහැකි වී තිබෙනවා. ඊට හේතුව සරච්චන්ද්‍රයන්ගේ කපුවා කපෝති වේදිකා නාට්‍යයේ චරිතයක් මට දැන් ලැබී තිබෙන නිසා . . .’

මේ විදියට මං ජයන්ත චන්ද්‍රසිරිට ලිව්වා. හාපුරා කියලා මට ටෙලි නාට්‍යයක ලැබිච්ච මංගල චරිතයට ආයුබෝවන් කියන්නට මං තීරණය කළේ සරච්න්ද්‍රයන්ගේ වේදිකා නාට්‍යයක රඟපෑම මට ඊට වඩා ලොකුම ලොකු දෙයක් විදියට දැනුණාට පසුවයි.

අකාල සන්ධ්‍යා චරිතයට මට කියන්නට තිබුණේ මලයාලම් භාෂාවෙන් ලියූ දෙබස්. එදා සබීතා, ජැක්සන් එහෙමත් ඇවිත් හිටියා. මට මලයාලම් භාෂාවෙන් ලියූ ඒ දෙබස් පේළි දෙක තුනක් ලැබුණා. සැරයක් දෙසැරයක් උත්සාහ කළත් මට දෙබස් පැටලුණා. තුන් හතර පාරක් කියද්දිත් එහෙමම වුණා.

‘හරි අපි තේ ටිකක් බීලා එහෙම හෙමිහිට ඔය ටික කියමුකො’ ජයන්ත චන්ද්‍රසිරි එහෙම කිව්වාම ටී බෝයි මටත් තේ එකක් ගෙනාවා.

නානව නේද?

තේක දෙන අතරෙදි ටී බෝයි මගෙන් එහෙම ඇහැව්වා. මං එදා නාගත්ත තරමට ඊට පස්සේ ලොකේෂන්වලදී නැතිනම් වේදිකාවකදී නාගන්නේ නැතිව පරෙස්සම් වෙන්න ඉගෙන ගත්තේ හොඳ පාඩමක්.

මං ඒත් මේ නළුවෙක් වෙන්න බලාගෙන ආව ගමනක් නෙවෙයි. මට ඕනෑ කළේ ගායකයෙක් වෙන්න. මොරටුවේ ඉස්කෝලදි අසංක ප්‍රියමන්ත හිටියේ මට වඩා පන්තියක් ඉහළින්. ඒ කාලෙදිත් අසංක සංගීතය විෂයයක් විදියට පිළිවෙළකට ඉගෙන ගත්තා. මට එහෙම බැරි වුණා. මං ඉතින් ජෝතිපාලගේ මුල් කාලෙදි වගේ ඔහේ තැනින් තැන සින්දු කිය කිය හිටියා. ඒත් අසංකට සෙකන්ඩ් වෙන්න මං කැමැති වුණෙත් නෑ. ඉස්කෝලෙ වේදිකාවෙදී ‘සරස්වතී දේවි’ ගීතය එහෙම ලස්සනට කියලා අසංක වැඩ අල්ලනවා. ඒ වේදිකාවේදීම මං වික්ටර් රත්නායකගේ තොටුපළ අයිනේ, හෝපලු වනපෙත වගේ ගායනා කරන්න අමාරුම සින්දු තෝරගෙනයි කියන්නේ.

ගෙදරත් මට නැති ජාතියක් හිටියේ නැහැ. අක්කල අයියල මල්ලිල නංගිල ඔය හැමෝම හිටියා. ඒත් 71 කැරැල්ල කාලෙදි ඇඳිරි නීති වෙලාවෙදි පොලිස් සයිරන් නළා සද්දෙට නැතිනම් වෙඩි සද්දෙ ඇහුණම පාරට දුවල ගිහින් තියෙන ගෙදර එකම පුංචි ළමයා මං විතරයි. ඉතින් අම්මල එහෙමත් මං ගැන බයෙන්ම මං දිහා ඇහැ ගහගෙනම තමයි ඉඳලා තිබුණේ.

පබළු ටෙලියෙදි මට ලැබුණේ චණ්ඩියකුගේ චරිතයක්. වේවැලක් මේ චණ්ඩියගේ අතේ තියෙනවමයි. මේ චරිතය කරන වාරයක් ගාණෙම මට අපේ පර්සි සර්ව මතක් වුණා. එතුමා විදුහල්පතිවරයෙක්. වේවැලක් අතේ තියාගෙන අපිට තරවටු කර කර ඉස්කෝලේ වටේ යනවා. මටත් පබළු එකට චරිතය හැඩ ගස්වගන්න පර්සි සර්ගේ ඒ හැසිරීම උදව් වුණා. ඇත්තටම මං මෑතකදී ඒ සර්ව බලන්න සර්ව හොයාගෙන ගියා. ගිහින් මං අහවලයි කිව්වාම සර්ට හරිම සතුටුයි. රූපවාහිනියෙන් මාව දැක්කාට මං සර්ගේ ගෝලයෙක් කියලා දැනගෙන ඉඳලා නැහැ. මෙහෙම හොඳින් ජීවත්වෙන්න අපිව හැදුවේ ඒ ගුරුවරු තමයි.

ඉස්කෝලෙ කාලෙදි මගේ කාලය ගෙවුණේ සිනමා ශාලාම හයක් එක්කයි සොයිසා පුරේ කොන්ක්‍රිට් වනාන්තරයේ හිටියත් ටවර් – මොරටුව, එමෙස් - මොරටුව, මානෙල් - මොරටුව, විජිත – රත්මලාන, පත්මා - රත්මලාන ෆිල්ම් හෝල්වල දැන් වගේ නෙවෙයි. ඉස්සර ෆිල්ම් එකක් දුවවන්නේ දවස් දෙක තුනයි. ඉතින් මගනෑර ඒක බලන්නම ඕනෑ.

වතාවක් නෙවෙයි කීප සැරයක් එකම ෆිල්ම් එක බලන්න තියෙනවා නම් ඊට වඩා සතුටත් අපට තිබුණේ නෑ. ඔය කාලෙදි තමයි එළවළු රොටිය මර්කට් එකට ආවේ. ඉතින් අපිට එළවළු රොටියක් කාලා ෆිල්ම් එකක් බලනවට වඩා ලොකු දෙයක් පාසල් කාලෙදි තිබ්බේ නෑ.

හවස එකයි තිහට ඉස්කෝලේ ඇරෙනවා. මමයි ලලිත් පළිහක්කාර මගේ යාළුවයි දෙන්න පරක්කු වෙයි කියන බයට කටට දෙකට කන්නෙත් හිටගෙනමයි. ඉස්කෝල් ළඟ ඉඳන් බෙලෙක්කඩේ හන්දියේ ෆිල්ම් හෝල් එක ළඟට බස් හෝල්ට් දෙකක් තියෙනවා. බස් පරක්කු වුණොතින් බස් එකට කියලා තියාගත්ත ශත පනහත් අතමිට මොළවගෙන අපි ඒ දුරත් දුවලම එනවා. එහෙම ඇවිදින් 2.15 වෙද්දී ෆිල්ම් හෝල් එකේ වාඩි වෙනවා.

හොරෙන් යාළුවත් එක්කලා බැලුවට මං ගෙදර ගිහින් ෆිල්ම් එක නොබැලුව වගේ ඉන්නවා. අක්කල අයියලට කියන්නෙම මං බැලුවේ නැති නිසා මට ෆිල්ම් එක බලන්න ඕනැයි කියලයි. ඉතින් අම්මල අක්කත් එක්කල සමහර දාකට මාවත් පික්චර් එක බලන්න යවනවා. එහෙම ගිහින් දෙතුන් පාරට ෆිල්ම් එක බලද්දී මගේ කට වරදිනවා.

‘ඔන්න දැන් ඔතැනින් ගාමිණී එනවා. රෙක්ස්ට කැරකිලා වැටෙන්න දෙනවා. තිරේ වැටෙන්නත් කලින්ම මට එහෙම ෆිල්ම් එකේ ඊළඟට තියෙන දේ කියවෙනවා. එතකොට අපේ අක්කට මරු නඟිනවා.

‘අපරාදෙ උඹව එක්කරගෙන ආවේ. අයිය මේක බලලා නැහැ. එයාට හරි වෙන බැලුවෙ නැති කෙනෙකුට බලන්නත් නැති වුණේ උඹ නිසා තමයි’ කිය කියා අක්කා ෆිල්ම් එක ඉවර වෙනතුරුම මට ටොකු අනිනවා.

ඉස්කෝලෙදි ඉඳහිට නිවේදන කටයුත්තක් මට පැවරුණා. ඉස්කෝලේ කලා සංගමයේ ලේකම් වෙලා හිටියෙත් එතකොට මං. උත්සවයකට අපි ප්‍රධාන අමුත්තට ආරාධනා කළේ විජය කුමාරණතුංගට. පිළිගැනීමේ කතාවත් පැවරුණේ මට. ඒ ශාලාවේ එච්චර ඉඩකඩ නැහැ. මං වේදිකාවට නැග්ගාම අඩි දෙක තුනක් පහළට වෙන්නට ඉදිරි පෙළේම විජය මහත්තයා වාඩි වෙලා හිටියා.මං බලාගෙන හිටියෙම එයාගේ දිහාමයි. ඉතින් කතා කරන්න හිටිය දේවල් පවා මට අමතක වුණා. වේදිකාවේදී මං තත්බීරි වෙලා විජය කුමාරණතුංගගේ දිහාම බලාගෙන හිටියා. මං පත් වෙලා හිටිය තත්ත්වය විජයටත් වැටහුණා වෙන්න ඕනෑ. එයා මා දිහා නොබලා වෙන වැඩක යෙදුණා. ඉතින් එතැන ඉඳන් මං මගේ වැඩේ හොඳින් කරගෙන ගියා.

මොරටුව අවට තිබිච්ච හෝල්වලින් ෆිල්ම් බලන්න සල්ලි මට තිබුණේ නෑ. අම්ම දුන්නු පුංචි ගාණට අමතරව සල්ලි හොයා ගත්තේ අපිට එක එක තරඟවලින් දිනුවාම ලැබෙන පොත්පත් ටික විකුණලයි. දවසක් මගේ ළඟ විකුණන්න පොත් පත් තිබුණෙත් නැහැ. ඉතින් මගේ යාළුවා ලලිත් එයාගේ නංගිට ලැබිච්ච කොපි පොත් ටිකක් එයාල හිටිය ෆ්ලැට් එකෙන් පහළට බෑවෙ ගෝනි ලණුවල ගැටගහලයි. මං ෆ්ලැට් එක පහළට වෙලා ඉඳගෙන ඒ ටික පහළට එනතුරු බලා හිටියා. ඒත් පොත් මිටිය අතට එන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ‘මෙන්න මේක කෙල්ලගෙ පොත් ටික අර කොලුවත් එක්කල එකතු වෙලා උස්සනවෝ’ කියලා උඩින් කෑගහන සද්දයක් ඇහුණා. බැලින්නම් අනෙක් ජනේලෙන් වටපිට බලද්දී යාළුවගේ අම්ම මේ වැඩේ දැකලා. එදා මං පොත් ටිකත් එතැනම දාලා දිව්වා.

පබා ජනප්‍රිය වෙච්ච දවස්වල සරත් චන්ද්‍රසිරි, ජගත් බෙනරගම අධ්‍යක්ෂ ශාන්ත සොයිසා එහෙම අපි කට්ටියම මැච් එකකට ගියේ කළුතරට. මේ ගමන අතරමැදදී අපේ වාහනේ හෝටලයක් ළඟ නැවැත්තුවා. එතැන වැඩ කළේ හුඟක්ම කාන්තාවොමයි.

අත් සෝදගන්න කියලා අපි ඔක්කොම සින්ක් එක ළඟට කිට්ටු කළා. එතැන පෝලිමේ ඉස්සරහම හිටියේ ශාන්ත සොයිසා. එතකොටම එතැනට ආවේ හෝටලේ වැඩ කළ කාන්තාවක්. ‘මේ මහත්තයා පබා එකේ නළු නිළියන්ට මුලින් අත හෝදගන්න දීලා ටිකක් පස්සට යනවද?’

මෙහෙම කියද්දී ශාන්තගේ මුහුණ ඇඹුල් වුණා. අපේ දිහෑ බැලුව ශාන්ත ‘ඔව් ඉතින් උඹලා නළුවොනේ. මං පබා එකේ නෑනේ. උඹලා කාපන්කෝ’ කියලා කිව්වෙත් එයාමයි.

රංගන ජීවිතේ මට ලැබිච්ච ඉහළම සම්මාන තෑගි කළ දෙපළ තමයි වසන්ති චතුරාණියි, ආනන්ද අබේනායකයි. ‘සංසාරේ පිය සටහන්’ මාලා නාටකයේ රූගත කිරීමක් තිබුණා. මට පැවරිලා තිබුණේ ටිකක් මෝඩ පහේ ගමේ ළමයකුගේ චරිතයක්. ඉතින් ඔන්න මං කැලේ ගිහින් අතරමං වෙලා අම්මේ කිය කියා කෑගහනවා. එතකොට මාව හොයපු අම්මට කැලේ තැනකදි මාව හමුවෙනවා. ඒ අම්මා හමුවුණු සතුටට මං කඳුලු පෙරාගෙන අඬන්න ගත්තා. මොනිටරේ ඉස්සරහට වෙලා ඩිරෙක්ටර් ආනන්ද අබේනායක මේ දිහා බලාගෙන හිටියා. තවම මං චූටි ළමයෙක් වගේ අඬනවා. හුඟ වෙලාවක් මං ඇඬුවත් කට් කිව්වේ අබේනායක නම් නෙවෙයි. මටත් ඒක අවුලක්. ඒත් මං නොනවත්වාම ඇඬුවා.

තවත් ටික වෙලාවක් යද්දී ලයිටින් කරන ටෙක්නීෂියන් ‘කට් කට් දැන් හරි කිව්වා’ එත් ඩිරෙක්ටර් මිසක් එයා එහෙම කව්වට බෑනේ. ඉතින් නවත්වන්නෙම නැතුව අඬාපු මටම ඇති වෙලා ඇඬිල්ල නැවැත්තුවා. එහෙම කරලා වටපිට බලද්දී මට ආයෙමත් ඇඬුණා. ඒ එතැන තිබිච්ච රබර් වත්ත දිගේ ඇස්වලට එන කඳුළු පිහ දමා ඇවිදගෙන ගිය ආනන්ද අබේනායකව දුටුවාමයි.

‘කුමාර ඔයා තෙන්ඩුල්කාර් වගේ බැට්ස්මන් කෙනෙක්. ඕනෑම කෙනෙක් කොයි විදියට බෝල් කළත් තෙන්ඩුල්කාර් ගහනවා. ඔයත් ඔයාට මොන විදියේ චරිතයක් භාර දුන්නත් ඒකට ඕනෑ විදියට රඟපාන්න දන්නවා. මට ඔයත් එක්ක රඟපාද්දී ජෝ අයියලා සිරිල් අයියලා වගේ ප්‍රවීණයෙක් මගේ ළඟ ඉඳන් රඟපානවා වගේ දැනුණා.

වසන්ති චතුරාණි මට මේ කිව්ව කතාව මට තවත් මහා සම්මානයක් ලැබුණා වගෙයි. සෙදෝනා ටෙලියෙදි මට ගෙවිම් කරද්දී පොරොන්දු වුණාට වඩා හුඟක් වැඩියෙන් වසන්ති මට මුදල් දුන්නා. මං ගිහින් ඒ බව ඇයට කිව්වා. නෑ හරි හරි ඒක ඔයා තියාගන්න කියලා එහෙම කරන්න වසන්ති හේතු පැහැදිලි කළේ එහෙමයි.

ජීවිතේ උපේක්ෂාවෙන් සිහි කරන අවස්ථාවක් විදියට ගාමිණී ෆොන්සේකාට වැඩ ඉවර කරන්නට ඉඩ නොලැබිච්ච ‘තීන්දුව’ චිත්‍රපටය මතකයි. හමුදා නිලධාරියකුගේ චරිතයක් මට බාර වුණු ඒකෙදි මං ජෝ මහත්තයත් එක්කල රූප රාමුවකට ඉන්නයි හිටියේ. ඒ ගැන සිහිකරද්දී මට දැනෙන්නේ අද දකින ජාතක කතා වට්ටෝරුවේ චිත්‍රපට මතක් කරද්දී දැනෙනවා වගේ මිහිරක් දැැනෙන හැඟීමක් නෙවෙයි. එකක් දෙකක් නෙවෙයි මුළු සිනමාවම වාගේ ඒ වට්ටෝරුවෙන්ම පිරුණාම ලෝක සිනමාව අපට තවත් දුර වෙනවා. මේ වට්ටෝරුවට නොවැටෙන නිර්මාණකරුවන්ට ඒ නිසා වෙන්නෙත් අවැඩක්මයි.’

මං

කුමාර තිරිමාදුර